ථෙරවාදී බුදු දහම යුරෝපයේ, අමෙරිකාවේ ‍පුළුල් ලෙස ප්‍රචලිත කළ යුතුයි | දිනමිණ

ථෙරවාදී බුදු දහම යුරෝපයේ, අමෙරිකාවේ ‍පුළුල් ලෙස ප්‍රචලිත කළ යුතුයි

උපාලි කරුණාරත්න

* බුදුන් වහන්සේගේ ධර්මය විවිධ ආකාර වලින් ප්‍රචාරය කරන්න පුළුවන්. මේ සියල්ල කළ හැකි වන්නේ මෙරට සිංහල ජනතාව බුදු දහම ආරක්ෂා කළ නිසයි.
* 1973-1974 කාලයේ බොරලැස්ගමුවෙන් මෙහා කිසිදු දියුණුවක් තිබුණේ නැහැ. 1980 පසු තමයි මෙම ප්‍රදේශ ජනාකීර්ණ ප්‍රදේශ බවට පත් වුණේ.
* බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ධර්මය ගමින් ගමට ගොස් දේශනා කළා

ථෙරවාදී බුදු දහම පිළිබඳව යුරෝපයයේ සහ අමෙරිකාවේ ජනතාවගේ විශේෂ උනන්දුවක් තිබෙන මේ අවස්ථාවේ එය ක්‍රමාණුකූලව ලබා දිය යුතු බවත් එම කටයුත්තේ දී ශ්‍රී ලාංකික බෞද්ධයන්ට විශාල කාර්ය භාරයක් පැවරෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ පසුගියදා (9)පන්නිපිටිය, පැලැන්වත්ත සත්බුදු මහ වෙහෙර පුණ්‍ය භූමියෙහි ඉදි වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑයෙහි කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සව සභාවට සහභාගි වෙමිණි.

මෙහිදී සත්බුදු මහා විහාරාධිපති පන්විල ශ්‍රී සෝරත නාහිපාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඉදි කළ චිත්‍ර සහිත උමං ගෙය නායක හිමිවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ අගමැතිවරයා අතින් නිරාවරණය කෙරඅනු අතර චෛත්‍ය රාජයාණන් වහන්සේට ප්‍රථම මල් පූජාව අගමැතිවරයා අතින් සිදු විණි.

මෙම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියන් හොබ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසිය.

ථෙරවාදී බෞද්ධයන් සිටින රටවල් එකතුකර ගත යුතුයි. රජය ‍ථෙරවාදී බුදු දහම රටපුරා වර්ධනය කිරීමට කටයුතු කරනවා.

අද දින ශ්‍රීමත් අනගාරික ධර්මපාල චෛත්‍ය රාජයාණන්ගේ කොත නිරාවරණය කළා. පැලැන්වත්ත සත්බුදු විහාරයේ විහාරාධිපති සෝරත ස්වාමින් වහන්සේගේ හැත්තෑ වැනි උපන් දිනයද අදට යෙදී තිබෙනවා. මෙම විහාරස්ථානය ඇති කෙළේ සෝරත ස්වාමීන් වහන්සේයි.

අතීතයේ මෙම පළාතේ පැවැතියේ විශාල වතු. අවුරුදු හැටකට පෙර මෙම පළාත මට මතකයි. 1973-1974 කාලයේ බොරලැස්ගමුවෙන් මෙහා කිසිදු දියුණුවක් තිබුණේ නැහැ. 1980 පසු තමයි මෙම ප්‍රදේශ ජනා කීර්ණ ප්‍රදේශ බවට පත් වුණේ. වෙනත් ප්‍රදේශවලින් කොළඹට පැමිණි ජනතාව විශාල ලෙස මෙවැනි ප්‍රදේශවල පදිංචි වුණා. වර්තමානයේ මෙම ප්‍රදේශ ඉතා ජනාකීර්ණයි.

සෝරත ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානය ගොඩනැගීමට කළ කැපවීම මේ අවස්ථාවේ අප සිහිපත් කළ යුතුයි. උන් වහන්සේගේ එම සේවය සියලු දෙනාම අගයන්න ඕනේ. උන්වහන්සේට පින් දෙන්න ඕනේ. ස්තුති කළ යුතුයි. මෙම විහාරස්ථානය වර්තමාන තත්ත්වයට රැගෙන ඒම සඳහා සෝරත ස්වාමින් වහන්සේට විශාල සටනක් කිරීමට සිදු වුණා. පොල් වතු සහ කුඩා කැලෑ තිබෙන ප්‍රදේශයකට පැමිණ කුඩා පැලක් හදා ගෙන විහාරස්ථානයක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ධර්මය ප්‍රචාරය කිරීම දුෂ්කර කටයුත්තක්. එදා වර්තමානයේ මෙන් මෙම දායක දායිකාවන්ටත් පැමිණීම අමාරුයි. ක්‍රමානුකූලව සෝරත ස්වාමින් වහන්සේ මේ විහාරස්ථානය දියුණු කළා. සෝරත ස්වාමීන් වහන්සේගේ උත්සාහය නිසා මෙම ප්‍රදේශයේ බෞද්ධ කටයුතු සඳහා මුලස්ථානයක් ඇති වුණා. එය මේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට ඉතා වටිනවා. එවන් විශාල කාර්යයක් කළ සෝරත ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේ අප සියලු දෙනා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

අතීතයේ කොළඹ දියුණුව නුගේගොඩට සීමා වෙලා තිබුණා. එක් පැත්තකින් එම දියුණුව බොරලැස්ගමුවෙන් නැවතුනා. පන්නිපිටිය ,හෝමාගම ,පාදුක්ක ප්‍රදේශවල වැඩි වශයෙන් පැවතියේ කුඩා සහ විශාල වතු.

අද දින කොත නිරාවරණය කළ ‍චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීම සෝරත ස්වාමින් වහන්සේගේම අදහසක්. මේ සඳහා දායක සභාව විශාල ලෙස වෙහෙසී වැඩ කටයුතු කර තිබෙනවා. මෙම විහාරස්ථානයේ දියුණුවට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලැබෙනවා. විහාරස්ථානය වැඩි දියුණු වීමට එවැනි සහයෝගයන් අවශ්‍යයි.

පන්සලක් දියුණු වන්නේ දීර්ඝ කාලයක් පවතින්නේ එම ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ අනුග්‍රහය මතයි. සහයෝගය මතයි. එසේ නොවේ නම් විහාරස්ථානයක් පවත්වාගෙන යාම දුෂ්කරයි. බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ධර්මය ගමින් ගමට ගොස් දේශනා කළා. ඉන්දියාවේ විවිධ ප්‍රදේවල සැරි සරමින් ධර්මය දේශනා කළා.ගම්මානවල සිටින බෞද්ධයන් වැඩි වෙන්න වැඩි වෙන්න විහාරස්ථානද ඇති වුණා. පිරිවෙන් ඇතිවුණා.

බුදු දහම යම් ප්‍රදේශයක නැතිවන විට විහාරස්ථාන නටඹුන් බවට පත් වුණා. බිහාර් ප්‍රාන්තය කියන්නෙ විහාර් ප්‍රාන්තය කියා සමහරුන් ප්‍රකාශ කරනවා. අපේ රටට බුදු දහම පැමිණි පසු මේ රටේ ජනතාව එය වැළද ගත්ත. ථෙරවාදී බුදු දහම මේ රටේ ස්ථාපිත වුණා. විවිධ අවස්ථාවන්හිදී ජනතාවට ප්‍රශ්න ගැටලු ආවත් ථෙරවාදී බුදු දහමෙන් ඉවත් වුණේ නැහැ. මහසෙන් රජතුමාටත් ජනතාවගේ මතය පිළිගැනීමට සිදු වුණා.

අතීතයේ රජරට ප්‍රදේශයේ ජනාවාස අවට විහාරස්ථාන ඇති වුණා. රජරට ශිෂ්ඨාචාරය කඩාවැටීමෙන් පසු තෙත් කලාපයේ ජනාවාස වැඩියෙන් ඇති වුණා.ඒ ජනාවාස අවටත් විහාරස්ථාන ඇති වුණා. රජරට සිදු වූ විවිධ ආක්‍රමණයන් පාලනයන් යටතේත් තෙත් කලාපයේ පෘතුගීසි පාලනය යටතේත් ජනතාව බෞද්ධ ධර්මයෙන් ඇත් වුණේ නැහැ. එය අත් හැරියේත් නැහැ. හැකි සෑම අවස්ථාවකම ධර්මය හැදෑරීමට කටයුතු කළා.

මේ රටේ බෞද්ධ ආගම ආරක්ෂා කිරීමට සිංහල බෞද්ධ ජනතාව අතීතයේ සිට කටයුතු කළා. 19 වැනි ශත වර්ෂයේ සිට යළි ප්‍රබෝධයක් ඇති වුණා. එම මේ දක්වාම පවතිනවා. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක බුදු දහම නැති වූණත් ශ්‍රී ලංකාවේ එය ආරක්ෂා වුණා. රටවල් ගණනාවකට ථෙරවාදී බුදු දහම පතුරුවන්න අපට හැකි වුණා. මියන්මාරයට, ලාවෝසයට, දකුණු වියට්නාමයට ථෙරවාදී දර්ශනය ලබා දුන්නා. එදා තිබූ සුපතායි නගරයට, ලුවන් ප්‍රභා නගරය, ෂැන් මායි නගරයට බුදු දහම ලබා දුන්නා. මේ නිසා ථෙරවාදී බුද්ධාගම ආරක්ෂා වුණා.

ථෙරවාදී දර්ශනය පිළිබඳව යුරෝපයේ ජනතාවත් අද සොයා බලනවා. අප ආණ්ඩුවක් ලෙස ථෙරවාදී බුදු දහම මේ රටේ වර්ධනය කළ යුතුයි. ඒ සමඟම ථෙරවාදී බුදු දහම ඇති අනෙකුත් රටවල් සමඟ එකතු වී ථෙරවාදී බුදු දහම යුරෝපයටත් අමෙරිකාවටත් ලබා දිය යුතුයි.

ථෙරවාදී බුදුදහම පිළිබඳව යුරෝපයේ අමෙරිකාවේ ජනතාවගේ විශේෂ උනන්දුවක් තිබෙන මේ අවස්ථාවේ එය ක්‍රමාණුකූලව ලබා දෙන්න ඕනේ. එය ලබා දෙන්න අවුරුදු දහයක්, පනහක් , සියක් යයි. එම කටයුත්ත අප ආරම්භ කරන්න ඕනේ.

බුදුන් වහන්සේගේ ධර්මය විවිධ ආකාර වලින් ප්‍රචාරය කරන්න පුළුවන්. මේ සියල්ල කළ හැකි වන්නේ මෙරට සිංහල ජනතාව බුදු දහම ආරක්ෂා කළ නිසයි. අපේ ජනතාව බුදු දහම ආරක්ෂා නොකළා නම් විශාල ගැටලු ඇති වෙනවා. දහම විනාශ වී යනවා. එවිට ලෝකයට ලබා දෙන්න ථෙරවාදී බුදු දහමක් නැහැ.අද බුදු දහම ආරක්ෂා කිරීමට ගම්වල ජනතාව දරණ උත්සාහයට මෙම විහාරස්ථානයද හොඳ උදාහරණයක්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමි-

අගමැතිතුමා මේ අවස්ථාවට සහභාගි වෙනවා. මට මේ උත්සවයට සහභාගි වීමට ලැබීම සන්තෝෂයට කාරණයක්.විහාර මන්දිරය දකින අවස්ථාවේ මට මතක් වුණා දක්ෂ චිත්‍ර ශිල්පියාට බොහෝ දේ පෙන්වන්න පුළුවන් බව. ඔවුන්ගේ නිර්මාණ තුළින් බෞද්ධයාට පමණක් නොවේ අනෙකුත් ජනතාවටද බොහෝ දේ ඉගෙන ගත හැකියි. මෙම විහාරය දකින විට සෝරත හාමුදුරුවන්ද හොඳ නිර්මාණ කරුවෙක් බව පෙනෙනවා.

මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වෙමින් තිබිම පිළිබඳව මම බොහෝ සංතේෂයට පත්වෙනවා. වැවයි චෛත්‍යයි තුළින් අපේකම පිළිබඳව කරුණු අනාවරණය වෙනවා. මර්සලින් ජයකොඩි පියතුමාද මේ පිළිබඳව කතා කර තිබෙනවා. මිනිසුන්ට වෙහෙරක් දකින විට හදවත සන්සුන් වෙනවා. චෛත්‍ය රාජයානන් වහන්සේ නමක් ගොඩනැගීම අපේ ජාතික පෞරුෂයටද හේතුවනවා.

මාතලේ ධම්මකුසල අනුනාහිමියෝ-

විහාරස්ථානයක චෛත්‍ය රාජයාණන්වහන්සේ නමක් ඉදිකිරීම බෞද්ධ පුනර්ජීවනයට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම සත්බුදු මහ වෙහෙරෙහි ඉදි වූ මෙම චෛත්‍යයට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ නම තැබිමද ඉතා වටිනා කාරණයක්. සංසාරේ තිබෙන බිහිසුනු බව තේරුම් ගෙන එයින් එගොඩවීමේ වැඩ පිළිවෙළ පිළිබඳව අප කල්පනා කළ යුතුයි.

සම්බුදු මහා විහාරාධිපති පන්විල සෝරත නාහිමි-

ඉතා කාර්යය බහුල තත්ත්වයකදී වුවද අගමැතිතුමා මේ ස්ථානයට පැමිණීම අප ඉතා අගය කරනවා. මම මේ ස්ථානයට පැමිණියේ 1976 වර්ෂයේ. එම කාලයේ මෙම ප්‍රදේශය ඉතා දුෂ්කරයි.මෙම විහාරස්ථානය ගොඩනැගීමට විශාල වෙහෙසක් ගැනීමට මට සිදු වුණා. විවිධ බාධක ඇති වුණා. සමහරු මාව කැලේ සෝරත කියාත් හැදින්වූවා. බුද්ධ ශාසනය රැක ගැනීමට අප නිරන්තරව කටයුතු කළ යුතුයි. හොඳ හොඳ ලෙසත්, නරක නරක ලෙසත් අප තේරුම් ගත යුතුයි. මෙම ප්‍රදේශයට ක්‍රීඩා පිට්ටනියක් සෑදීමට භූමි භාගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් අගමැතිතුමාට මම ලිපි ගොනුවක්ද ඉදිරිපත් කරනවා.

නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ, පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...