ක්‍රිස් ගේල් වාර්තා පිහිටුවමින් රාංග්පූර් පිලට බී.පී.එල්. කිරුළ දිනා දෙයි | දිනමිණ

ක්‍රිස් ගේල් වාර්තා පිහිටුවමින් රාංග්පූර් පිලට බී.පී.එල්. කිරුළ දිනා දෙයි

 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 තරග බිමේ වාර්තා පිට වාර්තා බිහිකරමින් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෂ්රෆි මොර්ටසා නායකත්වය දුන් රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

රාංග්පුර් පිල මේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

අවසන් තරගයේදී රාංග්පූර් පිල හමුවේ සකීබ් අල් හසන් නායකත්වය දුන් ඩකා ඩයිනමයිට් කණ්ඩායම පරාජයට පත්විය.

ඩකා හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරකයන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාංග්පූර් පිල කඩුල්ලක් දැවී ලකුණු 206ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඩකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.

ඩකා පිළිතුරු ඉනිමේදී ජහුරුල් ඉස්ලාම් පන්දු 38කින් ලකුණු 50ක් රැස්කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී සොහාග් ගාසි, ඉසුරු උදාන හා නස්මුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමුව පන්දුවට පහරදුන් රාංග්පූර් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 5කට බිඳ වැටුණු අතර අනතුරුව ක්‍රිස් ගේල් සමගින් එක්වූ බ්‍රෙන්ඩන් මැකලම් මුළු ලකුණු සංඛ්‍යාව 206 දක්වා ඉදිරියට ගෙන ගියේය.

සුපිරි ඉනිමක් දියත් කළ ගේල් නොදැවී ලකුණු 146ක් රැස්කළේ පන්දු 69ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් හා හයේ පහර 18කින් වර්ණවත් විය. එම හයේ පහර සංඛ්‍යාව විස්සයි20 තරගබිමේ ක්‍රීඩකයකු ඉනිමකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසද වාර්තා පොතට එක්විය. එහිදී බිඳ වැටුණේ ඔහු විසින් 2013 වසරේ අයි.පී.එල්. තරගාවලියේදී හයේ පහර 17ක් එල්ල කරමින් තබා තිබූ වාර්තාවය. මෙය ගේල් රැස්කළ 20 ශතකය වන අතර එය විස්සයි20 තරග බිමේදී වැඩිම ශතක සංඛ්‍යාවයි. බී.පී.එල්. තරගාවලියේ පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යව (146) මෙන්ම ගේල් අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද නම් කෙරිණි. මැකලම් හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් පන්දු 43කින් නොදැවී ලකුණු 51ක් රැස් කළේය.

මෙවර තරගාවලියේදී ශූරතාව දිනාගත් රාංග්පූර් පිල වෙනුවෙන් ලසිත් මාලිංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, නුවන් කුලසේකර හා කුසල් ජනිත් එක්ව සිටි අතර කුසල් එක් තරගයට පමණක් ක්‍රීඩා කළේය. නුවන් කුලසේකරට එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමි නොවිණි. තරග 8කට ක්‍රීඩා කළ මාලිංග ලකුණු 267ක් ලබාදෙමින් දවාගෙන ඇත්තේ කඩුලු 8ක් පමණි. තිසර පෙරේරාද තරග 8කට ක්‍රීඩා කර ඇති අතර දවාගෙන ඇත්තේ කඩුලු සංඛ්‍යාව 9කි. ඉනිම 8 දී ඔහු ලකුණු 95ක් රැස්ගෙන තිබේ. උදාන තරග 4කදී කඩුලු 5ක් දවාගෙන ඇත.

අනුශූරතාව දිනූ ඩකා පිල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ ජාතික කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරය. ඔහු තරග 4කදී ලකුණු 108ක් රැස්කර තිබේ. 

නව අදහස දක්වන්න