මිල කළ හැකි පවස නිවන හෙළ රහස් | දිනමිණ

මිල කළ හැකි පවස නිවන හෙළ රහස්

 

පවතින තරඟකාරී වෙළෙඳපළ හමුවේ ව්‍යාපාර දියුණු කර ගැනීමේ පටු අරමුණින් බෙහෝ ව්‍යාපාරකයින් කෘත්‍රිම දෑ භාවිතා කිරීමට හුරු වුවද . එහෙත් වැඩ් දෙනෙකුගේ කැමැත්ත හා ආකර්ශනය හිම්වන්නේ දේශීය ස්වභාවික ආහාර පාන කෙරෙහිය.මේ ප්‍රවනතාව හඳුනාගෙන ශ්‍රී ලාංකිකයන් වශයෙන් දේශීයත්වය රැකගෙන දේශීය පාන වර්ග හදුන්වා දෙන ව්‍යාපාරකයින්ද බොහෝ වෙති. තමන්ට ආවේණික ක්‍රමවේදයන්ට අනුව දේශීයත්වයට සහ ගුණාත්මක බවට මුල් තැන දී දේශීය පාන වර්ග නිෂ්පාදනය කරන ව්‍යාපාරකයින් පිළිබඳව කළ සොයා බැලීමකි මෙය.

‍සන් ෂයින් දේශීය වෙළෙඳ පොළෙහි ඇති පාන වර්ග අතරින් ප්‍රමුඛයෙකි.එම ආයතනයේ හිමිකාරිණිය වන නිර්මලා විජයරත්න ප්‍රකාශ කළේ''අපි කිසිම රසකාරකයක් හෝ වර්ණකාරකයක් අපේ නිෂ්පාදනවලට අන්තර්ගත කරන්නේ නැහැ.කල් තබා ගන්නා කෘත්‍රීම දේවල්වත් අපි අපේ නිෂ්පාදනවලට අඩංගු කරන්නේ නැහැ. ස්වාභාවික දේවල්වල ස්වභාවිකබව රැක ගෙන තමයි අපි සෑම දෙයක්ම පිළියෙළ කරන්නේ. බීම වර්ග වශයෙන් අපි අනෝදා, වෙරළු,නාරං,සියඔලා,ඇඔරැල්ලා වැනි බීම වර්ග නිෂ්පාදනය කර තියෙනවා.ඒ වාගේ ම ජෑම් වර්ග,කෝඩියල්, වර්ග අපි නිෂ්පාදනය කරනවා. අපේ පාන වර්ග ඉතාමත් ඉහළ ප්‍රමිතිය කින් යුතුවයි සැකසෙන්නේ වෙළෙදපොළේ තිබෙන බීම වර්ග සාමාන්‍යෙයන් මිල දී ගත හැකි වන්නේ රුපියල් 50 ක් වැනි මුදලකට. ඒ වුණත් අපේ බීම එකක් ඊට වඩා මිල වැඩියි.අපේ බීම එකක් රුපියල් 60, 100 වගේ තමයි අපි ලබා දෙන්නේ"යනුවෙනි.

පෝෂණ ගුණයෙන් ඉහළ දේශීයත්වය මුළු ලෝකයටම ගෙන යා හැකි තරම් පාන වර්ග වර්තමානයේ දී බොහෝ ව්‍යාපාරකයින් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ සාඩම්බරත්වය සුරකින ව්‍යවසාහකයින් මෙනි. මෙතෙක් කල් අප දැන හදුනාගෙන තිබෙන දේශීය බීම වර්ගවලට වඩා සුවිශේෂී වු බීම වර්ග ඔවුන් සැකසීමට ඔවුන් සැබවින් ම දක්ෂ ය.

"තනිකරම කුරුඳු තේකක් නෙමෙයි අපි මිනිස්සුන්ට දෙන්නේ. උඩරට තේවල රසයයි, පහතරට තේවල කහටයි එකතු කරලා , කුරුඳු නමැති ආයුර්වේද ඖෂධය මිශ්‍රී කරලා තමයි අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මිනිස්සු පුරුඳු වෙලා ඉන්නේ සාමාන්‍ය තේ බොන්නනේ. අන්න ඒක හින්දම තමයි අපි මිනිස්සුන්ට බොන්න පුලුවන් විඳිහට මේක සකසලා තියෙන්නේ. කුරුඳු පමණක් යොදලා නිෂ්පාදනය කළා නම් මේක කසායක් වගේ. කිසිම කෙනෙක් බොන්න කැමති වෙන්නේ නැහැ.

අපි අපේ පාරිභෝගිකයින්ට තේ කොළ ග්රෑම් 200, 450, සහ 100 පැකට් ලබා දෙනවා.ග්රෑම් 100 පැකට් එකක් රුපියල් 260 කට තමයි අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ.මෙම සිනමන් ඇන්ඩ් ග්‍රීන් ටී එක මඟින් ශරීරයේ අනවශ්‍ය මේදයඉවත් කර බර සහ අධික තරබාරුව අඩු කරන නිසා ශරීරයේ මනා හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.සමේ රෝග වළක්වමින් සම පැහැපත් කර රූමත් බව වැඩි කරනවා. කම්මැලි ඈලිමෑලි ගති දුරු කරමින් ප්‍ර බෝධය ගෙන දෙනවා.ඒ වාගේ ම මෙම තේ නිෂ්පාදනය මඟින් දියවැඩියාව,හෘදයාබාධ,අධික රුධිර පීඩනය,ගැස්ට්‍රයිටිස් ,ආතරයිටිස්,කොලෙස්ටරෝල්,කට ගඳ ගැසීම,අඝාතය,සෙම් රෝග,අධික තරබාරුව,පිළිකා,දත් දිරා යාම,සහ මුඛ රෝග යනා දී රෝග රැසක් සුව කර ගන්න පුළුවන්.මෙම නිෂ්පාදනය තුළින් අපි අරමුණු කර ගන්නේ අපේ පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙන දීමයි."යනුවෙන් වරකාපොළ ලියනආරචිචි ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රිහි හිමිකරු වන ලියනආරච්චි සිනමන් ඇන්ඩ් ග්‍රීන් ටී පිළිබඳව පැහැදිලි කළේ ය

තේ එකක් නිකම්ම නිකම් තේ එකක් වනවාට වඩා ශරීර සෞඛයට හිතකර පරිදි සකස් වනවා නම් එය කොතරම් සුවිශේෂී වන්නේ ද? එලෙස නවමු නිෂ්පාදන සංකල්පයක් ලෙස ලියනාරච්චි මහතා තම තේ පානය සකස් කළේ අනෙකුත් තේ ව්‍යාපාරකයින්ගෙන් වෙනස් වීම සඳහා ය. ඕනෑම ව්‍යාපාරකය සාර්ථකත්වය තීරණය වන්නේ ද එලෙස සිතුවහොත් පමණි.

මුල් කාලයේ දී මම රස්සාවක් කළා.ඊට පස්සේ මම ඒකෙන් අයින් වෙලා මගේ ම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවා.නිකරුණේ කාලය කා දමමින් ඉන්නවට වඩා එම කාලය ප්‍රයෝජනවත් යමකට යෙදුවත් හොඳයි කියලා මම මුල ඉඳලම හිතුවා. 2012 වර්ෂයේ දී මම නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ දේශීය ඖෂධ වර්ගවලින් සකසන ලද පාන වර්ග. ඉස්සර මේ පානවලට දැන් තරම් ඉල්ලුමක් තිබුණේ නැහැ. ඒත් දැන් මේ පාන වර්ගවලට විදේශිකයින්ගෙන් පවා හොඳ ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට අපේ දේ ගැන අගයක් නැති වුණාට විදේශිකයින්ට අපේ දේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

මම කුරුදු තේ, කරපිංචා තේ,සේර තේ,මිංචි තේ වැනි දුර්ලභ ගණයේ තේ වර්ග නිෂ්පාදනය කරනවා.ඒ හැම දෙයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ දේශීය බෙහෙත් වර්ග යම් කිසි උෂ්ණත්වයකි දී වියළීමකට සළස්වා ඒවා කුඩු වැනි අමුද්‍රව්‍යකට පත් කිරීමෙනුයි.ඒ නිසා මේ හැම තේ පානයක්ම ඹ්නෑම කෙනෙකුට ලෙහෙසියෙන් ම සාදා ගන්න පුළුවන්.මම මේ ව්‍යාපාරය පටන් ගත්ත මුල් අවුරුදු 03 දී බොහෝ පාඩු ලැබුවා.ඒ මට ඒ දවස්වල මේ ව්‍යාපාරය ගැන එතරම් අවබෝධයක් නොතිබුණ නිසයි. මම වයසින් මුහුකුරා ගිහින් ඇත්දැකීම්වලින් පරිපුර්ණ වෙද්දී මට මගේ ව්‍යාපාරය සාර්ථක කර ගන්න හැකි වුණා.

මේ ලෝකයේ අභියෝග, ප්‍රශ්න නැති කිසි කෙනෙක් නැහැ.මටත් ඉස්සර අභියෝග ප්‍රශ්න තිබුණා.සමහර වේලාවට ඉඟුරු වැනි බෙහෙත් වර්ග සොයා ගන්න අපහසු වුණා.ඒ නිසා මම ඉඟුරු වැඩිපුර තියෙන කාලයට ඒවා ගබඩා කරලා තියලා පාන වර්ග නිෂ්පාදනය කළා. මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නේ ඉවසීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියලයි. ඒ වාගේ ම ව්‍යාපාරිකයෙකුට ආත්ම විශ්වාසය හරිම වැදගත්.

දිනෙන් දින සංවර්ධනයේ අඩිතාලම සකස් කරමින් සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් රටෙහි පවතින සෞඛයට හිතකර භෝග වර්ග වලින් නිසි ප්‍රතිඑලයක් ගන්නේ අතළොස්සකි. වර්තමානයේ දී නව ව්‍යවසාහකයින් දිරිමත් කිරීම සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇත. දේශීය පාන වර්ග සකසා ජිවිතය දිනන්නට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ටත්, ජිවිතය දිනු පුද්ගලයින්ටත් නුතනයේ දී තව තවත් සිතන්නට කාලය උදා වී තිබෙන්නේ එනිසා ය.

ඉස්සර මම ඇදුම් මහලා අළෙවි කළා.ඊට පස්සේ තේ කොළ බිස්නස් එකක් කළා.2014 අවුරුද්දේදී තමයි මම දේශීය තේ පාන වර්ග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය පටන් ගත්තේ.මම මේ ව්‍යාපාරය පටන් ගන්න කලින් දේශීය පාන වර්ග නිසි ලෙස සකසන්නේ කෙසේ ද? ඒවා වෙළෙදපළට හදුන්වා දෙන්නේ කෙසේ ද? කියලා ඉගෙන ගත්තේ නලීන් රංවල කියලා මහත්මයෙකුගෙන්. මට ඒ දේවල් ගැන ඉගෙන ගන්න ආස හිතුනහම මම යෙලෝ පේජර්ස්වලින් නම්බර් එක හොයා ගෙන ඔහුට කථා කළා. ඊට පස්සේ මම අතුරුගිරියේ පිහිටා තිබෙන වැවිලි කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක “ටී ටේස්ටර්“ කියන පාඨමාලාව හැදෑරුවා.

මම දැනට නිෂ්පාදනය කරන්නේ වෙනිවැල් තේ,කරපිංචා තේ,ඉගුරු තේ,කුරුදු තේ,ඩයබිඩික් තේ යනාදියයි. මම මේ තේ පානවල් සකසන්න මම හදුනන ආයුර්වේද වෛද්‍යවරියකගෙන් උපදෙස් ලබා ගන්නවා. ඇයගේ අනුදැනුම මත මම මේ දේවල් කරන නිසා ඹ්නෑම කෙනෙකුට බය නැතුව මේ පාන වර්ග භාවිතා කරන්න පුළුවන්.වෙනිවැල් තේ,කරපිංචා තේ,ඉගුරු තේ,කුරුදු තේ, මම අලෙවි කරන්නේ රුපියල් 170 කටයි. කුරුදු තේ,සහ ඩයබිඩික් තේ මම අළෙවි කරන්නේ රුපියල් 200 කටයි.මම දැන් කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා තිබෙන ඇතැම් ෆාමසි වෙළෙදසැල්වලට නිෂ්පාදන අළෙවි කරනවා. මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න කලින් මුලික දැනුම තිබිය යුතුමයි. නැත්නම් ව්‍යාපාරය දීර්ඝ කාලයක් පවත්වා ගන්න බෑ. දැන් මේ දේශීය පාන වර්ග බොහෝ දෙනෙක් නිෂ්පාදනය කරන නිසා දැන් මේ ක්ෂේත්‍රයට ලොකු තරකාරීත්වයක් තියෙනවා. විවිධ ක්ෂණික රසකාරක,වර්ණකාරක දක්නට නුතන සමාජයේ දේශීයත්වයට ප්‍රමුඛස්ථානය දී අනාගත දරු පරපුර නිරෝගී කිරීමට දරන මෙහෙය අගනේ ය.ලෝකයේ සංවර්ධිත රටවල විශාල ප්‍රාග්ධනයක් යොදා බහුජාතික සමාගම්වලින් නිෂ්පාදනය කරන පාන වර්ග(තේ,බීම) බොහෝමයක් තිබිය දී දේශීය ව්‍යවසාහකයන් මේ දරණ උත්සාහය සැබවින් ම අගය කළ යුතු ය.යටත් විජිතකරණ යුගයේ සිට බටහිර ජාතිකයින්ට ගැති වු ශ්‍රී ලාංකිකයින් වර්තමානයේ දී හෝ දේශීය අනන්‍යතාවය රැක ගැනීමට උත්සාහ කරනවානම් එය ලාංකිකයින් වශයෙන් අප සැමගේ යුතුකම නොවන්නේ ද?

මදාරා මුදලිගේ

 

නව අදහස දක්වන්න