පාම් ඔයිල් සහ කටු­පොල් | දිනමිණ

පාම් ඔයිල් සහ කටු­පොල්

පාම් ඔයිල් සහ කටුපොල් දෙකක් නොව එකක්ම බව තවමත් සමහරු වටහා නොගත් සෙයකි. ඇතමුන් කටුපොල් රකුසෙක් ලෙසින් සැලකීමත් ඒ බොහෝ දෙනකුම පාම් ඔයිල් ඍජුවම සහ ඒ ඇසුරින් නිපද වූ ආහාරපාන නිතිපතා භාවිතයට ගැනීමත් මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන්නකි.

සැබැවින්ම අද ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ආහාරයට ගන්නා නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් වැනි ආහාර පමණක් නොව බොහෝ ගෘහණියන් ආහාරපාන පිසීමට ‘වෙජිටබල් ඔයිල්’ ලේබලයෙන් යුතුව යොදා ගන්නේ පාම් ඔයිල්ම බවත් නොරහසකි.

අද රටපුරා ප්‍රචලිත බොහෝ මෝල්ට් පාන වර්ග නිපදවීමේදීද අමුද්‍රව්‍යයක් ලෙස පාම් ඔයිල් යොදා ගනී. ඒ වග පාම් ඔයිල් නිපදවන වැවිලි සමාගම්වලින් ඒ නිෂ්පාදන මිලදී ගන්නා ප්‍රමුඛතම ගැනුම්කරුවන් පිළිබඳ සැලකූ විටත් කැපී පෙනේ. ඉදින් ඒවා විවිධ වෙළෙඳනාමවලින් යුතුව වෙළෙඳපොළට පැමිණෙන්නේ වෙජිටබල් ඔයිල් ලෙසින්මය. එය එසේ තිබියදී අද ශ්‍රී ලාංකික කාන්තාවන් ද බහුලව පාවිච්චි කරන රූපලාවන්‍ය ආලේපන නිපදවීමටත් යොදා ගන්නා පාම් ඔයිල් සබන් ආදී තවත් බොහෝ නිෂ්පාදනවලට ලංකාව යොදා ගනිද්දී ඉන්දුනීසියාව වැනි පාම් කප්රුක කොට සලකන රටවල් කලින් කලට පාම් ඇසුරින් තවත් විවිධ අලුත් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙමින් සිටියි.

එහෙත් මහා පරිමාණයෙන් පාම් ශාකය ආශ්‍රිතව නිෂ්පාදන සිදුකරන ඒ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව පාම් ඇසුරින් නිෂ්පාදන සිදුකරන්නේ අඩු වශයෙනි. මේ ශාකය ලංකා පොළොවේ පැළපදියම් වී කලක් ගතව තිබෙන නමුත් ඒ කෙරෙහි ලාංකිකයින් ආකර්ෂණය සිදුවූයේ සෙමෙනි. එය එසේ නමුත් ස්වභාවයෙන්ම රබර් ශාකය පරදවා වැඩි ඵලදාවක් උරුම කරදෙන පාම් වගාවට රබර් වගාබිම් වඩාත් ඉක්මනින් ගොදුරුවන බවත් දැකගත හැක්කකි. එතරම් ශීඝ්‍රයෙන් පැතුරුණත් තවමත් දේශීය පාම් ඔයිල් නිෂ්පාදනය රටට වුවමනා ප්‍රමාණයෙන් අඩක් පමණය. එතරම්ම ඉල්ලුමක් ඊට පවතියි. නිරන්තරයෙන් ඵලදාව සපයන ලක්ෂණය හේතුවෙන් බොහෝ පුද්ගලික වැවිලි සමාගම් ඒ කෙරෙහි ආශක්තව තිබෙන බවත් හඳුනාගත හැකිය. ඒ අතරින් ප්‍රමුඛයකු වන සන්ෂයින් ඔයිල් සමාගම නිසා ගාල්ල උඩුගම නාකියාදෙණිය වතු යාය පමණක් සැලකුවත් සැලසී තිබෙන යහපත සුළුපටු නොවේ. ඒ බව පෙන්වා දෙමින් ඒ අවට වෙසෙන පූජ්‍ය පක්ෂය ආදීන් මැදිහත්ව පාම් දෙස බලන තැනැත්තන් ද නාකියාදෙණිය වතුයායේ පදිංචිකාර පවුල් සිය ගණනකගේ ජීවන තත්ත්වය මේ තුළින් උසස්ව තිබෙන බවත් අප සමඟ පැවසූහ. ඒ අතින් බලන කල සාමාන්‍යයෙන් පාම් ගසින් වලු කපන කම්කරුවන් පවා රුපියල් අසූදහසක පමණ මාසික වැටුපක් ඉපයීම පාම් ගමට පැමිණීමෙන් සිදුවූ යහපතක් ලෙස ඔවුහු පෙන්වා දෙති.

ඉන් නිම නොවන පාම් නිසා සැලසී තිබෙන සෙත විස්තර කළ නාකියාදෙනිය වතුයායේ පදිංචිකාර බොහෝ දෙනකු කියා සිටියේ ඔවුන් දන්නා තරමින් මේ නිසා ජලයේ අඩුවීමක් සිදුව නැති බවය. එම වතුයාය හරහා ගලා බසිනා දිය කඳුරු මීට දශකයකට දෙකකට පමණ පෙර තිබූ තරමටම අදටත් ‍තිබෙන බව ඔවුහු කියති. පාම් වගාව නිසා ජලය මිනිස් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට දූෂිතව තිබෙන කාරණයක්. සන්ෂයින් ඔයිල් බලධාරින් සමඟ එක පෙළට සිට ගනිමින් බොරු බව කියන එම සමාගමේ සේවයේ නිරත හුඟ දෙනකු කියා සිටින්නේ පාම් රකුසකු වශයෙන් පෙන්වා දෙන්නේ මෙයින් ආර්ථික ලාබ නොලබන පිරිසක් සහ එම පිරිස සමඟ එක්ව සිටින ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් පමණක් බවය.

එහෙත් පාම් වගාවට විරුද්ධව නැගී සිටින පිරිස මේ නිසා පැහැදිලිව ජලය අඩුවන බව කියා සිටීම හරහා මේ ගැටලුව ‍තවදුරටත් ඔඩුදුවමින් පවතී. එය නිරාකරණයට නම් සැබැවින්ම පාම් හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම් රටට හෙළිකිරීමට ස්වාධීන පර්යේෂක කණ්ඩායම් රජයේ මැදිහත්වීමෙන් පත්කිරීම කාලෝචිත බව පාම්වලට පක්ෂ - විපක්ෂ හුඟ දෙනකු එකඟතාව පළකරන යෝජනාවකි.

මේ නොනිමි කතිකාව එසේ තිබියදී දිනෙන් දින ලාබ බහුලපාම් කෙරෙහි වැවිලි සමාගම් ද වැඩි වැඩියෙන් කිට්ටු වනු පෙනේ. විශේෂයෙන් තෙතමනය බහුල බිම්වල පාම් වගාකරන සමාගම් විශේෂයෙන් ආනයනික පොහොර සහ පැළ භාවිත කරමින් සිදුකරන පාම් වගාවන් සරුවට වැඩි ඵලදාව ලබාදෙන විට ජල දහරා හරහා ගසාගෙන ගොස් වනාන්තර අවට පාම් පැළවීමත් නිරායාසයෙන් සිදුවන්නකි. එහෙත් කිසිදු ආර්ථික ලාභයක් ලබාගත නොහැකි එම ශාකවලින් කොම්පැණිකරුවන් වවන පාම්වලින් මෙන් ඵලදාවක් නොලැබේ. ඒ වග පෙන්වමින් පාම්වලට විරෝධය දක්වන පාර්ශ්ව විමසා සිටින කරුණක්ව තිබෙන්නේ පාම් පැළ කවර හෝ රසායනික බලගැන්වීමක් සිදුකොට සිටුවන්නේද? ඒවාට ඒ බල ගැන්වීම්වලට අදාළ රසායනික පොහොර එකතු කරන්නේද යන්නය.

ඒ කෙසේ වෙතත් කලක් ගතවනවිට ශ්‍රී ලංකාවේ පොල් සමඟ කරට කර නැඟී සිටින්නට ඉඩ කඩ පවතින පාම්වලට පොල්වලට මෙන් නිරන්තර පර්යේෂණ සිදුකරන ආයතන නොවුණත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ පවා ඒ පිළිබඳ කතාබහක් ඇතිව තිබේ. ඒ අනුව පාම් තෙල් භාවිතය සෞඛ්‍යයට බලපෑම් කරන්නේද නැතිද ආදී කාරණාවල ඇත්ත නැත්ත ඉක්මනින් රටට හෙළිදරව් විය යුත්තක් බව මේ ඇසුරින් ද මතුවී පෙනෙයි.

 

නුවන් මහේෂ් ජයවික්‍රම

 


නව අදහස දක්වන්න