ලෙඩ කෑම තුනක ගුණ | දිනමිණ

ලෙඩ කෑම තුනක ගුණ

වර්තමානය වනවිට බොහෝ දෙනා එළවළුවල ගුණයට වඩා පෙනුමට මුල් තැන දෙන බව දැකිය හැකි ය. මේ නිසා, අතීතයේ පටන් ආහාරයට ගත් එළවළු වර්ග රැසක්, අද වනවිට ජනතාව අතරින් දුරස්ව ඇති සෙයකි. වැඩිදෙනෙක් ඒවා ආහාරයට නොගන්නේ, “කිසි රහක් නෑ. දිය රහයි, ලෙඩ කෑම“ කියමින් ය. මේ විදිහට ආහාර තේරීම නිසා, ගුණදායක එළවළු රාශියක් අපට මඟ හැරී ඇත. මේ, එලෙස මඟහැරෙන එළවළු වර්ග තුනකි.

පතෝල

පතෝල ග්‍රෑම් 100ක සියයට 95ක්ම තිබෙන්නේ ජලයයි. ග්‍රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 55කි. ආයුර්වේදයට අනුව මෙයින් වාතය සහ පිත සමනය කෙරේ. එසේ ම, හොඳින් බඩගින්න ඇති කර, ආහාර ජීරණයට උදවු කරයි. මේරූ පතෝල ඇටවල, උදරයේ පණුවන් නසන ගුණ අඩංගු ය. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල, සියලු ම ආකාරයේ උණ රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්‌තිකරණයක්‌ ඇති කරන ආහාරයකි. අදින් දශක කිහිපයකට පෙර කෙනකුට‌ උණ හටගත් විට, මුලින්ම දෙන ආහාරයක්‌ වූයේ කිරට සෑදූ පතෝල සහ බත් ය. පතෝලවල තිබෙන කෙඳි සහිත කොටස්‌ නිසා, ආහාර දිරවීමට ඉතා පහසු ය.

ඒ වගේම, එමඟින් ශරීරයේ අභ්‍යන්තරය සිසිල් වේ. අධික වමනයටත් පතෝල යුෂ ඉතා ම ගුණදායක ය. පතෝල යුෂ කෝප්ප භාගයක්, ‌ මී පැණි හැන්දක්‌ සමඟ මිශ්‍ර කර, වමනය කරන රෝගියාට දුන් විට, වමනය නවතී. පතෝල වැලක්‌ ගෙන, කුඩා කැබැලිවලට කපා, සම්පූර්ණ රැයක්‌ වතුරේ පොඟවා, උදේට එයින් වතුර කෝප්ප දෙකක්‌ පෙරා පානය කළවිට, මුත්‍රා දැවිල්ල නැතිව යයි. සමේ කුෂ්ටවලටත් අත් බේතක් ලෙස පතෝල යොදා ගනී. පතෝල අඹරා කුෂ්ටය මත දවසට දෙවරක්‌ ආලේප කළවිට, කුෂ්ටය සුව වන බව පැරැන්නන් විශ්වාස කළහ. පතෝල, මළබද්ධයට ද ගුණදායක ය.

මිරිස් බහුල ආහාර නිතර ගන්නා අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් ඇති අයටත්, මේ ආහාරය මඟින් ලැබෙන්නේ විශාල සහනයකි. කහ උණ රෝගයට වගේ ම, දියවැඩියාවටත් ගුණදායක එළවළුවක් ලෙස පතෝල සැලකේ. හදවතේ විඩාව අඩු කර, රුධිර පීඩනය සමනය කිරීමට පතෝල උපකාර වේ. බටහිර පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, මෙහි ප්‍රතිශක්තිකරණ ගුණාංග පවතින බව ය.

චව් චව්

මේවායේ සියයට 94%ක්ම ජලය අඩංගු ය. ඒ වගේම, ශක්තිය ඉතා අඩුවෙන් ඇත. “චව් චව්” ග්රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 16ක් පමණි. මේ නිසා, සිරුරේ බර වැඩි වීම පාලනයට වගේ ම, කොලෙස්ටරෝල් අඩු කිරීමටත් මෙය අනර්ඝ බව, පෝෂණවේදීන් පවසයි. චව් චව් ග්‍රෑම් 100ක ‍පොටෑසියම් මිලිග්‍රෑම් 155ක් අඩංගු ය. තන්තුවලින් පරිපූර්ණ ආහාරයක් වන චව් චව් ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3, 4ක් පමණ අඩංගු වේ. චව් චව්වල විටමින් ඊ කාණ්ඩයට අයත් තයමින්, රයිබෝප්ලෙවින්, නියැසින්, පැන්ටොතෙනික් අම්ලය, පිරිටොක්සින් ආදී විටමින් ‍බහුලව අඩංගු බව හෙළි වී තිබේ.

චව් චව් ග්‍රෑම් 100කින් ගැබිනි මවකට දිනකට අවශ්‍ය ෆෝ‍ලේට් අවශ්‍යතාවෙන් 25%ක් ලැබේ. ඒ වගේම, පිළිකා අවදානම වළක්වන්නටත්, වයසට යාම පාලනය කරන්නටත් මෙය අනගි එළවළුවකි. සාමාන්‍ය චව් චව් ගෙඩියක ආහාරමය තන්තු ග්රෑම් 3.4 ක්‌ පමණ අන්තර්ගතව ඇත. එය අපගේ දෛනික ආහාරමය තන්තු අවශ්‍යතාවෙන් සියයට 14 ක්‌ පමණ වේ. ආහාරවල තිබෙන කොලෙස්‌ටරෝල් සහ සීනී අවශෝෂණය පාලනය කිරීමට ඉවහල් වන ආහාරමය තන්තු මෙහි අන්තර්ගතව ඇත. ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට මෙන් ම, මහ බඩවැලේ පිළිකා තත්ත්ව හට ගැනීම අවම කිරීමත්, චව් චව් අනුභවයෙන් සිදුවේ. මළ බද්ධය සහ අර්ශස්‌ රෝගය වැළැක්‌වීමට සහ පාලනය කිරීමටත්, චව් චව් අනුභවය හේතු වන බව හෙළි වී තිබේ.

චව්වල සෝඩියම් ඇත්තේ ඉතා ම සුළු වශයෙනි. චව් ග්රෑම් සියයක පොටෑසියම් මිලි ග්රෑම් 154 ක්‌ පමණ අන්තර්ගතව ඇත. පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීම, හදවත ආරක්‌ෂා කර ගැනීමටත්, රුධිර පීඩනය යහපත් මට්‌ටමක පවත්වා ගැනීමටත් හේතු වේ. නිදන්ගත වකුගඩු රෝගීන්ට පොටෑසියම් අධික ආහාර ලබා ගැනීම සෞඛ්‍යයට අහිතකර නිසා, එවැනි රෝගීන් සහ හන්දිගත රූමැටික්‌ රෝගීන්ට චව් අනුභවය එතරම් සුදුසු නැත. ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන විටමින් සීවලින් ද චව් පොහොසත් ය.

එළබටු

එළබටුවල ප්‍රෝටීන්, පිෂ්ඨය, පොස්පරස්, යකඩ අඩංගුව ඇත. එසේම , කැල්සියම් ඉතා ඉහළ මට්ටමක පවතී.

මේ එළවළුවේ විශේෂ ලක්ෂණයක් නම්, වා, පිත් හා සෙම් යන ති‍්‍රදෝෂයම සමනය කිරීමේ හැකියාවක් තිබීම ය.

එළබටු මුල් බෙහෙත්වලට බහුලව යොදා ගනී. කැස්ස, ඇදුම හා පපුවේ වේදනා ආදියට කෙරෙන ආයුර්වේද ප‍්‍රතිකාරවලදී , එහි මුල් භාවිත කරයි. දශමූලාරිෂ්ටය සකස් කිරීමේදී ද බටු මුල් යොදා ගැනේ. එළබටු කැඳ, පාදවල දැවිල්ලට හා සිරුරේ පලුවලට සහනයක් ලබා දෙයි. පත්‍ර යුෂ, සිරුරේ වේදනා සමනය කිරීමට යොදා ගනී. එළබටු ගෙඩියේ යුෂ, උගුරේ වේදනා, කැසීම් ආදියට යොදා ගනී. කැස්ස සහ ඇදුම සඳහා එළබටු ගෙඩියේ ඇට යොදා ගැනේ. ආයුර්වේදයේදී, සෙම් රෝග සඳහා බටු තෙල් යොදා ගනී. දද, කැසිලි, කුෂ්ඨ ආදී රෝගවලට ද එළබටු ඉතාමත් ම ගුණදායක ය.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

    


නව අදහස දක්වන්න

Or log in with...