බොරලැස්ගමුව නගර සභාවටත් එජාපයෙන් පිරිසුදු ලයිස්තුවක් | දිනමිණ

බොරලැස්ගමුව නගර සභාවටත් එජාපයෙන් පිරිසුදු ලයිස්තුවක්

පසුගිය දා පළාත් පාලන මැතිවරණයට අදාළ බොරලැස්ගමුව සහ මහරගම නගර සභා සඳහා නාම යෝජනා බාර දීමට කොළඹ නව නගර ශාලාව වෙත පැමිණි කැස්බෑව එජාප සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සහ මහරගම හිටපු නගරාධිපතිනි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ වැදගත්කම සහ ඒ සඳහා තම පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තු පිළිබඳ අදහස් දැක්වූහ.

බොරලැස්ගමුව නගර සභාව වෙනුවෙන් එජාපය ඉතා පිරිසිදු ලයිස්තුවක් ඉදිරිපත් කළ බව පැවසූ නිරෝෂන් පාදුක්ක මහතා එහ කිසිම පුද්ගලයකු කිසිදු චෝදනාවකට ‍ලක් නොවූ අය බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

අපි මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ ගම හදන තැන හරියට සහ දැනෙන්න හැදෙන්න. ඒ සඳහා කැමති අය අපිත් සමග එන්න පුලුවන්. බොරලැස්ගමුව ජනතාව දන්නවා පසු ගිය වසර අට තුළ සිදු වුණේ කුමක්ද කියලා. නව පරිපාලනයක් යටතේ මේ තත්ත්වය වෙනස් කරන්න අපි සූදානම්. ඒ නිසා ජනතාව අලුත් නගර සභාවක් හදන්න එකතු වේවි කියලා අපි විශ්වාස කරනවා.

මෙහි ලොකුම වෙනස තිබෙන්නේ අපි කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා යටිතල පහසුකම් දියුණු කරලා , නගර සභාව පනතට අනුව අළුතෙන් හදන්න. මහින්ද රාජපක්ෂ මහතා ගේ පක්ෂයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා රාජපක්ෂ පවුල සුරකින්න.

අපගේ ලැයිස්තුව ඉතා ප්‍රබල ලැයිස්තුවක් කියලා අපිට කියන්න පුලුවන් වෙන්නේ කිසිම පුද්ගලයෙක් කිසිදු චෝදනාවකට ලක් වූ අය නොවන නිසා. ඒ නිසා පැහැදිලිව, විශ්වාසයෙන් කියනවා එය ඉතා පිරිසිදු ලැයිස්තුවක් බව පැවැසීය.

මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කෙළේ මෙවර පළාත් පාලන මැතිවරණය මෙන්ම සියලු ආයතන ජයග්‍රහණය කිරීම තම පක්ෂයට වැදගත් බවයි. කෙසේ වුවත් ඇය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කාන්තා නියෝජනය නිසි ලෙස සඳහන් නොවීම හේතුවෙන් ප්‍රතික්ෂේප විය. නාම යෝජනා බාර දීමට පෙර කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කළේ,

වෙනදා පැවැත්වුණ මැතිවරණ වගේ නෙවෙයි මේ මැතිවරණය. මෙය මේ රජය පන්නන්න පළවැනි වෙඩි මුරය පත්තු කරන අවස්ථාවයි. මුළු රටම අප සමග පෙළ ගැසුණ වෙලාවක , මේ රටට වූ විනාශයත්, රට විකුණන වැඩපිළිවෙලටත් එරෙහි වෙන්න අවශ්‍ය නම් මේ රටේ පළාත් පාලන සියල්ල ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. නැත්නම් මේ රට තවත් අඳුරටයි යන්නෙ. අපි රටට ආදරෙයි යනුවෙනි.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූපය චමින්ද නිරෝෂණ 

නව අදහස දක්වන්න