ලිලී හැරියට් මැතිනිය සිහිගන්වන ජුබිලි අම්බලම | දිනමිණ

ලිලී හැරියට් මැතිනිය සිහිගන්වන ජුබිලි අම්බලම

බොහෝ සෙයින් ම කාර්යබහුල නගරයක් වන රුවන්වැල්ල ප්‍රදේශයේ සුවිශේෂී ස්ථානයක් ලෙස බලකොටුව පිහිටි ප්‍රදේශය හඳුන් වන්නට පුළුවන.එහි මේ වනවිට රුවන්වැල්ල පොලීසිය පිහිටා තිබේ. මේ ස්ථානය සමීපයේ පිහිටි තවත් එක් සුවිශේෂී ස්ථානයක් ලෙස,රුවන්වැල්ල ජුබිලි අම්බලම හැඳින්විය හැකි ය. මේ අම්බලම දැනට ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම අම්බලම ලෙස ද සැලකේ.

අතීතයේදී මඟතොට අම්බලම් සැදුවේ, පා ගමනින් යනෙන ජනතාවට ගිමන් නිවීම සඳහා ය. සමහරවිට ඔවුන්ට අතරමඟ රැය පහන් කරන්නට සිදු වුවහොත්, ඒ සඳහා උපකාරී වූයේ ද අම්බලම ය. අවශ්‍ය වුවහොත් උයා පිහාගෙන කෑවේද අම්බලමේ නවාතැන් ගෙන ය. ඈත අතීතය හා සසඳා බලන විට, අම්බලම යනු මිනිසාට නැතිවම බැරි ස්ථානයක් විය.

ජුබිලි අම්බලම නමින් හැඳින්වෙන රුවන්වැල්ල අම්බලම පිහිටා තිබෙන්නේ, අතීතයේදී රුවන්වැල්ල හරහා වැටුණු පැරැණි කොළඹ - නුවර මාර්ගයේ ය. එනමුදු, මේ අම්බලම ඉඳි කෙරෙන කාලය වෙද්දී,එම මාර්ගය වෙනුවට, වර්තමානය වනවිට පිහිටා තිබෙන කොළඹ - නුවර මාර්ගය ඉඳි වී අවසන් ය.එයට හේතුව, මේ අම්බලම පෙර රජ කල නොව, මෑත ඉතිහාසයේ ස්ථාපිත වූවක් නිසා ය. කොටින් ම කිවහොත්, එය පිහිටුවා අැත්ෙත්, සුදු අධිරාජ්‍යයන්ගේ පාලන කාලයේදී ය.

ලංකාව ඉංග්‍රීසි පාලනයට නතුව පැවැති සමයේදී, අටුළුගම් කෝරලය, දෙහිගම්පල් කෝරලය හා පනාවල් කෝරලය නමින් හැඳින් වූ තුන් කෝරලවල පාලන කටයුතු භාරව පැවතියේ වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන් (1892 – 1896) නමින් හැඳින් වූ ඉංග්‍රීසි ජාතික දිසාපතිවරයාට ය. එවකට රංවැල්ල නමින් හැඳින්වූ,වර්තමානය වනවිට රුවන්වැල්ල නමින් හැඳින්වෙන මේ ප්‍රදේශය අයත්ව පැවතියේ මේ කෝරල අතරින් දෙහිගම්පල් කෝරලයට ය. මේ ප්‍රදේශ පාලනය භාරව කටයුතු කළේ සිංහල කෝරාලවරු ය.

වෝල්ටර් ඩේවිඩ්සන් දිසාපතිතුමාගේ ආදරණීය බිරිය වූයේ, ලිලී හැරියට් ඩේවිඩ්සන් නමැති සුදු ජාතික කාන්තාව ය. ඇය, ක්‍රි. ව. 1901 වසරේදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ දී මියගොස් ඇත්තේ, පිස්සු බල්ලකු සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැලඳුණු නිසා ය. ඇය සිහිවනු පිණිස ඇගේ සැමියා සහ හිතවතුන් විසින් රුවන්වැල්ලේ පිහිටි මේ අම්බලම සිහිවටනයක් ලෙස ඉදිකළ බව සඳහන් වේ. ඒ අනුව බලන කල මෙය ඉදි වන්නට ඇත්තේ 1901 වසරෙන් පසුව ය. එහෙත්, සමහරු පවසන්නේ මෙය ජුබිලි අම්බලම නමින් නිර්මාණය වූයේ, ක්‍රි.ව.1887 වර්ෂයට යෙදී තිබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජනගේ පදවි ප්‍රාප්තියේ 50 වැනි සංවත්සරය සැමරීම උදෙසා බව ය.

මේ අම්බලමේ ඇතුළත බිත්තියේ සවිකර තිබෙන පිත්තල පුවරුවක, අම්බලම ඉදි කළ අය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇත. එහි එන පරිදි, මෙය තනවා තිබෙන්නේ ඩේවිඩ්සන් ආර්යාව සිහි වීම සඳහා ය. ඒ, ඇගේ සැමියා සහ ඔහුගේ මිතුරන් විසිනි. ඩේවිඩ්සන් ක්‍රි. ව. 1892 වසරේ සිට ක්‍රි.ව. 1896 දක්වා කෑගලු දිසාව පාලනය කළ සහකාර ඒජන්තවරයා බව ද මේ සටහන් පුවරුවේ ම සඳහන්ව ඇත.

තම බිරිය අනුස්මරණය කිරීමට මේ ස්මාරක ශාලාව ගොඩනැගීමේදී,ඩේවිඩ්සන් ඒජන්තවරයා යටතේ සිටි ඒ ඒ ප්‍රදේශ පාලනය කළ කෝරාලවරුන්ට දන්වා, කොස් ගස බැඟින් ගෙන්වා , ඔවුන් ලවා එ් එක එක කොස් ගසින් අම්බලමේ කණු ඉදි කල බව සඳහන් වේ. අලංකාරවත් කැටයම් නිර්මාණවලින් යුතුව, අම්බලම ඇතුළත ශාලාවේ කණු නිමවා ඇත. ගඩලාදෙනියෙන් පෙදරේරුවන් ගෙන්වාගෙන,මෙහි වහලට අවශ්‍ය උළු සහ ගොඩනැගිල්ල තැනූ බව සඳහන් වේ. ඒ අනුව මෙය තනා තිබෙන්නේ ගල් කණු ආශ්‍රයෙන් නොව, ලී කණු මඟිනි. එක ළඟ පිහිටි ලී කැටයමින් යුතු කුලුනු සතර බැඟින් කණු 16 ක් මත මේ ගොඩනැගිල්ල දරා සිටී. එය විටෙක මහනුවර මඟුල් මඩුවේ ආකෘතිය සිහිගන්වයි. මෙහි ඇති හැම කණුවකම මුලින්, මැදින් සහ අගින් මල් තුනක් වන පරිදි කැටයම් කපා තිබේ. එහි පේකඩ, නෙළුම් මලක හැඩය එන පරිදි අලංකෘතව නිමවා ඇත.එහි ඇති කැටයම් විටෙක පනාවිටිය සහ මාරස්සන වැනි අම්බලම්වල ලී කැටයම් සිහි කරවයි. එහෙත් මෙහි ඇති කැටයම් ඒවායේ තරමටම සියුම් ඒවා නම් නොවේ. මෙහි විශාල ලී කුලුනු මත නැගී සිටිනා පෙති උළු සහිත වහළය ද, ඉතාමත්ම විචිත්‍රවත් ය.

මෙහි ඇති සියලු ම කුලුනුවල, සිංහල බසින් නම් කොටා ඇති කුඩා පිත්තල තහඩු තනා තිබී ඇත. එනමුදු මේ වනවිට එම සෑම පිත්තල තහඩුවක් ම දැකිය නොහැකි ය. එම පිත්තල තහඩුවල සඳහන්ව තිබී ඇත්තේ, මේ අම්බලම තැනීමට වියදම් දැරූ ඩේවිඩ්සන් පවුලේ හිත මිතුරු කැලගේ සහ ප්‍රභූවරුන්ගේ නම් ය. මේ තහඩුවල පැවැති නම් අතර, 1902 වසරේ සිට 1906 දක්වා කාලයේදී කෑගල්ලේ සහකාර ඒජන්තවරයා ලෙස කටයුතු කළ චාර්ල්ස් ස්ටුවර්ට්, නුගවෙල රටේ මහතා, මාපිටිගම කෝරලේ, බටන්ගල කෝරලේ,මීදෙණියේ රටේ මහතා,පරුස්සැල්ලේකෝරලේ, එක්නැලිගොඩ කෝරලේ, ඉඹුලානේ ආරච්චි,මුණසිංහ ආරච්චි, සේගු මරික්කාර් හජ්ජියාර් වැන්නන්ගේ නම් තිබී ඇත.

සමහර අම්බලම්, කණු මත නැගී සිටිමින්,බිත්ති තනා නොමැති විවෘත ස්ථානයක් ලෙස නිර්මාණය වී ඇත. තවත් සමහර අම්බලම් වටේට බිත්ති සහිතව ගොඩනැංවී, කාමර සහිත ස්ථාන ලෙස සැකසී තිබේ. රුවන්වැල්ල ජුබිලි අම්බලමේ ද ඇතුළතින් තරමක් විශාල කාමර දෙකක් සාදා ඇත. අම්බලමෙහි රැඳෙන කාන්තාවන්ට සහ ළමයින්ට නැවතීමට එක් කාමරයක් ද,මෙහි නවතින වෙළෙන්ඳන්ගේ බඩු භාණ්ඩ තැබීම සඳහා තවත් කාමරයක් ලෙස ද මේ ස්ථානය තනා තිබේ. මෙහි ඇතුළු බිත්ති මත ඉර, හඳ හා භේරුණ්ඩ පක්ෂියා දැක්වේ. එය මෙය තනනවිට බදාම මඟින් ම මතුකරලීමට මෙය තැනූ ශිල්පීන් උත්සාහ දරා තිබේ.

කෑගලු දිස්ත්‍රික්කය සැකසී තිබෙන්නේ, පැරැණි පරිපාලන ඒකක ලෙස ගැනුණු සතර හා තුන් කෝරල එක් වීමෙනි. ඉරහඳ කොඩිය සතර කෝරලයේ කොඩියයි. භේරුණ්ඩ පක්ෂියා තුන් කෝරලයේ කොඩියයි.මෙය කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ගොඩනැගිල්ලක් නිසා, එය ඉස්මතු කිරීමට අම්බලම තුළ මේ නිර්මාණ ඉදිරිපත් කර ඇත.

අතීතයේදී මේ අම්බලම, කෑගල්ල ඒජන්තවරයා මුණ ගැසීමට පැමිණෙන රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනි වැනි නිලධාරීන්ට තම නිල ඇඳුමින් සැරසීමට සුදුසු ස්ථානයක් ලෙස ද ප්‍රයෝජනයට ගෙන තිබේ.

ලිලී හැරියට් මැතිනිය නමින් තැනුණු මේ ගොඩනැගිල්ල , ඩේවිඩ්සන් ස්මාරක ශාලාව ලෙස පෙර කල හැඳින් විය. අනතුරුව, පී.සී. ඉඹුලාන මහතාගේ ප්‍රථම ගම් සභා කාර්යාලය ලෙස ද මෙය භාවිත වී තිබේ.පසුව එය ජුබිලි අම්බලම ලෙස නම් කර ඇත. ගම්සභා පාලනය අවසාන වනවිට බිහි වූ සුළු නගර සභා පාලනයේදී,මේ අම්බලම රුවන්වැල්ල සුළු නගර සභා කාර්යාලය ලෙස යොදා ගැනිණි.

එදා තිබූ පැරැණි අම්බලම, පසු කාලීනව අම්බලමක ස්වරූපයෙන් මිදී ඇත. ඊට හේතුවී ඇත්තේ, මේ ගොඩනැගිල්ලට පිටතින් වීදුරු ජනෙල් දමා, ග්‍රිල් යොදා පිටත බිත්තිය ඉදි කිරීම නිසා ය. ඒ නිසා පිටත සිට බලනවිට,මෙහි පෞරාණික වටිනාකම ඉවත්ව ගොස් තිබේ. ඒ නිසා පිටත සිට මුල් අම්බලම දැකීමට නොහැකි ය. එය නැරැඹීමට නම්, අම්බලම තුළට ම යා යුතුව ඇත. පසුගිය කාලයේදී අබලන් තත්ත්වයට පත් වෙමින් තිබූ ජුබිලි අම්බලම,මේ වනවිට ප්‍රතිසංස්කරණය කෙරෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ දැකිය හැකි අම්බලම් අතරින් ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලමක් ලෙස සැලකෙන ජුබිලි අම්බලම,එදා කොළඹ, අවිස්සාවේල්ල පසු කරමින් කෑගල්ල වැනි ප්‍රදේශ වෙත ඇදෙන වෙළෙඳුන්ට සහ එහි සිට කොළඹට යන එන අය සඳහා මේ අම්බලම වෙසෙසින් ප්‍රයෝජනවත් වන්නට ඇත.

ඉරෝෂිණී දීපිකා

 


නව අදහස දක්වන්න

Or log in with...