ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යැවූ පාප්තුමාගේ ඉල්ලීම | දිනමිණ

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යැවූ පාප්තුමාගේ ඉල්ලීම

අපගේ කාලයේ මිනිස් ජීවිතවලට බලපාන අයහපතේ වයිරසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිදේහ වර්ධනයට කරගැනීමට අපට උදව් වුව මැනව යනුවෙන් ෆ්රැන්සිස් පාප් වහන්සේ දෙවියන් වහන්සේ අයැද සිටියහ. උන්වහන්සේ එසේ අයැද සිටියේ නිර්දෝෂ පිලිසිදීමේ මංගල්‍යය නිමිත්තෙන් සාම්ප්‍රදායික ලෙස රෝමයේ ස්පාඤ්ඤ චතුරශ්‍රයේ පිහිටි නිර්මල පිළිසිඳීමේ දේව මාතාවන්ගේ ප්‍රතිමාව බැහැ දුටු අවස්ථාවේ දීය.

සම්ප්‍රදායනුකුලව කුලුන පාමුල මල් කලඹක් තබා උපහාර දක්වූ එතුමා මඳ වෙලාවක් නිහඬ යාච්ඥාවේ යෙදී සිට ඉන් පසු මරිය මෑණියන්ට යාච්ඤාවක් ඔප්පු කළහ.

මෙම යාච්ඤාවේ ප්‍රථම කොටසෙන් පාප් වහන්සේ අපේ පවුල්, පැවිද්දන්, කම්කරුවන්, වියපත් වුවන්, දුප්පතුන් සහ රෝගීන් වැනි විවිධ කොටස් සමඟ ගමන් කිරීම ගැන මරිය මෑණියන්ට ස්තුති කළහ. නූතන සමාජය රෝගී කරන වෛරස් සමුහයක් ඇති බව බව ප්‍රකාශ කළ එතුමා ඒවා ජයගැනීම සඳහා සුබ අස්නෙන් ලැබෙන' ප්‍රතිදේහ' වලින් අප ශක්තිමත් කරන්නැයි දේව මෑණියන්ට ආයාචනා කළහ.

ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර යන තීරණය ගැනීමෙන් වැළකී සිටින්නැයි ෆ්රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඉතා බැගෑපත් ආයාචනයක් කරමින් ඉල්ලා සිටියහ.

"මේ වන විටත් විවිධ වූ කුරිරු ගැටුම්වලින් කම්පනය වී තුවාල වී තිබෙන මේ ලෝකයට, අලුතින් තවත් නොසන්සුන්තා එකතුකිරීම වැලැක්වීම සඳහා ප්‍රඥාවෙන් හා නුවණින් කටයුතු කරන්න" යැයි එම ආයාචනයේ සඳහන් වේ.

මේ තත්වය කෙරෙහි තමා තුළ ඇති දැඩි සැලකිල්ල ගැන නිහඬව සිටිය නොහැකි බවත් ජෙරුසලෙම ජුදෙව්, කිතුනු සහ මුස්ලිම් යන ත්‍රිවිධ ධර්මයන්ටම පරිශුද්ධ වූ අසමසම ස්ථානයක් බවත් පාප් වහන් සේ වැඩිදුරටත් සඳහන් කරති. එහි මේ සියලු ආගමිකයනට හුදු වූ පුජනීය ස්ථාන ඇතිවා ‍සේම එම නගරයට සාමය සඳහා වූ සුවිශේෂී කැඳවීමක් ද ඇති බව එතුමා පෙන්වා දෙති.

"ශුද්ධ වූ දේශය, මැදපෙරදිග සහ සමස්ත ලෝකයේම යහපත සඳහා එම අනන්‍යතාව තහවුරු කොට ශක්තිමත් කරන්නැයි මම සමිඳුනට යාච්ඤා කරමි" යි ෆ්රැන්සිස් පාප් වහන්සේ පොදු හමුවට රැස්ව සිටි බැතිමතුන් හමුවේ ප්‍රකාශ කළහ.

 

ක්‍රිසන්ති විතාරණ 

නව අදහස දක්වන්න