ශ්‍රී ලංකා-ඉන්දීය අවසන් එක්දින ගැටුම | දිනමිණ

ශ්‍රී ලංකා-ඉන්දීය අවසන් එක්දින ගැටුම

ෆවුස් මොහොමඩ්

හෙට තරගය දෙපිලටම තීරණාත්මකයි

මෙරට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක අභියස සිටින තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) විශාකාපට්නම් හී දී ඉන්දීය පිලට එරෙහිව තුන්වැනි හා අවසන් එක්දින තරගයට එක්වෙයි.

වසර 1982 සිට මේ දක්වා විශිෂ්ට ක්‍රීඩකයන් රැසකගේ නායකත්වයෙන් ඉන්දීය භූමියේ එක්දින තරගාවලි 9කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිලට මෙතෙක් නොලැබූ තරගාවලි ජයක් හඹා තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් පිටියට පිවිසෙන්නේ බලාපොරොත්තු රැසක් කරපින්නාගෙනය. මේ වනවිට 1-1කින් තරගාවලිය සම තත්ත්වයේ පවතින බැවින් හෙට තරගය දෙපිලටම අතිශය වැදගත් තීරණාත්මක තරගයක් බවට පත්වී තිබේ.

පළමුවරට ශ්‍රී ලංකා එක්දින පිලට නායකත්වය දෙන තිසර පෙරේරාගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව ඉටු කිරීමට සෙසු ක්‍රීඩකයන් උපරිම දායකත්වය ලබා දෙනු ඇත. එසේ වුවත් ඉන්දීය එක්දින පිලේ නිත්‍ය නායක විරාත් කෝලි සිය විවාහ මංගල්‍යය නිසා නිවාඩුවක් ලබාගැනීමෙන් පළමුවරට ඉන්දීය එක්දින පිල මෙහෙයවීමේ ගෞරවය හිමිකර ගෙන සිටින රෝහිත් ෂර්මා සිය රටෙහි අභිමානය රැක ගැනීමට හැකි සෑම අයුරකින්ම උත්සාහ දරනු නිසැකය.

විශේෂයෙන් දෙවැනි එක්දින තරගයේදී වාර්තාගත ද්විත්ව ශතකයකට හිමිකම් කියමින් ශ්‍රී ලංකා පිලේ එක්දින තරගාවලි ජයග්‍රහණයේ බලාපොරොත්තුව බිඳ දැමූ රෝහිත් ෂර්මා තරගාවලිය සමකර ගැනීමට උර දීමෙන් ඉන්දීය පිල හෙට තරගයට පිවිසෙන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය.

දෙවැනි තරගයේදී පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය පිලට ලබාදීමෙන් ශ්‍රී ලංකා පිල පත්වූ බලවත් අසීරුතාව තරගයේ පරාජයට ප්‍රධාන සාධකයක් වූ බැවින‍් හෙට තරගයේදී තිසර පෙරේරා ඒ පිළිබඳවත් දැඩි අවධානය යොමු කරනු ඇත.

ශ්‍රී ලංකා පිලේ අංක 3 පිතිකරු ළහිරු තිරිමාන්න පසුගිය තරග 2දීම ලකුණු අතරට පැමිණීමට අසමත්වීමත්, උපුල් තරංග සමග ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලකගෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීමත් හේතුවෙන් හෙට තරගයේදී උපුල් තරංග සමග ඉනිම ආරම්භ කිරීමට ප්‍රහාරාත්මක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යොදාගැනීම කෙරෙහි ශ්‍රි ලංකා පිලේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම තිරිමාන්න සහ දෙවැනි තරගයේදී ඉන්දීය පිතිකරුවන්ගෙන් ප්‍රබල ප්‍රහාරයකට ලක්වූ වේගපන්දු යවන නුවන් ප්‍රදීප් හෙට තරගයට ක්‍රීඩා කිරීම ද අවිනිශ්චිත බව වාර්තා වෙයි. දෙවැනි තරගයේදී නුවන් ප්‍රදීප් යැවූ ඕවර 10දී ලකුණු 106ක් උදුරා ගැනීමට ඉන්දීය පිතිකරුවෝ සමත්වූහ. එය පන්දු යවන්නකුට එරෙහිව එක්දින තරගයකදී වාර්තා වූ ඉහළම තුන්වැනි ලකුණු සංඛ්‍යාව ද විය. දෙවැනි තරගයේදී සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකය වාර්තා කළ අත්දැකීම් බහුල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් හෙට තරගයේදීත් එවැනි දස්කමක් බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පිල තරගය ජයග්‍රහණයෙන් නිමාකරගැනීමට දැඩි උත්සාහයක නිරතවනු ඇත.

මෑත කාලයේ දඟපන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් උදාකර දුන් විශාකාපට්නම් හී තණතීරුව ගැන වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා පිලට අතිරේක දඟපන්දු යවන්නකු එක්වනු ඇතැයි ද වාර්තා වෙයි. එසේ වුවත් එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී වේගවත් තණතීරුවල ක්‍රීඩා කිරීමට හුරුවීම සඳහා මෙවර ශ්‍රී ලංකා පිලේ සංචාරයට සෑම තණතීරුවක්ම වේගපන්දුවට උචිත ආකාරයෙන් සකස් කිරීමට ඉන්දීය බලධාරින් ගත් තීරණය නිසා හෙට තරගයේදී විශාකාපට්නම් තණතීරුව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන සුරංග ලක්මාල්ට මෙන්ම ඉන්දීය පිලේ වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රාට වාසිදායක වනු නිසැකය.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට හෙට තරගය ආරම්භ වෙයි.


නව අදහස දක්වන්න

Or log in with...