ෂර්මාගේ වාර්තාගත ද්විත්ව ශතකයට මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම යටවෙයි | දිනමිණ

ෂර්මාගේ වාර්තාගත ද්විත්ව ශතකයට මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම යටවෙයි

 ජාත්‍යන්තර එක්දින පිටියේ ද්විත්ව ශතක තුනක් වාර්තා කළ පළමු පිතිකරු බවට පත්වෙමින් නොදැවී ලකුණු 208ක් රැස් කළ නායක රෝහිත් ෂර්මාගේ විශිෂ්ට පිතිහරඹයට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් දියත් කළ සටන්කාමී ඉනිම අපතේ යවමින් චන්දිගාර්ඩ්හිදී ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය.

කාසියේ වාසිය දිනූ තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමෙන් පසුව පිටියට පිවිසි ඉන්දීය පිල ඕවර 50 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 392ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 251ක් පමණි.

දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 15ක්ව තිබියදී උපුල් තරංග ලකුණු 7කට දැවීයාමෙන් පළමු කඩුල්ල බිඳ වැටුණු අතර ධනුෂ්ක ගුණතිලක මුලු ලකුණු සංඛ්‍යාව 30ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වූයේ ශ්‍රී ලංකාවට පීඩනයකට ඇද දමමිනි. අනතුරුව ළහිරු තිරිමාන්න සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ ඉනිම ලකුණු 62 දක්වා ඉහළ දැමීමට සමත්වූවත් වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ තිරිමාන්න දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම දැඩි පසුබෑමකට ලක්විය. යළි අසාර්ථක වූ තිරිමාන්න ලබාගත හැකිවූයේ ලකුණු 21ක් පමණි.

අනතුරුව මැතිව්ස් සමග එක්වූ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිම ලකුණු 115 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත් විය. පන්දු 20කදී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස් කළ දික්වැල්ල දැවී ගියේ යුස්වෙන්ඩර් චාහල්ගේ පන්දුවකටය.

අගනා පිතිහරඹයක නිරත වෙමින් හුදෙකලා සටනක නිරතවූ මැතිව්ස් නොදැවී ලකුණු 111ක් රැස් කිරීමට සමත්වූ අතර අසේල ගුණරත්න සමග එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 45ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එය බිඳ වැටුණේ චාහල්ගේ පන්දුවක් හමුවේ ගුණරත්න ලකුණු 34කට දැවීයාමත් සමගය. යළි ක්‍රියාත්මකවූ චාහල් එම ඕවරයේදීම නායක තිසර පෙරේරාද (5) ක්‍රීඩාගාරයට හරවා යැවුවේ පන්දු 3කට පමණක් මුහුණදීමෙන් පසුවය. ඉනිමට තවත් ලකුණු 14ක් එක්වෙද්දී 7වැනි කඩුල්ල ලෙස සචිත් පතිරණ (2) දවා ගැනීමට බුවනේෂ්වර් කුමාර්ට හැකිවිය.

8වැනි කඩුල්ලට ලකුණු 27කින් ගොඩනැගුණු සබඳතාව බිඳ දැමූ බුම්රා, අකිල ධනංජයගේ ඉනිම ලකුණු 11කට සීමා කිරීමෙන් පසු පිටියට පිවිසි සුරංග ලක්මාල්, මැතිව්ස්ට සහය දෙමින් ඉනිම නිමාවනතුරු පිටියේ රැදී සිටියේ ලකුණු 11ක් රැස්කර ගනිමිනි. ඔවුන් දෙදෙනා අතර 9වැනි කඩුල්ලට ගොඩනැගූ නොබිදුණු සබඳතාව ලකුණු 44කි. සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ දෙවැනි ශතකය රැස්කළ මැතිව්ස් පන්දු 132කට මුහුණ දුන්නේ හතරේ පහර 9ක් හා හයේ පහර 3කින් ඉනිම සරසා ගනිමිනි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි දැවැන්තම ඉලක්කය ලබාදෙමින් 392ක් රැස්කළේය. මින් පෙර ඉන්දියාව විසින්ම සිය මවුබිමේදී ශ්‍රී ලංකාවට ලකුණු 414ක් හා 404ක ඉලක්කයන් ලබාදී තිබිණි.

වාර්තා පිට වාර්තා තැබූ රෝහිත් ෂර්මා ඉන්දීය ඉනිම ඉහළට ඔසවා තබමින් නොදැවී රැස් කළ ද්විත්ව ශතකයට වැයවූයේ පන්දු 153ක් පමණි. ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 12ක් ඇතුළත් වී තිබිණි. තිසර පෙරේරා යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී සිය ද්විත්ව ශතකය වාර්තා කළ ෂර්මාගේ ලකුණු සියය පන්දු 115කින් වාර්තා වුවත් දෙවැනි සියය සම්පුර්ණ කිරීමට වැය කළේ පන්දු 36ක් පමණි.

ඉන්දීය ඉනිම ඇදගෙන ගිය මේ දකුණත් පිතිකරුවා ඊට පෙර එක්දින තරග බිමේ ද්විත්ව ශතක 2ක් වාර්තා කර තිබිණි. පළමුව ඔහු 2013දී ඔස්ට්‍රේලියාවට එරෙහිව බැංග්ලෝර් හීදී ලකුණු 209ක් රැස් කළ අතර දෙවැනි ද්විත්ව ශතකය ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව 2014 වසරේ කල්කටා නුවරදී ලකුණු 264ක් රැස් කිරිමට සමත් විය. එය එක්දින තරග බිමේ එක් ඉනිමක පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය.

ෂර්මාගේ ද්විත්ව ශතක වාර්තාවට අමතරව එක්දින පිටියේ ද්විත්ව ශතකලාභින් වන්නේ මාටින් ගප්ටිල් (නවසීලන්තය), විරෙන්දර් ශෙවාග්(ඉන්දියාව), ක්‍රිස් ගේල් (කොදෙව් පිල) සහ සචින් තෙන්ඩුල්කර් (ඉන්දියාව) ය.

පළමු කඩුල්ල වෙනුවෙන් නායක ෂර්මා සහ ශිකර් ධවාන් ඕවර 21කුත් එක් පන්දුවකදී ලකුණු 115ක් රැස් කිරීමට සමත්වූහ. සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ ධවාන් ලකුණු 68කට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නවක පිතිකරු ශ්‍රෙයාර්ස් අයියර් සිය නායකයාට අගනා සහයක් ලබාදෙමින් මංගල අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය. ඔහු ලකුණු 88ක් රැස් කළේ පන්දු 70කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

තිසර පෙරේරා යැවූ 46 වැනි ඕවරයේදී ඔහු දැවීයද්දි ෂර්මා සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 213ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය.

මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 7කටත්, හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 8කටත් තිසර පෙරේරාගේ පන්දු හමුවේ දැවී ගියහ.

පළමු තරගයට එක්වූ ශ්‍රී ලංකා පිල ඊයේ තරගයටත් එක්කර තිබූ අතර ඉන්දීය කණ්ඩායම එක් වෙනසක් සිදුකරමින් වොෂින්ටන් සුන්දර්ට එක්දින ජාත්‍යන්තර තරග වරම් හිමිකර දුන්නේ කුල්දීප් යාදව් වෙනුවට කණ්ඩායමට කැඳවමිනි.

දෙපිල අතර තෙවැනි හා අවසන් එක්දින තරගය ලබන 17 දා විශාකාපට්නම් හිදී පැවැත්වේ.

නව අදහස දක්වන්න