අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ජනතා සුව සේවාවට රජයේ කැපවීම පෙන්වන කදිම සාධකයක් | දිනමිණ

අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ජනතා සුව සේවාවට රජයේ කැපවීම පෙන්වන කදිම සාධකයක්

කමනි අල්විස්

ජනතාවගේ සුව සේවාව සඳහා ප්‍රමුඛස්ථානය ලබාදෙමින් මහජන සුබසිද්ධිය උදෙසා රජය තුළ පවතින කැපවීම කොතරම් දැයි සෞඛ්‍ය සේවාව සඳහා මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන කදිම සාධකයක් ‍බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වෙන් කර තිබෙන ප්‍රතිපාදන පරිශීලනය කරන ඕනෑම පුද්ගලයකුට ඒ බව මැනවින් අවබෝධ වන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

වසර 2018 අයවැයෙන් රුපියල් බිලියන දෙසීයක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව පැවසූ අගමැතිතුමා, එම ප්‍රමාණය තවදුරටත් වැඩි කරන ‍බවත් අවධාරණය කෙළේය.

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුව පසුගිය 4 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී සංක්ෂිප්ත ග්‍රන්ථයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතට ප්‍රදානය කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් දොස්තර සුනිල් ද අල්විස් මහතාය.

වැඩමුළුවේ විශේෂත්වයක් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙන්ම ජාත්‍යන්තරයේ කීර්තිමත් පර්යේෂකයන් දහදෙනා අතර සිටින එක් අයකු වන මහාචාර්ය ඇලන් ලෝපස් මහතා හරවත් දේශනයක් සහභාගී වූවන් සඳහා පැවැත්වීමයි. සෞඛ්‍ය ආරක්ෂාව හරහා පර්යේෂණ සංස්කෘතියේ ප්‍රවර්ධනය යනුවෙන් එම දේශනය නම් කර තිබිණි.

තවදුරටත් අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

සෞඛ්‍ය පහසුකම් නංවාලමින් රෝහල්වල තත්ත්වය නඟා සිටුවීමට හා ‍තදබදය අඩු කර ගැනීමටත් සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් සුළු සේවා පුහුණුවීම් බෝ වන රෝග පැතිරීම පාලනය කරගැනීම සඳහා ප්‍රතිපාදන යොදවනු ලැබේ.

සෞඛ්‍ය සේවාවට වැය කරන මුදල් සීයට පනස්පහකින් වත්මන් රජය වැඩි කර තිබේ.

රටේ ආර්ථිකය සවිමත් කිරීමට රජය ලබාදී තිබෙන සහතිකයට අනුව කටයුතු සිදුවෙමින් පවතී. ජනතාව පීඩාවට පත්වන්නට ඉඩදී බලා සිටින රජයක් නොවේ.

වෛද්‍ය පීඨවල තත්ත්වය නැංවීමටත් වෛද්‍ය විද්‍යාල ගොඩනැගිලි සංවර්ධනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන් කර තිබේ.

ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය සහ ජාතික පිළිකා ආයතනයේ සංවර්ධනය උදෙසාත් මඩකලපුව ශික්ෂණ රෝහල ඉහළ තලයකට ගෙන ඒමටත් කටයුතු කරමින් සිටී. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට මහල් අටක ගොඩනැගිල්ලක් ලබාදීමට පියවර ගෙන තිබේ. මෙයාකාරයට සෞඛ්‍ය සේවාවේ සෑම අංශයක් සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් ජනතාවට ඉතා හොඳ ඵලදායි සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෑම පියවරක්ම ගනු ලැබේ.

ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය රජය දිනාගෙන තිබේ. සාධාරණ හා යුක්තිගරුක ආර්ථිකයක් මෙහෙයවන බවට ජාත්‍යන්තරයේ විශ්වාසය වත්මන් රජය දිනාගෙන තිබේ. එම නිසා දෙස් විදෙස් ආයෝජකයෝ ආයෝජන සඳහා කැමැත්තක් දක්වති.

සෞඛ්‍ය සේවාව නැංවීම හරහා ජනතා සුබසෙත උදෙසා තීන්දු තීරණ සෑමවිටම ගනු ලැබේ.

විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා

ශ්‍රී ලංකාව තවමත් නියම සෞඛ්‍ය ප්‍රතිපත්තිය සපුරා නැත. පැතිරෙන රෝග සහ බෝ නොවන රෝග පාලනයේ ඉලක්ක සපුරාගත යුතුව ඇත. වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සහ දරුවන්ගේ මන්ද පොෂණ තත්ත්වයන් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. මරණ සියයට හැත්තෑවකට හේතුව හෘද රෝග, දියවැඩියාව හා හෘද අකර්මණ්‍යතාවයි. බෝ නොවන රෝග සියයට හතළිහක් මෙම ප්‍රතිශතයට අයත්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් දොස්තර සුනිල් ද අල්විස් මහතා

අප රටේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබෙන නායකත්වය ප්‍රශංසනීයයි. මෙවන් ආකාරයේ සමුළුවක් මේ රටේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. කලාපීය සෞඛ්‍ය ජාලයක් අරඹන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක්ද කරයි.

ජාතික සෞඛ්‍ය පර්යේෂණ කවුන්සලයේ සභාපති මහාචාර්ය රෝහිනී සෙනවිරත්න, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල‍යේ මහාචාර්ය ඇලන් ලෝපස්, දොස්තර සුරන්ජි දහනායක යන මහත්ම මහත්මීහු ආරම්භක උත්සව සභාව ඇමතූහ.

ඡායාරූපය හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න