මහින්ද මාලිගාවේ ගෝඨා අමෙරිකාවේ | දිනමිණ

මහින්ද මාලිගාවේ ගෝඨා අමෙරිකාවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සතියේ වැඩ ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ධෛර්යයක් ලබාදෙන ජයග්‍රාහී මානසිකත්වයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඉරිදා ජනාධිපතිතුමා හමුවී එතුමාට හා ශ්‍රීලනිපයට සහය දීමට ඉදිරිපත්වීම පළමු ජයග්‍රහණයයි. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය දිනේශ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිස මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට දක්ෂ වූ තැනැත්තියකි. ඇය ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වී ජනාධිපතිතුමාට සහය පළ කිරීම මහින්දවාදීන් ලැබූ විශාල පරාජයක් බව පෙනී යනවා. සඳුදා වනවිට එයට එක් වූයේ ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙකි. එහි නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.ඩී.කුමාර මහත්වරුන් ජනාධිපතිතුමා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා. එය විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට මෙන්ම මහින්ද පිලටද බරපතළ පසු බැස්මක් වනවා. එමෙන්ම එය ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද වැදගත් සංඥාවක් බව දේශපාලන නිරීක්ෂකයන් කියනවා.

ජාතික තේ සම්මාන උළෙල පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. මෙරට තේ කර්මාන්තයට වසර එකසිය පනහක් පිරීම නිමිත්තෙන් එය සංවිධානයකොට තිබුණා. ඇමැති නවීන් දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානයකොට තිබූ එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපතිතුමා අතින් ක්ෂේත්‍රයේ විශිෂ්ට සේවයක් කළ අයට සම්මාන ප්‍රදානය සිදුවුණා.

එහිදී කතා කළ ජනාධිපතිතුමා කීවේ මෙරට විදේශ වත්කම් ශක්තිමත් කිරීමේදී වැවිලි ක්ෂේත්‍රයට හා අපනයන කර්මාන්තවලට මුල් තැන ලබාදෙන බවයි. මෙවර අයවැයෙන්ද ඒ සඳහා මුදල් වෙන්කර ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. එමෙන්ම විවිධ ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියා නිසා මෙරට තේ කර්මාන්තය මෙන්ම අපනයන ක්ෂේත්‍රයටද සිදුවන හානි පිළිබඳවද ජනාධිපතිතුමා කතා කළා.

ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සංවිධානය කළ ආගමික සහජීවන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිතුමා අඟහරුවාදා එයට සහභාගී වූයේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි. ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන්ද එයට සහභාගී වී සිටියා.

එහිදී කතා කළ ජනාධිපතිතුමා කීවේ කිසිදු මතවාදයක් ආයුධවලින් පරදවනු බැරි බවයි. සමාජයට නොගැලපෙන මතවාද පරාජය කළ හැක්කේ තවත් නිවැරදි මතවාදයකින් පමණක් බවද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේදී අඟහරුවාදා පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිතුමා සහභාගී වුණා. ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, කොතලාවල ආරක්ෂක පීඨයේ කුලපති දයා සඳගිරි, උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එයට සහභාගී වී සිටියා.

රට පොල් නවත්වන හැටි අගමැති පහදයි

එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ, දැනුම මුල් කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම අද අප හැමගේ වගකීමක් වන බවයි. රටක අනාගතය රඳන්නේ විවිධ ක්ෂේත්‍රවල පෙන්වන පරිණතබව මත යැයිද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා.

දුම්රිය වර්ජනය, පළාත් පාලන ඡන්දය, විවිධ උත්සව මෙන්ම ජාත්‍යන්තර දූත පිරිස් හමුවීම් ආදිය නිසා ගෙවී ගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කාර්යබහුල වුණා. බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමෙන් අනතුරුව අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා විශ්වවිද්‍යාල උපකුලපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වුණා. සභානායක හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද ඊට එක් වී සිටියා.

ලෝකයේ කිසිම රටක රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් විතරක් අධ්‍යාපනය දෙන්න බැරි නිසා තමයි ලොව පුරා පෞද්ගලික සරසවි තියෙන්නේ . අපේ නිදහස් අධ්‍යාපනය උපරිමව රැකගෙන දියුණු කරන ගමන් ඊට සම්බන්ධ වීමට නොහැකි සිසුන්ට පෞද්ගලික අධ්‍යාපනය හරහා ඉඩකඩ දීම සියලු ආණ්ඩුවල ප්‍රතිපත්තියයි අගමැතිවරයා කළ පැහැදිලි කිරීම උපකුලපතිවරු සියලු දෙනා පිළිගත්තා.

වයඹ රත්නපුර හා කටුබැද්දේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 03ක් ලඟ දී පටන්ගන්නවා. රු:කෝටි 500ක් විශ්වවිද්‍යාල ගොඩනැගිලිවලට වෙන්කළා. සිංගප්පූරුව නිදහස ලබන විට කොළඹ විශ්ව විද්‍යාලයටත් යටින් තිබුණු සරසවියක් විතරයි ඒ රටට තිබුණෙ. අද ඒක ලොව දියුණුම 10 අතරට ඇවිත්. අපි තාම එකම තැනයි ඉන්නෙ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

භෞතික දියුණුව ආණ්ඩුව ඇති කළත් විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ දාලා ලොව හොදම ඒවා අතරට ගෙන ඒම උප කුලපතිවරුන්ගේ වගකීමක් බව අගමැතිවරයා පෙන්වා දුන්නා.

අනතුරුව චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර සබදතා අංශයේ ප්‍රධානීන්ගෙන් යුතු චීන දූත පිරිසක්ද අගමැතිවරයා හමු වුණා. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය නව ආර්ථික සබදතා හරහා නව මාවතකට පිවිස ඇති බවත් එය තව දුරටත් ශක්තිමත් කිරීමට දෙරටම එකගවීමත් එහි දී සිදුවුණා.

අනතුරුව සුපුරුදු ලෙස අගමැතිවරයා හමුවීමට අරලියගහ මැදුරට පැමිණ සිටි මැති ඇමතිවරු සමඟ පිළිසඳරක යෙදුනා.

"සචින් වාස් වැරදිකරු වෙලත් රු:1000 ක් දඩය නියම කිරීම ගැන මිනිස්සු දොස් කියනවා. මිනිස්සු හිතන්නෙ මේක පිටිපස්සෙ ආණ්ඩුව ඉන්නවා කියලයි" රන්ජන් රාමනායක හිමිදිරියේම බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.

"මිනිස්සු මා එක්කත් ඒ ගැන බැණල තියෙනවා. රටේ පවතින නීති වෙනස් කරන්න වෙනවා. උසාවි තීන්දුවට ආණ්ඩුවට කරන්න දෙයක් නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

ජීවන බර අඩු මට්ටමට තියාගන්න අපි මෙතෙක් සමත් වුණත් හදිසි නියඟ ගංවතුර නිසා හාල් පොල් හා එළවළු ප්‍රශ්න ළඟ දී ආවා. ඒවා තාවකාලිකව රටින් ගෙන්වලා දිගු කාලීන විසඳුම් ජනවාරිවල පාර්ලිමේන්තුවට දානවා. ආපදා නිසා කෘෂිකර්මය හා රටේ ආර්ථිකය වැටෙන්න ඉඩ නොතබන ලෙස ඒ ඇමැති අනු කමිටු වාර්තාව ආවාම ක්‍රියාමර්ග ගන්නවා අගමැතිවරයා කීවා.

බැදුම්කර කොමිසම දාපු එක හොදයි. ඒත් ගිය රජයේ හොරකම් සොයන්න එක කොම්සමක්වක්, නොදැමීම ගැන මිනිස්සු ප්‍රශ්න කරනවා”රන්ජන්රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා.

ඔව්. ගිය රජයේ දූෂණ ගැන පරීක්ෂණ විතරයි. තාම කොමිෂන් නෑ. මිනිස්සු ඒගැන මගෙනුත් ඕන තරම් අහල තියෙනවා වජිර අබේවර්ධන ඇමතිවරයා කිව්වා.

දුම්රිය වර්ජනය දින 07 ක් ඇදුණා.අන්තිමට ඒ වෘත්තීය සමිති දිනා ගත්ත දෙයක් නෑ.ජනතා රැල්ලක් විරුද්ධව ආවාම අකුලගත්තා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

සාපෙළ විභාගය දඩමීමා කරගෙන කරපු වර්ජනය නිසා ඒ වෘර්තීය සමිති නායකයන්ගේ ගෙවල්වල දරුවන්ම විරෝධය පළ කර තිබෙනවා. අපි විභාගෙට යන වෙලාවේ මේ වගේ පටු වර්ජන දියත් කළොත් මොකද වෙන්නේ කියලා ඒ ළමයි වෘත්තීය සමිතිවල තම පියවරුන්ගෙන් ප්‍රශ්න කරන තරමට වැඩේ අවුල් වුණා කියල වෘර්තීය සමිති නායකයෝ මට කිවුවා යැයි අගමැතිවරයා කිව්වා.

පොහොට්ටුවේ ෙකාටසක් මෛත්‍රි අතේ

ජනාධිපතිතුමා ඒකාබද්දෙ පාර්ලිමේන්තු අය ගලවන කොට ඔබතුමා ගමේ ඒකාබද්ධය ගලවල එජාපයට ගන්නවා. ඔවුන් දැන් නන්නත්තාර වේගන එන්නේ දයා ගමගේ ඇමතිවරයා කිව්වා.

අපි ගම් මට්ටමින් ගන්නෙත් දූෂණ චෝදනා නැති අය විතරයි. ඒ නිසා හුග දෙනෙක් ගන්නත් අපට අමාරු වේවි. මොකද ශ්‍රි ලනිප හිටපු ප්‍රාදේශීය සභාවල අයගෙන් 90% ක් ගමට තිත්ත වෙච්ච අය අගමැතිවරයා කිව්වා.

වෛද්‍ය විද්‍යාලවලට ශිෂ්‍යයන් ගැනීමේ අවම සුදුසුකම ලෙස එක වරක දී රසායන විද්‍යාව භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව තුනෙන් දෙකකට සම්මාන හා අනිකට සාමාර්ථයක් අවශ්‍ය බවට ප්‍රකාශ කළාම දොස්තර සංගමය ඒකටත් බෑ කීම පුදුමයි. මෙතෙක් අවශ්‍යව තිබුණෙ සාමාර්ථ තුනක් විතරයි" ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා‍‍.

මේ අවම ප්‍රමිතිය යෝජනා කළේ ආණ්ඩුව නෙවේ. වෛද්‍ය සභාවයි. වෛද්‍ය සභාවේ තීන්දු අනුව කටයුතු කරන්න කියල මෙතෙක් ආණ්ඩුවට බලකරපු දොස්තරලා මෙතන දී වෛද්‍ය සභාවේ තීන්දුව පිළිගන්නෙ නෑ කීම පුදුම දෙයක් අගමැතිවරයා කිව්වා.

පසුගියදා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තිස්සමහාරාමයට නුදුරු ගමකට ගියේ වකුගඩු රෝගීන් කීපදෙනකුගේ සුවදුක් බලා ඔවුන්ට ආධාර උපකාර කර ඒම සඳහාය. එහි එක් නිවසක දී සජිත් සමඟ කතාවට එක්වූ පාසල් දරු දැරියන් හතර පස්දෙනෙක් කීවේ “මාමේ අපේ ගම රත්නෙළුම්වලයාය. අපේ ගමට වතුර නෑ. බොන්නේ අපිරිසිදු වතුර” කියාය.

ළමයින්ගේ දුක්මුසු කතාව ඇසූ සජිත් ඒ මොහොතේම ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට නියෝග කළේ වහා එම ගම්මානයට ගොස් එහි ජල ප්‍රශ්නය සොයා බලා ඊට ජල සම්පාදන කිරීමට දින 4ක් තුළ ඇස්තමේන්තු‍වක් ලබා දෙන ලෙසයි. ඒ අනුව රුපියල් 44, 056, 608/23 (කෝටි 4.4)ක ඇස්තමේන්තුව සජිත් අතට පත්වූ අතර රත්නෙළුම්වලයාය සහ රබර්වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකේ පවුල් 400ක් ඉලක්ක කර ගත් ජල සම්පාදන සැලැස්ම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ මුදල් පරිත්‍යාග කිරීම සිදුවුණේ ගම්මාන දෙකේම වැසියන්ගේ සහභාගීත්වයෙන්. “වතුර දෙන බව කියලා හැමදාම අපිව රැවැට්ටුවා. හිටපු ලොකු ලොක්කෝ අපේ ගම කොන් කරලයි තිබ්බේ” ගැමියකු කියනු අසා සජිත් කීවේ “දැන් ඉතිං කිරිගහට ඇන්න වගේ වැඩේ හරිනේ” යනුවෙනි. අහම්බෙන් හඳුනාගත් පාසල් සිසුන් හතර පස්දෙනකු ලබාදුන් ඉතා නිවැරදි තොරතුරක් මත ඇරඹුණු මෙම ව්‍යාපෘතිය සමඟ සජිත්ගේ සිහියට ආවේ සිය පියාගේ කාලයේ ක්‍රියාත්මක වුණු ජංගම අමාත්‍යාංශ වැඩපිළිවෙළයි. සජිත් ඒ මොහොතේ එහි සිටි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති පලන්සූරිය මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේ ‘ගමින් ගමට - දොරින් දොරට’ යට‍ෙත් ජනවාරි මස 01 වැනිදා සිටම ක්‍රියාත්මක වන පරිදි ජනතාවගේ දුක, කඳුළ, වේදනාව හඳුනා ගැනීමට හැකිවන පරිදි අමාත්‍යාංශ ජංගම සේවාවක් දිවයින පුරා අරඹන ලෙසටයි.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපාගේ විවාහ උත්සවය සඳහා ඉකුත් 07 වැනි දින උදෑසන ෂැන්ග්‍රීලා හෝටලය වෙත ගොස් නව යුවළට සුබ පැතුම් එක්කළ ඇමැති වජිර අබේවර්ධන මහතා ටික වේලාවක් එහි රැ දී සිට නික්ම ගියේ ගාල්ල බලා යාමටයි. එදින දවස පුරාම හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ ගාල්ල ආසනයේ නිල සෙවණ ක්ෂේත්‍ර නිලධාරි කාර්යාල 13 කට මුල්ගල තැබීමේ කටයුතු සඳහා සවස් වනතුරුම ඇමැති වජිර එක්වී සිටියා.

මේ දිනවල විශේෂයෙන් හාල් සහ පොල් ආනයනය කිරීමට රජය කටයුතු කිරීම පිළිබඳ ඇතැම් පිරිස් වෙතින් පළ වන විවේචනයට ඇමතිවරයා මෙම අවස්ථාවන්හි පැවැති උත්සව හමු කිහිපයක දී පිළිතුරු දුන්නා. පිටරටින් පොල් ගේනවා, හාල් ගේනවා කියා ඇතැම් අය ආණ්ඩුවට දොස් කියනවා. නියඟය නිසා පොල් ගස් ලක්ෂ ගණනක් මැරිලා. කුඹුරු පාළු වෙලා. ගංවතුර නිසා වගාබිම් විනාශ වෙලා. පොල් නැත්නම්, හාල් නැත්නම් පිටරටින් නෙවෙයි හඳෙන් හරි ගෙනත් දෙන්න වෙනවා. රජයක් ලෙස තමන්ගේ ජනතාව බලාගැනීමේ වගකීම තියෙනවා යැයි ඇමැති වජිර පැවසුවේ රැස්ව සිටි ජනතාවගේ අත්පොළසන් මධ්‍යයේ ඉකුත් 08 වැනි දින උදෑසනම ඇමැති වජිර අමාත්‍යාංශය වෙත පැමිණියේ අමාත්‍යාංශ නිලධාරින් සමඟ යොදාගෙන තිබු සාකච්ඡාවකට එක් වීමටයි. එතැන් සිට වජිර අබේවර්ධන අමාත්‍යවරයා සන්ධ්‍යාව වන තුරුම‍ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කටයුතු පිළිබඳව සොයා බැලීමට වෙහෙසුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය පැවැත්වෙන ආසනවල සංවිධායකවරුන් හමු වෙමින් සෙනසුරාදා දිනය ද ඇමැති වජිරට අතිශය කාර්ය බහුල දිනයක්. එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් නාමයෝජනා කටයුතු පිළබඳ සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත ගොස් අදාළ කටයුතු සිදුකළා දින ගණනාවක් පැවැති අය-වැය විවාදය අවසන්වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් සාම්ප්‍රදායිකව පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහය ඉකුත් ඉරිදා පැවැත්වුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවෙසේ දීයි. ඇමැති වජිර ද මෙදින රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඇමැති මංගලගේ නිල නිවෙස වෙත ගිය අතර රාත්‍රී 09 පමණ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ සිය බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සමගයි. අගමැති, ඇමැති වජිර ඇතුළු පිරිස එක මේසයක සිට රාත්‍රි භෝජනය ගන්නා අතර තුර එම ස්ථානයට ජනපති මෛත්‍රී ද පැමිණියා. ජනපති මෛත්‍රි ද, අගමැති රනිල් - ඇමැති වජිර සමඟ එකම මේසයේ සිට ආහාර ගැනීමට එක් වුණා. ඉන් සුළු මොහොතකට පසු තවත් විශේෂ අමුත්තෙක් එම ස්ථානයට පැමිණියා. ඒ අන් කවුරුත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. ඇයත් සමඟ ඇමැති දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ද එම ස්ථානයට ආවා. පැයක පමණ කාලයකින් අනතුරුව ජනපති මෛත්‍රි එම ස්ථානයෙන් නික්මි ගියා.

වතුර කතාවකින් සජිත්ගේ හිත උණුවේ

අතීත දේශපාලන හා ආගිය කථාවලින් රස ගැන්වු හමුවක් වු එය මධ්‍යම රාත්‍රිය පසු වන විටත් පැවැති අතර මේ සඳහා හිටපු ජනපති චන්ද්‍රිකා ඇමැති වජිර ඇමැති මංගල මෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට මෙහෙයක් කළ මහාචාර්ය සරත් විජේසුරිය ද එක්වීම විශේෂත්වයක් වුණා.

පසුගිය 12වෙනිදා කලාකරුවන් පිරිසක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ නායක අනුර දිසානායක හමු වී සුහද සාකච්ඡාවක් කළා. මෙම අවස්ථාවට අනුරුද්ධ ජයසිංහ, නදීක ගුරුගේ, දීපානි සිල්වා, නාමල් ජයසිංහ, සෙනේෂ් බණ්ඩාර, සුරංග ලක්මාල් ඇතුළු චිත්‍රපට අධ්‍යක්ෂවරු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීහු, සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා. මෙහි දී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අනුර දිසානායක විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අතර මතු වී ඇති තත්ත්වයන් පිළිබඳ කලාකරුවන් සමඟ සුහද දේශපාලන කතාබහක් ඇති වුණා. පළාත් පාලන මැතිවරණයේ දී අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම ජවිපෙ මුහුණ දෙන අභියෝග, ජයග්‍රහණ අවස්ථා සහ මැතිවරණයේ ජනතාවට ඇති වැදගත්කම පිළිබඳ මෙහි දී කලාකරුවෝ තමන්ගේ අදහස් දැක්වූවා. ”මේ මැතිවරණයේ දී කලාකරුවන් ලෙස ජනතාවට අලූත් පණිවිඩයක් ගෙනියන්න ඕනෑ. ඒ නිසා ඔබතුමාලාට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. අපි ස්තූතිවන්ත වෙනවා, මේ වෙලාවේ අපි මුණ ගැහිලා කතාබහ කරන්න ආපු එක ගැන” අනුර දිසානායක කලාකරුවන්ට ස්තූති කරමින් කියා සිටියා. ”අපි හැම දෙනාම වාගේ විශ්වාස කරනවා ගමේ බලය දෙන්න ඕනෑ ජනතා විමුක්ති පෙරමුණට කියලා. මොකද ගමේ වැඩක් කරගන්න අවංක පිරිසක් ඉන්න ඕනෑ. මෙච්චර කාලයක් විවිධ අය ප්‍රාදේශීය සභා, නගර සභා පාලනය කළා. නමුත් ගමටවත් නගරෙටවත් වැඩක් වුණේ නැහැ. අඩුම තරමේ කුණු ප්‍රශ්නෙටවත් විසඳුමක් නැහැ.” කලාකරුවෙක් අදහස් දක්වමින් කියා සිටියා. ”අපි ඔබතුමාලත් එක්ක වැඩ කරන්න කැමතියි. අපිට වැඩපිළිවෙළක් හදලා දෙන්න. ගමට ගිහින් ගමේ ජනතාව දැනුවත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අද මෙතෙන්ට එන්න හිටපු ලොකු පිරිසක් අත්‍යාවශ්‍ය වැඩ නිසා එන්න බැරි වුණා. නමුත් එළියේ විශාල පිරිසක් ඉන්නවා, ජවිපෙ එක්ක වැඩ කරන්න කැමති. අපි ගමට ගිහින් වැඩ කරන්න සූදානම්” තවත් කලාකරුවෙක් කියා සිටියා.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පළමු වටයේ නාමයෝජනා භාරදීම් සියල්ල අවසන් කොට තිබෙන අතර දෙවන වටයේ නාමයෝජනා භාරදීමද විසිඑක්වනදා වනවිට අවසන් කිරීමට කටයුතු යොදා තිබේනවා. මෙවර ජනතා විමුක්ති පෙරමුණ සිය නාමයෝජනාවල වෙනසක් කිරීමට කටයුතු කර තිබෙනවා . ඒ ජවිපෙට සෘජුව සම්බන්ධ නොවූ පිරිසකට නාමයෝජනා ලැයිස්තුවේ ඉඩ වෙන් කිරීමයි. ජවිපෙ පුවත්පත් දැන්වීම අනුව අපේක්ෂකත්වය ඉල්ලූ තෝරාගත් පිරිසකට මෙවර ජවිපෙ අපේක්ෂකත්වය හිමිව තිබෙනවා. ඒ අතර වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, වෙළඳ සංගම් නියෝජිතයින්, විශ්‍රාමලත් ගුරුවරුන් ඇතුළු විද්වත් පිරිස් මෙන්ම අනෙකුත් පක්ෂ අත්හළ ගම් මට්ටමේ ක්‍රියාකාරීහු පිරිසක් ද වනවා.

ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්ව සිටින්නේ එහි ප්‍රබලයින් ඉවත්වෙමින් සිටින නිසායි. දිගාමඩුල්ලේ මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, පී.ඩී. උපාලි හා ජයන්ත විජේසේකර ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩී.එම් උපාලි දිසානායක හා අඟුණකොලපැලැස්ස ප්‍රා.සභාවේ හිටපු සභාපති මුණසිංහ විජේවික්‍රම ද එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. මේ තත්ත්වය ගැන ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දැන් එකිනෙකාට චෝදනා කර ගන්නා තත්ත්වයට පත්වී සිටිනවා.

දුම්රිය වර්ජකයන්ට ගෙදරින් ප්‍රශ්න

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කීවේ ශ්‍රියානි මන්ත්‍රීවරිය ජනාධිපති ළඟට ගියා නොව යැව්වා කියායි. දිනේශ් ගුණවර්ධන මහතා කීවේ මෙයට වගකිවයුත්තේ දිගාමඩුල්ල මන්ත්‍රී විමලවීර දිසානායක මහතා බවයි. තවත් පිරිසක් චෝදනා එල්ල ක‍ළේ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය නිසා ඒකාබද්ධය තුළ අර්බුද ඇතිවන බවටයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට තොරා ගත්තේ මහනුවර දී දළදා වැඳ පුදා ගැනීමේ අවස්ථාවයි. එහි දී ඔහු කීවේ පොදු ජන පෙරමුණේ තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂ මහතා නොව මන්ත්‍රී කණ්ඩායම බවයි. ගත් තීරණ සම්බන්ධ වැරැද්ද බැසිල්ට පැවරීම වැරදි බව ඔහුගේ අදහසයි. එමෙන්ම ශ්‍රීලනිපය බෙදීමට තමන් කටයුතු නොකළ බව කියන්නටද මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ දැරුවා.

මේ අතර පොදුජන පක්ෂයේ ආසන බෙදාගැනීම ගැනද විශාල ගැටුම් ඇතිවී තිබෙනවා. පක්ෂවලට ඉල්ලන අපේක්ෂක සංඛ්‍යා නොලැබීම ගැන විශාල වාද විවාද සිදුවනවා. එබඳු එක් අවස්ථාවක බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අතර උණුසුම් විවාදයක් ඇති වුණා. ඒත් පසුව ගම්මන්පිල මහතා ගුණවර්ධන මහතාට වැඳ සමාව ගත්තේ ඔහු තමාට ඉගැන් වූ ගුරුවරයකු වන නිසායි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද මෙම බෙදීමට ගොදුරුවී සිටිනවා. එහි මහින්දවාදීන් පොහොට්ටුව සමඟ එක්ව තරග කරනවා. ඔවුන්ට ඉල්ලූ මන්ත්‍රී අපේක්ෂක ධුර සංඛ්‍යා බොහෝ තැන්වල ලැබී නැහැ. මේ අතර ඇතැම් තැන්වල එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද කො ප යේ පිරිසක් තරග කරනවා. තවත් තැනක තනිවම තරග කරනවා. ඇතැම් විට එකම පළාත් පාලන ආයතනයට දෙතුන් පැත්තකින් අපේක්ෂකයන් ඉදිරිපත් වනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට බුලත් කොළය ලකුණින් කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයින් තිදෙනකු තරග කරද් දී පොහොට්ටුවෙන් එම පක්ෂයේම දෙදෙනකු තරග කරනවා. ඒ අතර තවත් කණ්ඩායමක් කොමියුනිස්ට් පක්ෂය ලෙස තරුව ලකුණින්ද තරග කරන්නට සූදානම්. මෙය මෙරට මැතිවරණ ඉතිහාසයේ නොසිදුවුණු සංකීර්ණ තත්ත්වයක්. එකම පක්ෂයක් එකම පළාත් පාලන ආයතනයට කණ්ඩායම් තුනකින් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන මැතිවරණ කටයුතුවලට සම්බන්ධවීමට සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එම කණ්ඩා‍යමේ පිරිසකගේ විරුද්ධත්වය නිසා මැතිවරණ කටයුතුවලින් ඉවත් වී අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. පසුගිය අඟහරුවාදා උදේ ඇමෙරිකාව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය අවසන් වනතුරු යළි මෙරටට නොපැමිණෙන බව විපක්ෂ ආරංචි මාර්ග කියනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා රට යන්නට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන තිබුණා. එය අද (15) දින අවසන් වන අතර අධිකරණය ගෝඨාභයගේ අයැදුම ගැන ඉදිරි ක්රිධයාමාර්ග ගැනීම අදට නියමිතව තිබුණා.

නව අදහස දක්වන්න