පන්නල නව බස් නැවතුම්පළ විවෘත කරන නැකත කවදා ද? | දිනමිණ

පන්නල නව බස් නැවතුම්පළ විවෘත කරන නැකත කවදා ද?

* පොදු වැසිකිළියත් අපායක්
* නව ගොඩනැඟිල්ල පෙම්වතුන්ගේ හා යාචකයන්ගේ පාරාදීසයක් වෙලා

කටුගම්පළ ආසනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන්නේ පන්නල නගරයයි. දිනකට දහස් ගණනක ජනතාව විවිධ අවශ්‍යතා සඳහා මෙම නගරයට පැමිණෙති. එලෙස පැමිණෙන ජනතාව සිය ගමන් පහසුව සපයාගැනීම සඳහා පන්නල ප්‍රධාන බස්නැවතුම්පළට නිරන්තරවම පැමිණෙති. දිනකට විශාල මඟීන් ප්‍රමාණයක් මෙම බස් නැවතුම්පළට පැමිණියද ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් මෙම බස්නැවතුම්පළේ නොමැතිවීම හේතුවෙන් මඟීහු දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිති.

පොදු වැසිකිළි පද්ධතියක් අලුතින් ඉදිකර තිබුණද එය මේ වන විටත් ඉබි යතුරු දමා වසා ඇත. දැනට භාවිතා කරන වැසිකිළිය මුළුමනින්ම අබලන් වී ඇත. දොරවල් ගැළවී වැසිකිළි පෝච්චි සියල්ල කැඩී බිඳී ගොස් ඇත. නිසි වේලාවට පවිත්‍ර කිරීම් සිදු නොවන නිසා දුර්ගන්ධය නිතර පැතිරෙයි. මේ හේතුවෙන් දුර බැහැර සිට පැමිණෙන මඟීන්ට සිය අවශ්‍යතා සපුරාගැනීමට නගරය අවට ඇති හෝටල් හෝ ආපන ශාලාවෙත යාමට සිදුව ඇත. ඒ වගේම පොදු ජල කරාමයක් බස් නැවතුම්පළේ තිබුණද එය ත්‍රීරෝද රථ ගාල අසල ඇති නිසා එය සාමාන්‍ය ජනතාවට පාවිච්චි කිරීමට අපහසුය.

2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව ඉදි කළ අලුත් බස්නැවතුම්පළ මහල් දෙකකින් සමන්විතය. ඉහළ මාල‍ය වෙළෙඳසල් හා පරිපාලන කටයුතුවලට වෙන් කර ඇති අතර පහළ කොටස බස් නැවතුම්පළට වෙන් කර ඇත. මෙම අංගසම්පුර්ණ ගොඩනැඟිල්ල ඉදිකර දැන් වසර හතරක පමණ කාලයක සිට වසා දමා ඇත. මේ හේතුවෙන් මේ වන විට පහළ බස්නැවතුම්පළට වෙන් කොට ඇති කොටස යාචකයන්ගේ හා රස්තියාදුකාරයන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත. ඉහළ මාලයේද සැඳෑ කාලයේ විවිධ අනඟ රැඟුම් දක්වන තානායමක් බවට පත්ව ඇත.

‍කෝටි ගණනක මහජන දේපළ මෙලෙස විනාශවීමට ඉඩහැරීම මහා ජාතික අපරාධයකි. පන්නල ප්‍රාදේශීය සභාව යටතේ පවතින මෙම ගොඩනැඟිල්ල ‍තවමත් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘත නොකරන්නේ මන්දැයි ජනතාව වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කරති.

කටුගම්පළ ආසනය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරු දෙදෙනකු සිටියද මේ කිසි ඇමැතිවරයකු මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට හෝ ජනතාවට සිදුව තිබෙන අසාධාරණයට විසැඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවන්නේ ඇයිදැයි ජනතාවට ඉමහත් ගැටලුවකි. පන්නල නගරය දිනෙන් දින දියුණුව කරා යන ආර්ථික වැදගත්කමකින් යුතු නගරයක් බැවින් මෙම නගරයේ මූලික මහජන අවශ්‍යතා වැඩිදියුණු කිරීම පවතින ආණ්ඩුවේ වගකීම බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

රත්නසිරි පතිරණ
ගිරිඋල්ල සමූහ

ඡායාරූප සිරිපාල හල්වල 

නව අදහස දක්වන්න