ඉන්දියාව 2-1කින් එක්දින තරගාවලිය දිනයි | දිනමිණ

ඉන්දියාව 2-1කින් එක්දින තරගාවලිය දිනයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග විශාකාපට්නම් හිදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් අත්කරගත් සත්කාරක ඉන්දියානුවෝ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.

ඉන්දියාව පිට පිට වාර්තා කළ 8වැනි එක්දින තරගාවලිය ජයග්‍රහණය මෙයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 215කට සීමාකළ සත්කාරකයෝ පන්දු 107ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

ඉන්දියාව ජයග්‍රහණය කරාගෙන යමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ ශිකර් ධාවන් නොදැවී ලකුණු 100ක් රැස් කළේය. ඔහු දිනේෂ් කාර්තික් සමගින් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ නොබිඳුණු සබඳතාව ලකුණු 70කි. කාර්තික් ලකුණු 26ක් වාර්තා කළේය.

ඉන්දීය පිළිතුරු ඉනිමේදී සුරංග ලක්මාල් සමගින් පන්දු ප්‍රහාරය ආරම්භ කළ අකිල ධනංජය නායක රෝහිත් ෂර්මාගේ ඉනිම ලකුණු 7කට සීමාකළද ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමග එක්වූ ශ්‍රෙයාස් අයියර් මුළු ලකුණු සංඛ්‍යාව 149 දක්වා ගෙන යමින් ජයග්‍රහණයට අඩිතාලම දැමූහ. ලකුණු 135කින් ගොඩනැගුණු එම සබඳතාව බිඳ වැටුණේ තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ අයියර් ලකුණු 65කට දැවී යෑමෙනි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග වරම් ලබාගත් අයියර් වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය මෙය විය.

පන්දු 85කදී හතරේ පහර 13කින් හා හයේ පහර 2කින් ඉනිම සරසාගත් ධාවන් ඊයේ රැස්කළේ සිය 12වැනි එක්දින ශතකයයි. මේ ඉනිමත් සමග අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 4000 පසුකළ ඉන්දීය පිතිකරුවන්ගේ ලැයිස්තුවට ධවාන් එක්වූයේ ඉන්දීය කණ්ඩායමේ නිත්‍යා නායක විරාට් කෝලිට පමණක් දෙවැනි වෙමිනි. ඒ සඳහා කෝලි ඉනිම 93ක්ද, ධවාන් ඉනිම 95ක්ද වැයකර තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ ඇරැයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 15දී බිඳ වැටුණත් උපුල් තරංග සහ සදීර සමරවික්‍රම එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 121ක අගනා සම්බන්ධතාවක් ගොඩ ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. ළහිරු තිරිමාන්න වෙනුවට ඊයේ තරගයට ක්‍රීඩා කළ සදීර අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය. ඔහු චහාල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය.

ඊයේ සිය එක්දින තරග දිවියේ 36 වැනි අර්ධ ශතකය වාර්තා කළ උපුල් තරංග විශිෂ්ට ශතකයකට ලකුණු 5ක් අඩුවී තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ දෙවැනි තරගයේදී එක්දින තරග වරම් දිනාගත් වොෂින්ටන් සුන්දර් වෙනුවට කැඳවූ කුල්දීප් යාදෙව්ගේපන්දුවකට මහේන්ද්‍ර සිං දෝනි ස්ටම්ප් කිරීමකට හසුකරගැනීම හේතුවෙනි. පන්දු 82කට මුහුණ දුන් උපුල් තරංග සිය ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් වර්ණවත් කිරීමට සමත් විය.

සිය ඉනිම අතරතුර දී මේ වසරේ එක්දින ලකුණු දහස සම්පූර්ණ කිරීමට ද උපුල් තරංග සමත්විය. මීට පෙර එම දස්කම පෑවේ ඉන්දීය පිලේ විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා පමණි.

ඔහුගේ දැවීයාමෙන් පසුව ඉනිම ගොඩනැගීමට කිසිදු පිතිකරුවකු සමත්නොවීය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 25 අවසානයේදී කඩුලු 2ක් දැවී ප්‍රබල තත්ත්වයක පසුවූ ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 7ම ලකුණු 55ක් ඇතුළත බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

ඇන්ජෙලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න එක්ව ඉනිම ගොඩගැනීමට දැඩි උත්සාහයක නිරතවූවත් එය සාර්ථක නොවීය. මේ පිතිකරුවන් දෙදෙනාම දැවි ගියේ ලකුණු 17 බැගින් ලබා සිටියදීය. යළිත් වරක් නිරෝෂන් දික්වැල්ල (8), නායක තිසර පෙරේරා (6) හා සචිත් පතිරණ (7) ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොදුන් ඉන්දීය පන්දු යවන්නෝ ඔවුන් වේලාසනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වීමෙන් ශ්‍රී ලංකා මැද පෙළ බිඳ වැටිණි.

ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ කුල්දීප් යාදෙව් සහ යුස්වින්දර් චහාල් කඩුලු 3 බැගින් දවාලූහ.

අවසන් තරගයේ වීරයා ලෙස කුල්දීප් යාදෙව්ද, තරගාවලියේ වීරයා ලෙස ශිකර් ධවාන්ද සම්මාන දිනා ගත්හ. 


නව අදහස දක්වන්න

Or log in with...