දැනුමෙන් පිරිපුන් හමුදාවක් ගොඩනැ‍ඟීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා | දිනමිණ

දැනුමෙන් පිරිපුන් හමුදාවක් ගොඩනැ‍ඟීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා

* ආත්ම­ාභිමානයෙන් කළ විශිෂ්ට කැපවීම නිසා ජයග්‍රහණ ලැබුණා
* ආපදා අවස්ථාවන්හිදී හමුදාවේ මානුෂීය මෙහෙවර කැපී පෙනෙනවා
* අන්තර්ජාතික සහයෝගය සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ වගකීමක් තිබෙනවා

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් පිරිපුන් ආරක්ෂක හමුදාවක් ලෙස ගොඩනැ‍ඟීමට ලබාදිය යුතු සියලු පහසුකම් ලබාදෙන බව ජනපති පවසයි. ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් මෙන්ම නව ශිල්පීය ඥානයෙන් යුත් ආරක්ෂක හමුදාවක් ලෙස ගොඩනැ‍ඟීමට ලබාදිය යුතු සියලු පහසුකම් ලබාදෙන බව ජනපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ඉකුත්දා (13) පෙරවරුවේ අමතමිනි.

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයට පැමිණි ජනපතිවරයා එහි සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

අනතුරුව උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සාමකාමී රටක ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටුකිරීමේ දී මෙන්ම අන්තර්ජාතික සහයෝගීතාවය සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටුකිරීමේ දී අපගේ ආරක්ෂක හමුදාව තාක්ෂණික දැනුමෙන් මෙන්ම ශිල්පීය ඥානයෙන් සන්නද්ධ විය යුතු බවයි.

ජාතික ආපදා අවස්ථාවන්වල දී අපගේ ආරක්ෂක හමුදාව ආරක්ෂක සේවාවේ වගකීමවලට අමතරව ඉටුකරන මානුෂීය මෙහෙවර ද මෙහි දී ඇගයීමට ලක් කළ ජනපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී මෙන්ම වෙනත් නීති විරෝධි කටයුතු මැඩලීමේ දී ද ලබාදෙන විශිෂ්ට සහය අගය කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පවසා සිටියේය. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට දෙවන වරටත් සහභාගි වීමට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා.

මම ඊයේ සන්ධ්‍යාවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වුණා. පුළුල් වගකීම් රාශියක් හිස මත, හදවතේ රඳවා ගත් අධිෂ්ඨානශීලී, ශක්තිමත්, ආත්ම ධෛර්යයෙන්, ආත්ම අභිමානයෙන් යුත් පිරිසක් වන ඔබ හමුවීම සතුටට කරුණක්.

අපේ රටේ ගෙවුණු දශක කිහිපයේ නව වෙනස්කම් රාශියක් සිදුවුණා. ආරක්ෂක සේවාවන්හි ප්‍රතිසංවිධානයන් ඇති වුණා. ඒවාගේම ඒ සේවාවන්හි නියැලී සිටින අයට දැනුම, අධ්‍යාපනය, පුහුණුවීම් පිළිබඳ කාලානුරූපව ගත යුතු තීන්දු තීරණ ගෙන අවශ්‍ය වෙනස්කම් පැවැති රජයන් විසින් ගනු ලැබුවා. ඔබේ එඩිතරකම, සටන්කාමීත්වය, අවංකකම, කැපවීම සමඟ ආරක්ෂක සේවාවන්හි පරිපූර්ණ මිනිසෙක් බවට පරිපූර්ණ ආරක්ෂක සේවා නිලධාරියෙක් විදියට කටයුතු කිරීමට ඉතාම අත්‍යවශ්‍ය වන්නේ දැනුමයි. අධ්‍යාපනයයි. උගත්කමයි. පුහුණුවයි. අධ්‍යයනයයි. පර්යේෂණයි.

රජයක් විදියට ඒ සියලූ දේ ඔබට ලබාදීම සඳහාත් ජාතික ආරක්ෂාව පිළිබඳ ඒවගේම ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ගත හැකි ගත යුතු සියලූ තීන්දු තීරණ අරගෙන රටේ ජනතාවගේ ජාතියේ සහ ඔබේ යහපත සඳහාත් අප විසින් සියලූ වගකීම් ඉටු කරනු ලබනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ දෙන ප්‍රමුඛත්වයේ දී රාජ්‍යයක් විසින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින ඔබ වැන්නවුන් සඳහා රජයක වගකීම සහ යුතුකම සැමවිටම නිසිලෙස ඉටු වීම ඉතාමත් අවශ්‍ය වෙනවා.

ඔබේ දැනුම, පුහුණුව, අධ්‍යාපනය තුළ එක් පැත්තකින් කුසලතා වර්ධනය, තවත් පැත්තකින් පෞරුෂත්වය වර්ධනය, තවත් පැත්තකින් නිර්මාණශීලීභාවය මේ සියල්ල සමඟ දැනුමෙන් සන්නද්ධ වන ඔබ දක්ෂතා, හැකියාවන්, කුසලතාවයන්, නිර්මාණශීලීභාවයන් සමඟ අධි තාක්ෂණික ලෝකයේ ආරක්ෂක සේවාවකට අවශ්‍ය පූර්ණ හමුදා නිලධාරියෙක් බවට පත්වීම අවශ්‍යයයි.

අද අපට තිබෙන්නේ ආයුධවලින් සටන් කරන සටනක් නොවෙයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ අපිට එවැනි සටනක් තිබුණා. එය ඔබ මෙන්ම ඔබේ සහෝදර නිලධාරීන් ජීවිත පරිත්‍යාග කරමින්, අවයව පරිත්‍යාග කරමින් සිය දරු පවුල්වල අනාගතය පසෙක තබමින් ආත්මශක්තියෙන් ආත්ම­ාභිමානයෙන් යුතුව කළ විශිෂ්ට කැපවීමෙන් ජයග්‍රහණය ලබා ගත්තා. අද අපේ රට සාමකාමී රටක්.

සාමකාමී රටක අප විසින් කළ යුතු වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ දී ජාතික ආරක්ෂාව, තවත් පැත්තකින් අන්තර්ජාතික සබඳතා සමඟ කලාපීය ආරක්ෂාව. ජාතික ආරක්ෂාවට සහ කලාපීය ආරක්ෂාවට අවශ්‍ය අන්තර්ජාතික දැනුම. තාක්ෂණයෙන් යුද ශිල්පයෙන්, ක්‍රමෝපායන්ගෙන් පුහුණුවීම්වලින්, අධ්‍යාපනයෙන් ඒ සියල්ලෙන් අපට වඩා ඉදිරියෙන් සිටින දියුණු රටවල්වලින් ඒ අවශ්‍ය දැනුම අප විසින් ලබා ගත යුතුයි. ඒ ලබා ගැනීම තුළ එක් පැත්තකින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටු කිරීමත් ඒවගේම විවිධ සමාජ කාර්යයන්, සමාජ සුබසාධනය රටේ සංවර්ධනය සඳහා කළ යුතු යුතුකම් සහ වගකීම් ඉෂ්ට කිරීම් ඒ සියල්ල සඳහා අප කැපවිය යුතු වෙනවා.

රටක් වශයෙන් ගත් විට අප පමණක් මුහුණ නොදෙන සියලූ රටවල් මුහුණ දෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, නොයෙකුත් අපචාර ඒවගේම නොයෙකුත් ජාවාරම්කාර ව්‍යාපාර, නීතිය, යුක්තිය සමාජ සාධාරණත්වය නොසලකා කටයුතු කරන සමාජයේ ජීවත් වන ඇතැම් මිනිසුන් පාලනය කිරීම මේ සියල්ල පිළිබඳ වගකීම් රාශියක් ඔබට තිබෙනවා. පාරිසරික වශයෙන් කාලගුණික සහ දේශගුණික වෙනස්වීම් සමඟ අද අපේ රට වගේම ලෝකයේ බොහෝ රටවල් ඒ අභියෝගයට මුහුණ දී සිටිනවා.

අද අපේ රටේ එක් පෙදෙසක නියඟය. තවත් පෙදෙසක ගංවතුර. බෝහෝ විට බස්නාහිර පළාතේ ජීවත් වන ජනතාව දන්නේ නැහැ දැන් අවුරුදු දෙකක් පුරා මේ රටේ තවත් ප්‍රදේශයක දැඩි නියඟයක් තිබෙනවා කියලා. අපිට විදේශවලින් සහල් ගෙන්වන්න සිද්ධ වුණෙත් තවමත් නිමා නොවූ නියඟය නිසයි. කාලගුණික දේශගුණික පරිවර්තනයන් සහ වෙනස්වීම් තුළින් ඇතිවන ආපදාවන්වලදි ඒ ජාතික ආපදා කළමනාකරණය කිරීම සඳහා ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ඉටු කරන්නා වූ මෙහෙය ඉතාමත්ම විශිෂ්ටයි.

2014 වසරේ ඇතිවුණු සුනාමිය වගේම පසුගිය කාලය තුළ අපේ රටේ ඇති වුණු නාය යාම්, සුළිසුළං, ගංවතුර, නියඟය වැනි ව්‍යසනවලදි ඔබ විශිෂ්ට මෙහෙයක් ඉටු කරනු ලැබුවා. තවත් පැත්තකින් මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී කටයුතු වැළැක්වීම සඳහා අපේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ත්‍රිවිධ හමුදාව විසින් කළ යුතු කාර්යයන් ඉතාමත් හොඳින් ඉටු කරනු ලබනවා. අපේ පාසල් දරුවන්ගේ සිට සමස්ත පුරවැසියන්ට හමුදාව තුළින් දෙන ආදර්ශය ඉතාමත් වැදගත්.

ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාතික වශයෙන් අපේ ත්‍රිවිධ හමුදාව වඩාත් පිළිගැනීමට සහ ගෞරවයට ලක්වී තිබෙන්නේ විනයගරුක හමුදාවක් ලෙසයි. විනයගරුක හමුදාවක් ලෙස ඔබට තිබෙන කීර්තිමත් නාමය ලෝකයේ සෑම හමුදාවකටම දිනාගත හැකි ගෞරවයක් හෝ සම්මානයක් නොවෙයි. විනයගරුක, උගත්, බුද්ධිමත්, බහුශ්‍රැත හමුදාවක් සිටීම පිළිබඳ අප සතුටු විය යුතුයි. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය මේ සියලූ කටයුතුවලදි කරන සේවය කැපකිරීම් මා ඉතාමත් අගය කරනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ කාර්යය මණ්ඩලය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඒවගේම මේ විද්‍යාලයේ අණදෙන නිලධාරී, ආචාර්ය මණ්ඩලය, කළමනාකරණ පාලක මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සියල්ල සමඟ මීට සහයෝගය දෙන, අනුග්‍රහය දෙන සියලූ පුද්ගලයන්, ආයතන සංවිධානවලට මම රජය වෙනුවෙනුත් පෞදගලිකවත් මගේ ගෞරවණීය ස්තූතිය පුද කරමින් මේ විද්‍යාලයෙන් ඉදිරි ආනගතය සඳහා හෙට දවස සඳහා අවශ්‍ය උපාධි ලබාගෙන ඔබේ දැනුම, උගත්කම, වර්ධනය කරගෙන ඒ දැනුමත් සමඟ උගත්කමත් සමඟ සමාජයට ප්‍රවේශ වන ඔබ ඔබේ පෞද්ගලික ජීවිතය පමණක් නොව රටේ ආනගතය වගේම සමාජයට ඉතාමත් ආදර්ශවත් මිනිසෙක් බවට පත්වී සැබෑ මිනිසුන් වෙනුවෙන් මිනිස්කම සුරකින්නට පෝෂණය කරන්නට වගේම ඔබ විසින් ඉටු කළ යුතු ජාතික වගකීම් රාජකාරි වගකීම් වෘත්තීය වගකීම් ඒ සියල්ල සමඟ ඔබට වඩාත් යහපත් වාසනාවන්ත අනාගතයක් සඳහා සුබ පතමින් ආශිර්වාද කරනවා.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 යටතේ අධ්‍යාපනය සම්පූර්ණ කළ යුද හමුදා නිලධාරින් 65 දෙනෙකු, නාවික හමුදාවේ 23 දෙනෙකු, ගුවන් හමුදාවේ 26 දෙනකු සහ විදේශීය හමුදා නිලධාරින් 14 දෙනක් අද උපාධි ලබාගත්හ.

උපාධි ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනකු වෙත උපාධි පිරිනැමීම ජනපතිවරයා අතින් සිදු විය.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 හි දක්ෂතම දේශීය සහ විදේශීය නිලධාරින්ට ජය සංකේත ප්‍රදානය කිරීම ද ජනපතිවරයා අතින් සිදු විය.

රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...