රත්වුණු කාලෙක පරිසර සමුළුව | දිනමිණ

රත්වුණු කාලෙක පරිසර සමුළුව

ධම්මික සෙනෙවිරත්න

සමුළුව අමතමින් ප්‍රංශ ජනාධිපති මැක්‍රන් ලෝකයට අනතුරු ඇඟවූයේ “අප දේශගුණික විපර්යාසවලට එරෙහි සටනින් පරාජයට පත්වෙමින් සිටිනවා...”යනුවෙනි. වායුගෝලයට මුදාහරින කාබන්‍ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් රටවල් ක්‍රියාකරන්නේ ඉතා සෙමෙන් බව පෙන්වා දුන් ඔහු “අප මීට වඩා වේගවත් විය යුතුයි”යනුවෙන් පවසමින් ලෝක ජාතීන් උනන්දු කළේය.

පැරිස් දේශගුණික සම්මුතියේ දෙවන සංවත්සරයට සමගාමීව “එක ග්‍රහලෝකයක්” (One planet) සමුළුව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැරිස් නුවරදී පැවැත්විණි. ලෝක නායකයන් 50 දෙනකුට වැඩි පිරිසක් ද ලොව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම සිටින දානපතින් ගණනාවක් ද ඊට සහභාගි වූහ. බිල්ගේට්ස්, රිචඩ් බ්‍රැන්සන්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර් වැනි චරිත රැසක් එහිදී දැකගත හැකිවූ නමුත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහි නොසිටියේය.

බාබරාෙග් යෝජනාව

ප්‍රංශ ජනාධිපතිවරයා “එක් ග්‍රහලොවක් සමුළුව” කැඳවූයේ ඉකුත් ජූනි මාසයේදී අමෙරිකාව පැරිස් දේශගුණික සම්මුතියෙන් ඉවත්වන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ විගසම වාගේය. එවැනි පසුබිමක අමෙරිකා ජනාධිපතිවරයාට මෙම සමුළුව සඳහා ආරාධනා කර තිබුණේ ද නැත. එහෙත්, කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර් පාපැදියකින් සමුළු භූමියට පිවිසෙනු දක්නට ලැබිණි.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේදී හරිත ආයෝජන (Green Investments) දිරිගැන්වීම මෙවර සමුළුවේදී ප්‍රමුඛ අවධානයක් දිනාගත් මාතෘකාවක් විය. සමුළුව අමතමින් ප්‍රංශ ජනාධිපති මැක්‍රන් ලෝකයට අනතුරු ඇඟවූයේ “අප දේශගුණික විපර්යාසවලට එරෙහි සටනින් පරාජයට පත්වෙමින් සිටිනවා...”යනුවෙනි. වායුගෝලයට මුදාහරින කාබන්‍ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් රටවල් ක්‍රියාකරන්නේ ඉතා සෙමෙන් බව පෙන්වා දුන් ඔහු “අප මීට වඩා වේගවත් විය යුතුයි”යනුවෙන් පවසමින් ලෝක ජාතීන් උනන්දු කළේය.

ඇමැතිනී බාබරා හෙන්ඩ්‍රික්ස් සමුළුව ඇරැඹීමට පෙර මාධ්‍ය හමුවේ කියාසිටියේ ලොව සිදුවන සියලු ආයෝජන පරිසර හිතකාමී වියයුතු බවයි. වඩාත් හරිතවත් වීම සඳහා සමාගම් දිරිගැන්විය යුතු බව ඊට සහභාගි වූ ලෝක නායකයන්ගේ අදහස විය. ලොව මුල් පෙළේ සමාගම්වලට විශාල භූමිකාවක් පැවැරී ඇති පසුබිමක ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමුළුවට සහභාගිවීම අතිශයින්ම වැදගත් කාරණයකි.

‍ෆීජි අගමැති ‍ෆ්‍රෑන්ක් බයිනිමාරමා සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් කියාසිටියේ, අප කවුරුත් සිටින්නේ එකම බෝට්ටුවේ බවය. අභියෝගය විසල් වන තරමට එය ජයගැනීමට අපට කළ හැකි උපරිමය කළයුතු බව ඔහු අවධාරණය කර සිටියේය. දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත්වන ලොවපුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ඉරණම ජීවිතය සහ මරණය අතර ඇති බව අමතක නොකළ යුතු යැයි බයිනිමාරමා අවධාරණය කර තිබිණි. ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට දායක නොවන සමාගම්වලට බැංකු හා මූල්‍යායතන වඩාත් වේගයෙන් අනුග්‍රහ දැක්විය යුතු බව ද ඔහු ඉල්ලා සිටියේය.

යුරෝපා සංගමයේ ‍දේශගුණික කොමසාරිස් මිගෙල් එරියස් කානට් මෙහිදී පෙන්වා දුන්නේ වසර 2020 දක්වා අප්‍රිකාවේ හරිත ව්‍යාපෘති වෙනුවෙන් යූරෝ බිලියන 9ක් ආයෝජනය කර ඇති බවයි.

හරිත ආයෝජන දිරිගැන්වීම ගැන සඳහන් කරමින් යුරෝපා සංගමයේ උප සභාපතිවරයා කියා තිබුණේ, ජනතාවට එවැනි ව්‍යාපාර පිළිබඳ පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන පරිදි “හරිත බැඳුම්කර” යනුවෙන් වර්ගීකරණයක් ද හඳුන්වාදීමට යුරෝපා සංගමය කටයුතු කරමින් ඇති බවය. වසර 2030 වනවිට වායුගෝලයට මුදාහරින කාබන් ප්‍රමාණයට අදාළ ඉලක්කය සපුරා ගැනීම යුරෝපා සංගමයේ අභිප්‍රාය බව ඔවුහු ප්‍රකාශ කරති.

“කියොතෝ ප්‍රඥප්තියේ” ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ද අමෙරිකාවේ ක්‍රියාපිළිවෙත දැඩි ලෙස බලපෑවේය. ලොව මුල්පෙළේ පරිසර දූෂකයා අමෙරිකාව බවට චෝදනා එල්ලවී තිබේ. අමෙරිකාව එය බැහැර කරමින් ඇඟිලි දිගුකරන්නේ චීනය දෙසටය. කෙසේ වුවද, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සිය පංගුව නොතකා හැරීමට අමෙරිකාවට හැකියාවක් නොමැත. එහෙත්, පැරිස් සම්මුතියෙන් ඉවත්වීමෙන් යළිත් වරක් අමෙරිකාව පෙන්නුම් කළේ ලෝකයට ප්‍රශ්නයක් වුවද එය තමන්ට ප්‍රශ්නයක් නොවන බවය. ජනාධිපති ට්‍රම්ප්ගේ මතය දේශගුණික විපර්යාස යනු මිථ්‍යාවක් බව ය. මෙය අතිශයෝක්තියට නැංවූ ප්‍රශ්නයක් බව ඔහුගේ විශ්වාසයයි. මේ සමඟ සෑම අමෙරිකානුවෙක්ම එකඟ වන්නේ නැත. පැරිස් සමුළුවට සහභාගිවෙමින් එක්සත් ජාතීන්ගේ, දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත මෙන්ම නිව්යෝක් හි හිටපු පුරපති මයිකල් බ්ලුම්බර්ග් ද ඒ බව පෙන්වාදී තිබිණි. ඔහු කියා සිටියේ ට්‍රම්ප්ගේ තීරණය අමෙරිකානු පරිසරවේදීන්ගේ හා සංවිධානවල විවේචනයට හා විරෝධයට ලක්වූ බවය. කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර් පවසන පරිදි, අමෙරිකාවේ පුද්ගලික අංශය, රාජ්‍ය අංශය, විශ්වවිද්‍යාල මෙන්ම සියල්ලන්ම පැරිස් සම්මුතියට පිටුනොපාන පසුබිමක ජනාධිපති ට්‍රම්ප් ඊට පස්ස හැරවීම ප්‍රශ්නයක් නොවේ.

ප්‍රංශ ජනාධිපතිත් සටනට

අමෙරිකා‍ ජනාධිපතිවරයා මෙහිදී සිය කාර්යභාරය අත්හැරීමත් සමඟ 39 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා සටන තමන්ගේ අතට ගෙන ඇති බවත් පෙනෙන්නට තිබේ. දේශගුණික විපර්යාසවලට එරෙහි අභියෝගය ජයගැනීමේදී ප්‍රංශය ඉහළින්ම තැබීම ඔහුගේ අභිප්‍රාය වී තිබේ. මෙහිදී අමෙරිකාව ඊට නායකත්වය නොදීම ගැන හිටපු ජනාධිපති බැරක් ඔබාමා ද සිය කනගාටුව පළකර තිබිණි.

කාබන් විමෝචන පුරෝගාමීන්

ප්‍රංශ ජනාධිපති මැක්‍රන් කියාසිටින්නේ අමෙරිකාව යළිත්වරක් පැරිස් සම්මුතියට එක්කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගතයුතු බවයි. එසේ වුවද අමෙරිකාව ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන කොන්දේසි සළකා බැලීමට තමා එකඟ නොවන බව ද ඔහු පවසා තිබේ.

පැරිස් සම්මුතිය අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2ට වඩා අඩුවෙන් පවත්වාගැනීමට ඊට අත්සන් තබා ඇති රටවල් එකඟ වෙති. වායුගෝලයට කාබන් මුදාහැරීමේදී අමෙරිකාව වගකිවයුතු ප්‍රමාණය 15% ලෙස ගණන් බලා ඇත. එය ඊට වඩා අවම කිරීමට පැරිස් සම්මුතිය යටතේ නිසැකවම සිදුවේ. දැන් සිදුව ඇත්තේ ඉලක්කය පසෙක තිබියදී එය නොතකා පැනයාමකි. එසේ පැනගිය පමණින් අමෙරිකාවට හෝ ලෝකයට අත්වන යහපතක් නැති බව යථාර්ථයයි. අමෙරිකානු පරිසර සංවිධානයක් වන සියෙරා ක්ලබ්හි මයිකල් බ්‍රෘන් පෙන්වාදෙන පරිදි, අමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ඓතිහාසික වරදකි. “අපේ අනාගත මුණුපුරු - මිණිපිරියන් ආපසු හැරී බලන දිනක ලෝක නායකයකු ලෙස අප යථාර්ථයෙන් මෙන්ම යුක්තිධර්මතාවයන්ගෙන් ද පිට මං වී ඇති අයුරු කෙලෙස විනිශ්චය කරනු ඇති ද?” යනුවෙන් ඔහු පවසා තිබේ.

අමෙරිකාව පැරිස් සම්මුතියෙන් පැනයද්දී චීනය පවසන්නේ එම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් දැඩිව කැපවන බවයි. ජනාධිපති ෂී ජිංග්පිංග් යළිත් ඒ බව තහවුරු කර ඇත. කවුරුන් මෙය අත්හැරියද යුරෝපා සංගමය සහ චීනය ඉදිරියටම යාමට තීරණය කර ඇතැයි යුරෝපා සංගමයේ දේශගුණික කටයුතු පිළිබඳ කොමසාරිස් මිගෙල් අරියස් කානට් පවසා තිබේ.

අමෙරිකාවේ තීරණය පිළිබඳ ගූගල්, ඇපල් වැනි දැවැන්ත සමාගම්වල මෙන්ම ලොව මුල් පෙළේ පොසිල ඉන්ධන නිෂ්පාදකයන් වන එක්සත් මොබිල් වැනි සමාගම් පවා එකඟ නොවෙති. එම සමාගම් ප්‍රධානීන් ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබුණේ පැරිස් සම්මුතිය සමඟ බැඳීසිටින ලෙසයි.

එක්සත් මොබිල්හි ප්‍රධාන විධායක නිලධාරි ඩැරන් වුඩ්ස් මේ පිළිබඳව පෞද්ගලිකවම ජනාධිපතිවරයාට ලිපියක් මඟින් ද දන්වා තිබිණි.

බලශක්ති උත්පාදනය සඳහා ගල් අඟුරු භාවිත කිරීමෙන් ඈත්වීමට දියුණු රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටී. එක්සත් රාජධානිය වසර 2025 වනවිට ගල් අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය නතර කිරීමට තීරණය කර ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ ද ගල් අඟුරු කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන ප්‍රමාණය දැනටමත් සූර්යබල ශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ රැකියා කරන ප්‍රමාණයෙන් අඩකි. නැගී එන ආර්ථික බලවතුන් ද හරිත බලශක්ති මූලයන් වෙත යොමුවෙමින් සිටී. මෑත කාලීනව ඉන්දියාවේ සූර්ය බල උත්පාදක විදුලිය සඳහා අයකරන මුදල ගල් අඟුරු වලින් නිපදවන විදුලියට වඩා 18% කින් අඩු බව වාර්තා විය. ඇතැම් වාර්තාවලට අනුව, අමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වුවද වඩ වඩාත් ගල් අඟුරු භාවිතයෙන් ඈත්වෙමින් ඒ වෙනුවට වායුමය බලශක්ති උත්පාදනය දෙසට යොමු වෙමින් සිටී.

“එක ග්‍රහලෝකයක්” සමුළුව මුළුඳුන්නේ සංවාද මණ්ඩප 4ක් යටතේය. පළමුවැන්නේ දී අවධානය යොමුවූයේ දේශගුණික විපර්යාස අභියෝග ජය ගැනීමේදී මූල්‍ය දායකත්වයයි. හරිත ආයෝජන ඩොලර් ට්‍රිලියන ගණනින් වැඩිකළ යුතු බව එහිදී පෙන්වාදුන් අතර එය රාජ්‍ය අංශයට පමණක් තනිව කළ නොහැකි බවද පුද්ගලික අංශයේ දායකත්වය ලැබිය යුතු බව ද අවධාරණය කෙරිණි.

දෙවැන්න, ධරණීය ව්‍යාපාර උදෙසා හරිත මූල්‍යායතන යන තේමාව යටතේ විය. ඉන් අවබෝධකරණය කෙරුණේ ද හරිතාගාර වායු විමෝචනය අවම කෙරෙන ව්‍යාපාර ප්‍රවර්ධන කිරීමය.

බලවතුන්ගේ කාර්යභාරය

තෙවැන්න, දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගය ජයගැනීම සඳහා නගර, රාජ්‍ය හා කලාපීය වශයෙන් සමස්ත ලෝකයට ප්‍රබල දායකත්වයක් සැපයීම කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්විණි.

සිව්වැන්න මගින් අවධාරණය කෙරුණේ, පාරිසරික ‍ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති වඩාත් සවිමත් කිරීමය. පැරිස් සම්මුතිය මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමේදී ආණ්ඩුවලට පැවරෙන මූලික භූමිකාව එහිදී අවධානයට ලක්විය.

දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගය ලොකු, කුඩා සෑම රටකටම අදාළය. බලවත් රටවලටත් වඩා ඉන් ඇතිවන අනර්ථකාරී බලපෑම්වලින් පීඩා විඳින්නේ සංවර්ධනය වෙමින් පවත්නා කුඩා රටවල්ය. ඊට මුහුණදීමට අවශ්‍ය මූල්‍යමය සහ අනෙකුත් තාක්ෂණික හැකියාවන් ද ඔවුන් සතු නොවේ. මෙවැනි පසුබිමක පැරිස් සම්මුතියේ ඉලක්ක සපුරාගැනීමට බලවත් රටවල් වැඩි කැපවීමකින් පෙලැඹෙන්නේ නම් එය අගය කළ යුතු කාර්යයකි. ඒ සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන් අවැසිය. එහෙත්; ප්‍රායෝගික ප්‍රතිඵල සපුරාගැනීමට නම් එම එකඟතා ඔස්සේ අවංක වුවමනාවකින් ඉදිරි පියවර තැබීම ද සිදුවිය යුතුමය. මිනිසාටත් ගහකොළ සතා සීපාවාටත් ඇත්තේ එක් ග්‍රහලොවකි. තවත් ග්‍රහලෝකයක් නැත. එමෙන්ම එය රැකගැනීමට දෙවැනි සැලසුමක් ද නැත.


නව අදහස දක්වන්න