තැපැල් පියුන්ගේ මායා මාලිගාව | දිනමිණ

තැපැල් පියුන්ගේ මායා මාලිගාව

චම්පිකා දීපානි රණසිංහ

පයේ බොරලු කැටයක් පැටලී මහ මඟ ඇද වැටුණොත් ඒ බොරලු කැටය ගැන වැඩි දෙනෙක් ඇතිකර ගන්නේ කෝපයකි. එහෙත් එසේ පයේ හැප්පුණු ගල්වලින් මාලිගාවක් තැනීම ගැන සිතිය හැකි ද? තැපැල්කරුවකු වූ ෆර්ඩිනන්ඩ් චෙවල්ට සිතුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහු එය රැගෙන ගියේය. තැපැල්කරුවකු ලෙස පුරා වසර 33ක් සේවය කරද්දී ඔහු විවිධ හැඩැති ගල් සහ බොරලු එක්රැස් කළේ රාජකාරියට යන එන අතරතුරේදීය. එම ගල් එක්රැස් කර ඔහු සිහින මාලිගාවක් නොව සැබෑම මාලිගාවක් තැනීය. අද එය හඳුන්වන්නේ ‘තනි මිනිසකුගේ වැඩක්’ ලෙසිනි.එය ලියනාඩෝ ඩාවින්චිගේ, පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට සිත්තමක් තරමටම කලාත්මක නිර්මාණයක් වී ඇත. පතොක් සහ තාල වර්ගයේ ගස්වලින් බොරලු මාලිගා භූමියට ලැබී තිබෙන්නේ අපූරු අලංකාරයකි. ගොඩනැඟිල්ල මීටර් 26ක් දිගය. මීටර් 10ක් උසය. චෙවල් සිය සිහින මාලිගය සම්පූර්ණ කළේ වයස අවුරුදු හැත්තෑවත් ඉක්මවූ පසුවයි. මිනිසුන් පදිංචි නැති සුරංගනා කතාවල ජීවත්වන බූවල්ලන්ගේ, අලින්ගේ, පෙලිකන් පක්ෂින්ගේ, වලසුන්ගේ, කුරුල්ලන්ගේ, මුවන්ගේ බොරලු ප්‍රතිමා රැසක් ඇතුළත් ‘ ලේ පැලයිස් අයිඩි‍යෙල්’ (පරිපූර්ණ මාලිගාව) ලෙස හඳුන්වන මේ බොරලු මාලිගාව නැරඹීමට වසරකට පැමිණෙන ගණන 12,000 ඉක්මවයි. ෆර්ඩිනැන්ඩ් චෙවල් තවත් එක් සාමාන්‍ය තැපැල්කරුවකු පමණක් නොවූයේ මේ බොරලු මාලිගාව නිසයි. තැපැල් කරුවකු වුවත් ඔහු සතුව තිබූ රසඥතාව නිසා විශිෂ්ට කලා නිර්මාණයකට පදනම වැටිණි. ඔහු පයේ වැදුණු ගලෙහි අමුතුම හැඩයක්, කලාත්මක බවක්, විචිත්‍රත­්වයක් දුටුවේය. එය එවැනිම වූ තවත් ගල් එක්රැස් කිරීමට උත්තේජනයක් ගෙනදුනි.

පාදයේ ගල හැපීමත් හැපුණු ගල අහුලා මාලිගයක් තැනීමත් යන සිද්ධීන් පසු පස තවත් රස බර සිදුවීමක් ගැබ්ව පවතී. ඒ ඔහු 28 හැවිරිදි වියේදී දුටු සිහිනයකි. ඉන් පහළොස් වසරක් යන විට ෆර්ඩිනැන්ඩ්ට සිහිනය අමතක විය. එහෙත් පාදයේ ගල වැදීමෙන් සිහිනය යළි මතක් විය. ඔහු ගල් එක්කිරීමට පටන් ගත්තේය. සියලුම වර්ගයේ සත්ත්ව රූප හා හාස්‍යෝත්පාදක හැඩ මේ ගල්වල තිබිණි. එම හැඩ දකින විට ඔහුට ස්වභාව දහම ඉන් ප්‍රතිමාවක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව හැඟිණී. පෙදරේරු වැඩ ෆර්ඩිනැන්ඩ් චෙවල් විසින්ම ඉටු කෙරිණ.

මාලිගයේ බිත්ති ඉදිකිරීමට වසර විස්සක් ගතවිය. මුලින්ම ඔහු ගල් එකතු කර ගත්තේ සාක්කුවට ය. ඉන්පසු කූඩයකට ද, විල් බැරෝවකටද ගල් එකතුකරන ලදී. මාලිගය තැනුවේ රාත්‍රී කාලයේ ය. කිසිදිනක පෙදරේරුවකු නොවූ ඔහු තෙල් පහනක ආලෝකයෙන් අසමසම මාලිගයක් ඉදිකළේය. එහි ක්‍රිස්තියානි ඌරුවත් හින්දු බලපෑමත් දක්නට ලැබිණි. බැලූ බැල්මට බොරලු මාලිගය දිස්වන්නේ හැරී පොටර් වැනි මායා කතාවක මන්දිරයක් ලෙසය.

සිමෙන්ති, හුණුගල්, යොදාගෙන ඔහු පැය 65,000ක් කැප කරමින් වසර 34 පුරා මාලිගය සෑදුවේය. ඔහුගේ අරමුණ වූයේ තමන්ගේත් බිරියගේත් සොහොන්බිම එය විය යුතු බවයි. තම සොහොන සෑදීමට ඔහු අවසන් අට වසර ගත කළේ ය. ප්‍රංශයේ එවකට එසේ සොහොන් කිරීම තහනම් වුවත් ඔහු එහි වළලන ලදී. 1836 වසරේ අප්‍රේල් 19 වැනිදා උපන් ඔහු 1924 ‍අගෝස්තු 19 වැනිදා මිය ගියේය. ඒ කිසිවකුට සමාන කළ ‍නොහැකි නව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයක් ලොවට හඳුන්වාදෙමිනි. මරණයට පෙරම ඔහුට තම නිර්මාණයට පැසසුම් ලැබුණේ එසේ මෙසේ කලාකරුවන්ගෙන් නොවේ. ලොව අග්‍රගණ්‍යම සිතුවම් ශිල්පීන්වූ පැබ්ලෝ පිකාසෝ, ඇන්ඩෘ බ්‍රෙටන් වැන්නන් ගනි.

නත්තල් දින‍යේ, ජනවාරි 01 වැනිදා සහ ජනවාරි 15 - 31 දක්වා පමණක් මේ මාලිගය නරඹන්නන්ට වසා ඇත. මේ සංස්කෘතික දායාදය ‍ලොවට උරුම කිරීම වෙනුවෙන් ප්‍රංශ රජය 1896 දී චෙවල් වෙනුවෙන් මුද්දරයක් නිකුත්කර ගෞරවය පුද කර දී ති‍බේ.

නර්තන මන්දිරය

මෙවැනි සිතාගත නොහැකි මන්දිර ලොවට දායාද කර තිබෙන්නේ චෙවල් පමණක් නොවේ. චෙක් ජනරජයේ ප්‍රාග්හි ෆ්‍රෙඩ් ඇන්ඩ් ජින්ජර් ලෙස හඳුන්වන නර්තන මන්දිරයද අපූර්ව නිර්මාණයකි. ෆ්‍රෙඩ් ඇස්ටෙයාර් සහ ජින්ජර් රො ජර්ස් යන එරට ජනප්‍රිය නර්තන ශිල්පීන්ය. නර්තන ඉරියව්වකින් යුතු මේ අසාමාන්‍ය ගොඩනැගිල්ල චෙක් රන් කාසියක පවා අඩංගු වේ. ගොඩනැඟිල්ල නිර්මාණය වූයේ අනූවේ දශකයේදී ය. මුලින් මෙහි හැඩය මතභේදයට තුඩුදුන්නේ එම ගොඩනැගිලි අසල ජීවත් වූ පෙදෙස චෙක් ජනපති වැක්ලව් හැවල් නිරන්තරයෙන්ම ව්‍යාපෘතියට සහාය ලබාදුන්නේය. අවසානයේදී එය රටේ සංස්කෘතික ක්‍රියාකාරිත්වයන් සඳහා කේන්ද්‍රස්ථානය විය.

කොලෝන් කැතීඩල්

ජර්මනියේ කොලෝන් කැතීඩල් (කැතීඩල් චර්ට් ඔෆ් ‍සෙන්ට් පීටර්) ලෝක උරුමයකි. දිනකට විසිදහසකට අධික පිරිසක් මේ පූජනීය කිතුනු ගොඩනැඟිල්ල නැරඹීමට පැමිණෙති. දැනට ලොව උල් ‍කොතක් සහිත උසම නිවුන් ගොඩනැඟිල්ල (උස මීටර් 157 ) මෙයය.

කොලෝන් කැතීඩල් ඉදිකිරීම ඇරඹුණේ 1248 දී ය. එහෙත් 1473 දී අතර මඟදී ඉදිකිරීම් කටයුතු නතර විණි. යළි 19 වැනි සියවසේදී ඉදි කිරීම් ඇරඹී 1880 වන විට සම්පූර්ණ කෙරිණි. මෙහි ආර්ච්බිෂොප්වරුන් 12ක් මිහිදන් කර ඇති ‍මෙහි සීනු 11ක් ඇති අතර උස අල්තාරය තැන්පත් කර තිබෙන්නේ 1322 දීය.

ලොයිඩ්ස් බිල්ඩිම

අප විද්‍යා ප්‍රබන්ධයක මන්දිරයකට රැගෙන යන්නේ ලන්ඩනයේ ලයිම් වීදියේ ලොයිඩ්ස් රක්ෂණ ආයතන ගොඩනැඟිල්ල යි. බ්‍රිතාන්‍යයේ මුලින්ම බාහිර සෝපාන 12ක් අඩංගු වු පළමු ගොඩනැඟිල්ල මෙයයි.

දෙගල් මැදුර

පෘතුගාලයේ කැසා ඩෝ පෙනෙඩෝ හඳුන්වන්නේ ශෛල මන්දිර ලෙසයි. මන්දිරයේ බිත්ති, වහල සියල්ලම නිමවී ඇත්තේ ගල්වලිනි. මුලින් එහි අයිතිකරුවන් සති අන්ත නිවාඩුව ගත කිරීමට දෙගල් මැදුර යොදාගත්තද දැන් එය එහි ඉතිහාසය හුවා දැක්වෙන කුඩා කෞතුකාගාරයකි.

අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න