සා.පෙළ විභාගයට ගිය සිසුවියෝ දෙදෙනා කහ ඉර මත දී බසයට යට වෙති | දිනමිණ

සා.පෙළ විභාගයට ගිය සිසුවියෝ දෙදෙනා කහ ඉර මත දී බසයට යට වෙති

 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයයට පෙනී සිටීමට පැමිණි සිසුවියන් දෙදෙනකු බළංගොඩ ඇල්ලෙපොල මාර්ග‍යේ කහ ඉර මත දී බස් රථයකට යට වීමෙන් තුවාල ලබා ඊයේ (18) උදේ රෝහලට ඇතුළු කළ බව බළංගොඩ පොලිසිය කියයි.

බලංගොඩ පින්වල ප්‍රදේශයේ සිට රත්නපුර පළාත් සභාවට සේවකයන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස්රථයකට යට වී මෙලෙස තුවාල ලැබි ඇත්තේ බළංගොඩ ගවරන්හේනේ පදිංචි ඉරේෂා මධුෂාණී (17) සහ ඉලුක්කුඹුර ප්‍රදේශයේ පදිංචි ඩබ්. දිල්හානි (17) යන සිසුවියන් දෙදෙනායි. ඊයේ උදෑසන 7 ට පමණ මේ අතුර සිදුවි තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ දින පැවැති ගණිතය විෂයය සඳහා ඇල්ලෙපොල විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට ඒමට සුදානම් වු සිසුවියන් දෙදෙනා ඇල්ලෙපොල කහ ඉර මතින් පාර මාරු වන විට බළන්ගොඩ සිට පැමිණි වෙනත් බස් රථයක් ඉස්සර කිරීමට පැමිණි සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයකට යට වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබු සිසුවියන් දෙදෙනා බළංගොඩ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් සිසුවියකගේ තත්ත්වය බරපතළ හෙයින් ඇය රත්නපුර මහා රෝහලට මාරුකර යවා තිබිණි.

මේ අතර අතර අධ්‍යාපන බලධාරින් සහ පොලිසිය සිසුවියන් දෙදෙනාට රෝහලේ සිට ම විභාගය ලිවීමට පහසුකම් සැලසුවත් ඔවුන් දෙදෙනාගේ රෝගි තත්ත්වය නිසා එය කළ නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබේ. සිද්ධිය සම්බන්ධව බස්රථය හා රියදුරු බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බළංගොඩ පොලිස් ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහාතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති තරංග හපුගහවත්ත, පොලිස් සැරයන් අලුදෙනිය (30134), පො. කො. පේමසිරි (300038) නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සටහන හා ඡායාරූප
බළන්ගොඩ විශේෂ - සම්පත් ප්‍රියනන්දන 

නව අදහස දක්වන්න