හතු නෙළන කතුන්ගේ තතු | දිනමිණ

හතු නෙළන කතුන්ගේ තතු

 වියළි කලාපයට මහ වර්ෂාව එනතුරු බලාපොරොත්තුවෙන් සිටින්නෝ බොහෝ වෙති. යල වර්ෂාව (යල වගා කන්නයේ වර්ෂාව) නැවැතීමෙන් අනතුරුව, මාස 4ක 5ක කාලයක් තුළ ඉඩෝරයෙන් බැට කන වන සත්තු බලා ඉන්නේ උන්ගේ උගුර කට තෙමා ගැනීමට මහ වර්ෂාවේ (මහ වගා කන්නයේ වර්ෂාවේ) ජලය බිඳක් මහ පොළොවේ තැන තැන එකතු වෙන තුරු ය. හේන් ගොවීහු ඔවුන්ගේ වගා බිම් හෙළි-පෙහෙළි කර පස් බුරුල් කර, ආරම්භක මහ වර්ෂාවෙන් අනතුරුව බඩ ඉරිඟු, මෑ, කව්පි ආදී භෝග බීජ වගා බිම්වල පැළකර ගැනීමට බලා හිඳිති. වී ගොවියෝ බලා සිටින්නේ මහ වර්ෂාවට කුඹුරුවල ගබඩා කර ගත හැකි ජලයෙන් වී වැපිරීමට ය.

ඒ අතර, මහ වර්ෂාව ආරම්භ වනතුරු බලා හිඳින, වැඩිමනත් කලඑළියක් නොමැති තවත් ප්‍රජාවකි. ඒ, ඔක්තෝබර් මුල දී නොලැබුණොත් මැද දී ලැබෙන මහ වර්ෂාව ආරම්භයේ දී ම වනාන්තරයේත් ගම්වල වන වදුළුවලත් තිබෙන දිරා ගිය කඳන් හෝ කොළ රොඩු හෝ ආශ්‍රිතව ද, වේ හුඹස්වල ද නොවරදවා ම පිපෙන බිම්මල් එකතු කිරීමට ළඟ ම මහා මාර්ගයේ දී හෝ නගරයේ දී අලෙවි කර මුදලක් උපයා ගැනීමට හුරු වූ ගැමියන්ය.

ඌව පළාත් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ පිහිටා තිබෙන දඹාන ග්‍රාම නිලධාරී වසමේ ගුරුකුඹුර ග්‍රාමයත් ඊට යාබද මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෝ ගමේ වන වදුළුවල හෝ මහ වැස්සට පිපෙන බිම්මල් හෙවත් හතු ටිකක් නොව තොග එකතු කර

මහියංගණය නගරයට රැගෙන යන, ඉන් අනතුරුව ඒවා මහියංගණය, බදුල්ල, බිබිල මාර්ගය ආරම්භ වන මහ ඔර්ලෝසු කණුව හන්දියට මීටර් 200ක් පමණ දුරින් මාර්ගය අයිනේ තබාගෙන අලෙවි කිරීමට හුරු වූ කාන්තාවන් බොහෝය.

ඉකුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ, හිමිදිරියේ ම කඩි මෙන් කඩි මුඩියේ එකතු කර ගනු ලැබූ බිම්මල් ග්‍රෑම් 250ක් 300ක් වන පරිදි බෙදා පාරදෘෂ්‍ය උරවල දමා ගෙන, ගුරුකුඹුරෙන් මහියංගණය බලා උදේ 5.50ට 6.00ට පමණ පිටත්වන ගුරුකුඹුර-මහනුවර ලංගම බස් රථයෙන් නගරයට යන ගුරුකුඹුරේ කාන්තාවන් 20 දෙනෙක් පමණ සිටිති. දවල් 11:00-12:00 වන විට පදියතලාව, මහඔය හෝ අම්පාර බලා යන බසයක් බලාපොරොත්තුවෙන් බස් නැවැතුම් පොළකට යන ඔවුන් බිම්මල් දමාගෙන ගිය මලු හිස් ව තිබෙන මුත් මුදල් පසුම්බි නම් පිරී තිබෙන්නේ නෝට්ටු ගොඩකිනුත් කාසි ටිකකිනුත් ය.

ඔක්තෝබර්-ජනවාරි අතර බිම්මල් වාරයේ දී මේ කාන්තාවෝ නගරයෙන් ගමට ගෙන එන මුදල කොතරම් දැයි ඇතැමකු පිළිනොගන්නවා ඇත. ඒ තරම් ලොකු මුදලක් ඔවුහු බිම්මල් වාරයේ දී උපයති.

ඒ කෙසේ වෙතත්, මාදුරුඔය වනාන්තරය ගුරුකුඹුරට (මෙන් ම ඊට යාබද හැම ගමකට ම) දක්වන ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය ඒ ගැමි කතුනට දක්වන තවත් අය සිටී නම්, ඒ, මහා බ්‍රහ්මයා හෝ එම කතුන්ගේ දෙගුරුන් පමණකි.

ඡායාරූපයේ දැක්වෙන්නේ, ඊට පෙර දින හැන්දෑවේ ඇදහැළුණු මහා වර්ෂාවට මාදුරුඔය කැලේ පිපුණු බිම්මල් මහියංගණයට ගෙනැවිත් අලෙවි කරන ගුරුකුඹුරේ ගැමි ලියකි.

ගුරුකුඹුරේ ජනයා මෙන් ම මෙරට වියළි කලාපයේ කැලෑබඩ තවත් ගම්වල ජනයා ද බිම්මල් එකතු කර පවුලේ ආර්ථිකයට මුදලක් අවුරුද්දකට වරක් උපයා ගත්තද බිම්මල් හෙවත් හතු වගාකර අවුරුද්ද මුළුල්ලේ ම මුදල් උපයා ගන්නා කාන්තාවෝ ද වියළි කලාපීය මෙන් ම තෙත් කලාපීය ගම්වලත් බොහෝ සිටිති.

රජයේ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ මගිනුත් කෘෂිකර්ම අමත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග වගා ප්‍රවර්ධන ව්‍යාපෘති මගිනුත් ‍ෙකරෙන මගපෙන්වීම මත ය.

මෙහි දී, රාජ්‍ය නොවන සංවිධාන ද කාන්තා ප්‍රජාවට කරන මගපෙන්වීමත් අගය කළ යුතු වෙයි.

ඒ අතර තමන් ම සොයා බලා ලබා ගත් දැනුම ඔස්සේ හතු වගාව කර ගෙන යන කාන්තාවන් ද මෙරට ජාතික ආර්ථිකයට හා පොදු ජනයාගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වැඩි දියුණු කරලීමේ කර්තව්‍යයට ලබාදෙන දායකත්වයත් අගය කළ යුතුය.

සටහන සහ ඡායාරූප - නවරත්න බණ්ඩාර මහවැලි කලාපීය 

 

නව අදහස දක්වන්න