කළු සංගී­තයේ සට­න්කා­මි­නිය නිනා සිමෝන් | දිනමිණ

කළු සංගී­තයේ සට­න්කා­මි­නිය නිනා සිමෝන්

කපිල කුමාර කාලිංග

සංගීතයට ස්වර වර්ණයම මිස වෙනත් වර්ණයක් කුමටද? එහෙත්, සුද්දන්ගේ අධිපතිවාදි ලෝකය තුළ සංගීතයෙහිද වර්ණ බේදය පැතිරුණේය. ‘බ්ලැක් මියුසික්’ නොහොත් කල්ලන්ගේ සංගීතයක් බිහිවුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ලෝකයේ ශ්‍රේෂ්ඨතම පියානෝ වාදන ශිල්පිනිය වීමට සිහින මැවූ, අමෙරිකානු කළු දැරියකට ජෑස් ශෛලියේ ගායිකාවක වීමෙන් සෑහීමකට පත්වීමට සිදුවන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඇය නිනා සිමෝන් ය.

කළු - අමෙරිකානු පවුලක සය වෙනි දරුවා ලෙස උපන් නිනාගේ මුල් නම ඉයුනිස් වේමන් ය. ඇගේ මව ‍මෙතෝදිස්ත ධර්ම දේශිකාවකි. මවට අවශ්‍ය වූයේ තම දියණිය ලෝකයේ විශිෂ්ටතම පියානෝ වාදිකාවක කිරීමට ය. එහෙයින් බාල වියේදීම ඇය, අමෙරිකානු (සුදු) සංගීත ගුරුවරියක වෙත යවන ලදී. ඊට අමතරව ඇය, පල්ලියේ ගායන වෘන්දයේද කටයුතු කළාය. 1950 දී ජුලියඩ් සංගීත විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබන නිනා නිව්යෝර්ක් යයි. එහෙත් වැඩි කල් නොයා ඇයට එය අතහැර දැමීමට සිදුවුයේ පැවැත්ම උදෙසා මුදල් සෙවීමට සිදුවූ බැවිනි. ඇට්ලාන්ටික් නගරයේ අවන්හලක පියානේ වාදනයට යන ඇය තම නම නිනා සිමෝන් (Nina Simone) නමින් වෙනස් කර ගත්තාය. ඊට තවත් හේතුවක් වූයේ තමන්ගේ අලුත් රස්සාව මවට ආරංචි නොවීමටය. අවන්හලේ පළමු රාත්‍රියෙන් පසුව ම, පියානෝ වාදනය සමඟ ගීත ගායනා කරන්නේ නම් මැනවයි කළමනාකාරිත්වය ඇයට දැනුම් දුන්නේය. එහෙයින් , එකල ඇයගේ ප්‍රියතම ගායිකාවක වූ බිලී හොලිඩේගේ ගීත ගයන්නට පටන් ගත්තාය. ඒ ඇරැයුම නිමාවූයේ නිනා සිමෝන් නාමය, කළු සංගීත ලෝකයේ පෙරළිකාර, සටන්කාමී හා අති විශිෂ්ට ගායිකාව ලෙස රන් අකුරින් සටහන් කරමිනි.

2003 අප්‍රේල් මාසයේදී ප්‍රංශයේ තම නිවසේදී මිය යන විට නිනාගේ වයස 70කි. නිනා සිමොන් පිළිබඳව යළි කතා බහක් ඇතිවී තිබෙන්නේ එංගලන්තයේ ප්‍රකට වේදිකා නිළියක වන ජොසෙට් බුෂෙල් මින්ගෝ ( Josette Bushell Mingo) විසින් Nina :A Story About me and Nina Simone නමින් ඉදිරිපත් කළ ගීතමය ප්‍රසංගය නිසාය.

ජොසෙට් පවසන ආකාරයට, ඇයට ප්‍රථම වරට නිනා සිමෝන් ගයනු, වයනු දක්නට ලැබී ඇත්තේ සිය බාල වියේදී (වයස අවුරුදු 11) තම නැන්දාගේ ගෙදර රූපවාහිනිය නරඹමින් සිටියදීය. ඇය ගේ මතකයේ හැටියට එය වීඩියෝවකි. එක්වරම රාත්‍රිය මෙන් කළු පැහැති තරුණියක් (Black as night) තිරයෙහි ප්‍රදර්ශනය වූවාය. ඇය පියානෝව වයන්නට වූවාය. ඉන් පෙර කිසිදාක එබඳු වැයුමක් දැක නොතිබූ ජොසෙට් ඇසිපිය නොගසා එදෙස බලා සිටියාය. ඒ ප්‍රථම මතකය ජෙසෙට්ගේ ජීවිතයටද ඉමහත් බලපෑමක් කරන්නට සමත් විය.

ජො‍සෙට් මින්ගෝ ද කළු ජාතික නිළියකි. ඇ‍ගේ මව්පියන් ගයනාවේ උපන් බස් රියැදුරකු හා හෙදියකි. ස්වීඩන් ජාතිකයකු හා විවාහ වී සිටින ජොසෙට්, රාජකීය ‍ෂේක්ස්පියර් නාට්‍ය සමාගම හා කටයුතු කරමින් එංගලන්තයේද වෙසෙන්නීය. ඔපෙරා ගායනයද හදාරා ඇති ඇය “නිනා” ප්‍රසංගය තුළ දී (පැය එකහමාරක කාලයක් තුළ) නිනා සිමෝන්ගේ ගීත 15ක් ගයන්නීය.

“මේ ප්‍රසංගය අඟවන්නේ අපේ නිදහසයි. නිනා සහ ඒ වාගේ තවත් කීපදෙනෙක් නොවන්නට මට මේ නිදහස නොලැබෙන්නට ඉඩ තිබුණා.

නිනා සිමෝන්ගේ ගායනයන්හි වූයේ, පරම්පරා ගණනාවක් ඔස්සේ අමෙරිකාවෙන් තුන්වෙනි ලෝකයේත් කළු ජාතිකයන් විඳි සමාජ - දේශපාලන අසාධාරණයෙහි හා අගෞරවයෙහි වෛරය හා වේදනාවයි. සම්භාව්‍ය පියානෝ වාදන ශිල්පිනියක ලෙස ඇයට ලබා ගැනීමට තිබූ උසස් පිළිගැනීම වළකාලූයේ, සුදු ජාතික ප්‍රභූ පෙළැන්තියයි. ඔවුන් ඇයට අප්‍රසාදය පළ කළේ, ඇගේ කළු සම නිසාය. ඇගේ කළු ඇඟිලි තුඩින් උපදින ඉසියුම් ස්වර රටා විඳින්නට ඔවුනට ඇවැසි නොවීය. ඒ වර්ගවාදයේ කුරිරු කමයි. එහෙත් ඉන් නො සැළුණු නිනා තම වර්ගයාට උරුම වූ ජෑස් සංගීතයේ ආභාෂය ලබමින්, දේවස්ථාන හා ජන සංගීත ආරෙන්ද ඔපවෙමින් ගායිකාවක ලෙස මිහිරි පළිගැනීමක (Sweet revenge) යෙදුණා ය. ජොසෙට් මින්ගෝ සිය ප්‍රසංගයෙන් ප්‍රතිරාවය කරන්නේද එයමයි.

නිනා සි‍මෝන් පැවසූ අන්දමට මිනිස් කට හඬ යනු සංගීත භාණ්ඩයකි. එහි ඇති ස්වර වෙනත් කිසිම සංගීත භාණ්ඩයක නොමැත. පියානෝවක යතුරු පුවරුව අතර ස්වර පිහිටා තිබෙන්නාක් මෙන්, කටහඬ නමැති භාණ්ඩයෙහිද ස්වර දක්නට ඇත. ඔබ එය හැඳින වාදනය කළ යුතුය.

නිනා වඩා කැමති වූ‍යේ ඇය ජෑස් ගායිකාවක ලෙස නොව, ජන ගී ආරේ ගායිකාවක ලෙස හඳුන්වා ගැනීමටය. ඇගේ ගායනය විටෙක රළුය. ගොරහැඬිය. තවත් විටෙක මිහිරි ය. ශුද්ධ ය. කිතුනු ආගමික සංගීතයේ ආභාෂය මෙන් ම කළු අභිමානය හා වර්ග බේදවාදයට ඇති විරෝධයද එහි ගැබ්ව තිබුණි. ඇය ලියූ පදමාලා තුළ එම ලක්ෂණ පැහැදිලිවම දක්නට ලැබුණි. ඇයගේ “Mississipi Goddam” නමැති සුප්‍රකට ගීතය ලියැවුණේ 1063දී සුදු ජාතිවාදීන් විසින් ඇලබාමා ප්‍රාන්තයේ ඉරුදින පාසලකට බෝම්බ ගසා, එහි සිටි දැරියන් සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් උපන් කම්පනයෙනි. “Four Women”ගීතයට තේමා වූයේ කළු ඇමෙරිකානු ස්ත්‍රිය ගේ ‍වේදනාව හා ශක්තිය යි. “Yong,Gifted and Black” ගීතය පසු කලෙක කළු ජාතිකයන්ගේ ජාතික ගීතය ලෙස සැලකුණි.

සංගීතයෙන් දේශපාලනය කළ හැකිය යන මතයෙහි තරයේ පිහිටා සිටි නිනා සිමෝන් අමෙරිකානු කළු ජාතික මානව හිමිකම සංවිධාන සමඟ එක්ව කටයුතු කළාය. මාර්ටින් ලූතර් කිං වැනි කළු ජාතික නායකයන් සමඟ උරෙනුර ගැටෙමින් පෙළපාලි ගියාය. අමෙරිකාවට කළු ජාතික ජනාධිපතිවරයකු අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ම කියා සිටියාය.

ජර්මන් නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් හා ඔහුගේ සමීපතමයකු වූ සංගීතඥ කර්ට් වෙයිල් (Kurt Weill - පැන්ස තුනේ කතාව නාට්‍යයට සංගීතය සැපයීය.) ආදීන්ගේ ආභාෂයද තමන්ට ලැබුණු බව නිනා සඳහන් කර ඇත.

“මගේ වර්ගයාගේ බලාපොරොත්තු මගේ උර මත පැටවී ඇතැ’යි කියූ නිනා ඒ සඳහා ක්‍රියාකාරීවම සහභාගී වූයේ ජීවිත අනතුරු පවා නොතකමිනි. මැල්කම් එක්ස් සහ මිචිගන් විශ්වවිද්‍යාල ඇයට ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනැමීය. එහෙත්, අවසානයේ, අමෙරිකාව අතහැරදා ප්‍රංශයේ පදිංචියට යාමට ඇය තීරණය කරයි. “අමෙරිකානු ආකල්ප තුළින් වර්ණබේදය ඉවත් කිරීම අපහසු වී තිබෙනවා.” යැයි නිනා පැවසුවාය.

නිනා සිමෝන් ට පැවසූ අන්දමට ඇය විවාහ ජීවිතය සම්බන්ධයෙන් අවාසනාවන්තය. එහෙත් ‍ප්‍රේමයේදී වාසනාවන්තය. දෙවරක්ම විවාහ වූ නිනා පිරිමි ඇසුරට ලොල් වූවාය. ඇගේ පළමු සැමියා වූයේ නිව්යෝර්ක්හි පොලිස් සේවයෙහිද සිටි විශ්‍රාමික පුද්ගලයෙකි. ඔහු ඇගේ කළමනාකරුද විය. නිනාගේ එකම දියණිය වූ ලිසා පසු කලෙක සඳහන් කළ අන්දමට පියා තම මවට (නිනාට) සැලකුවේ ඉතා කුරිරු අන්දමිනි. ඔහු ඇයට පහර දුන්නා පමණක් නොව, පිස්තෝලය හිසට තබා බියපත් කොට ලිංගික හිංසනයෙහි යෙදුණේය.

නිනා සිමෝන්ගේ පෙම්වතකු වූ අර්ල් බැරෝ, පසුකලෙක බාර්බඩෝස්හි අගමැති තනතුරද හෙබවීය.

පෞද්ගලික ජීවිතයේ ආරවුල් සහ වියපත්වීම නිසා පසු කලෙකදී නිනා සිමෝන් විශාදය වැනි මානසික ව්‍යාකූලතාවන්ට ලක්වූවා ය. තම නිවසට යාබද පිහිනුම් තටාකයක සිටි යෞවනයන් දෙදෙනකුගේ අපහාසාත්මක කෑකෝ ගැසීම් නොඉවසු ඇය, ඔවුනට වෙඩි තැබුවාය. එක් අයකු රෝහල්ගත කෙරුණු අතර, නිනාට අත්හිටවූ සිරදඬුවමක් නියම වුණි. තවත් අවස්ථාවක රිය අනතුරක් සඳහා දඬුවම් ලැබුවාය. ඇතැම් ප්‍රසංගවලදී, ප්‍රේක්ෂකයන් හා කෝපවී නැඟිට ගියාය.

ඒ කෙසේ වෙතත් දිගු කලක් පුරා යෝග ව්‍යායාමයන්ද කළ නිනා සිමෝන් හින්දු හා බුදු සමයටද භක්තිමත්ව සිටියාය. “I put a Spell on You” ඇයගේ චරිතාපදානයයි. ලිස් ගාර්බෙස් විසින් අධ්‍යක්ෂණය කරන ලද “What Happened Miss Simone” නමැති වාර්තා චිත්‍රපටය 2014 වර්ෂයේදී ඇකඩමි සම්මානයටද නිර්දේශ විය.

නිනා සිමෝන්ගේ ප්‍රේම ගීතද, රීමික්ස් වෙමින් නව පරපුරේ තරුණ තරුණියන් අතරට ගොස් ඇත. එහෙත් සැබැවින්ම ඇයගේ ගීතය හා වාදනය නියෝග කරන්නේ, ඈත අතීතයේ අමෙරිකානු කපු වතුවල සේවය කළ කළු වහලුන්ගේ සිට වර්තමානයේ ජනාකීර්ණ නගරවල ‍වෙසෙන ‘කල්ලා’ යනුවෙන් තවමත් නිග්‍රහ ලබන කළු අමෙරිකානුවා දක්වා වන මිනිස්කමින් පහත ‍හෙළු, මිනිසුන්ගේ නොනිමෙන කෝපය හා වේදනාවයි.

‘නිනා’ ප්‍රසංගය පිළිබඳව කතා කරමින් ජොසෙට් මින්ගෝ මෙසේද සඳහන් කරයි. “මට නිනා සිමෝන් විය නොහැකියි. එය නිරූපණය කළ හැක්කේ ඇයටම පමණයි. මගෙන් සිදුවන්නේ නිනාට ලැබිය යුතු දේශපාලනික ගෞරවය පුද කිරීමයි.” 

නව අදහස දක්වන්න