ගලුකු හයි­ඩ්‍රො­පො­නික් සමා­ගම වයඹ විජ­යා­භි­මානී විශි­ෂ්ටතා සම්මාන දිනයි | දිනමිණ

ගලුකු හයි­ඩ්‍රො­පො­නික් සමා­ගම වයඹ විජ­යා­භි­මානී විශි­ෂ්ටතා සම්මාන දිනයි

වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ගලුකු සමූහ ව්‍යාපාරයේ සභාපති ජගත් මංජුල යාපා මහතා අගය වැඩි කිරීමේ නිෂ්පාදන අංශයේ නව නිපැයුම් විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. ගලුකු සමූහ ව්‍යාපාරයට අයත් ගලුකු හයිඩ්‍රොපොනික් පෞද්ගලික සමාගම එම සම්මානයට පාත්‍ර විය. වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය මේ සම්මාන උළෙල සංවිධානය කළ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සම්මාන ප්‍රදානය සිදු විය.

2004 දී ගලුකු හයිඩ්‍රොපොනික් සමාගම ඇරැඹීමට හේතු වූ මූලික අදහස වූයේ පොල් ගෙඩියේ ඉවතලන ද්‍රව්‍ය ආර්ථික වටිනාකමක් ඇති දෙයක් බවට පත් කිරීමය. කොහුබත් ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු ඇරැඹූ ඔවුහු පසුව කළ පර්යේෂණවලින් වැඩි දියුණු කළ නිෂ්පාදනවලින් වෙළෙඳ පොළ ජය ගත්හ.

අගය වැඩි කරන නිෂ්පාදන ලෙස ඔවුන් මුලින්ම යොමු වූයේ කොහුබත් ආශ්‍රිත කෘෂිකාර්මික නිෂ්පාදනවලටය. හරිතාගාර තුළ සිදු කෙරෙන වගාවන් සඳහා ඔවුන් හඳුන්වා දුන් කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. වගාවලට ගැළපෙනම නිෂ්පාදන ජලය අඩු, වැඩි කර කොහුබත් ආශ්‍රයෙන් හඳුන්වා දුන් නිසා එම නිෂ්පාදනවලට සුවිශාල වෙළෙඳ පොළ ඉල්ලුමක් ඇති විය.

ගලුකු හයිඩ්‍රොපොනික් සමාගම සුරතල් සතුන් සඳහාද නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබේ. එම නිෂ්පාදනවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. සුරතල් සතුන් සඳහා කළ නව නිපැයුම සඳහා සහ තෙල් ආශ්‍රිත කර්මාන්ත සහ ගෘහස්ථ කාර්යයන් සඳහා කළ නව නිපැයුම් සඳහා ගලුකු හයිඩ්‍රොපොනික් සමාගම වයඹ විජයාභිමානී සම්මානය දිනා ගත්තේය. ඉතා පිරිසිදු පොල් තෙල් භාවිතයෙන් ආහාර සහ සම ආරක්ෂා කරන ආලේපන ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, හොංකොං, ජපානය, කොරියාව, චීනය, අමෙරිකාව, කැනඩාව, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, තුර්කිය, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ගලුකු නිෂ්පාදන අලෙවි කරන ප්‍රධාන රටවල්ය. තමන්ට ලැබුණු ව්‍යවසාය විශිෂ්ටතා සම්මානය තම සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු සියලු සේවක සේවිකාවන්ගේ සාමූහික ජයග්‍රහණයක් බව ජගත් මංජුල යාපා මහතා පැවැසීය. විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි රන් හා රිදී සම්මානවලින් ද 2010 හා 2012 වසරවලදී ජගත් මංජුල යාපා මහතා පිදුම් ලබා ඇත.

නව අදහස දක්වන්න