දරු බැමි | දිනමිණ

දරු බැමි

අද නෙල්ලි කතන්දර ඇතුළෙ කතාවක් නෑ. තැලුණු හිත් කීපයක රිදුම් අකුරු වෙලා තියෙනවා විතරයි.

සමහර බැඳීම් ඇතිවෙන්නෙ එකපාරයි. මුළු ජීවිත කාලෙටම. බිදුණොත් පිළිසකර කරන්න පුළුවන් සමහර වෙලාවට. හැබැයි පෑස්සුම් ලකුණු ජීවිත කාලෙ පුරාවටම ඉතුරු වෙලා තියෙනවා. බැඳීම ඇතුළෙ ඉන්න හැමෝගෙම හදවත් ඇතුළෙ ඊට පස්සෙ මහා බර කළුගල් ඉතුරු වෙනවා. අම්මලා, තාත්තලා, ළමයි අතරෙ තියෙන්නෙ බි‍ඳෙන්න පුළුවන් පෑස්සුම් ලකුණු ඉතුරුවෙන බැදීමක්. ඒ ආදරය අසීමිතයි. මනින මිනුම්දඬු තාම ලෝකේ කවුරුවත් හොයාගෙන නෑ. බැඳීමෙ කපරාරුව හයිය වෙන තරමට ඉරිතැලීමෙ ගැඹුර වැඩියි.

හැම තැනම ඉහිරිලා තියෙන්නෙ දරුවො මව්පියන්ට සලකන්නෙ නැති එක ගැන ලියවිච්ච, කියවිච්ච කතන්දර. පත්තරවල, පොත්වල, රූපවාහිනියෙ දිග ඇරෙන කතන්දරවල මව්පියො අතෑරලා සුරසැප විදින දරුවො ගැන කතන්දර ඕනෙ තරම්. ඒත් 'දරුවන්ට මව්පියො සලකනවද?' කියන්නේ ඇසිය යුතු නැති ප්‍රශ්නයක්. අපි හිතන්නෙ එහෙම. කිරි දීලා, කවලා පොවලා කරදඬු උස්මහත් කළ එකම මදිද? උගන්නන්න කොයිතරම් නම් දුක් විඳින්න ඇතිද? ජීවිතේ හැමදේම කැපකළේ දරුවො වෙනුවෙන් නෙමෙයිද? ඔහොම ප්‍රශ්නයක් අහන එක පව් නැද්ද? ඔය වගේ අනේකවිධ හේතුකාරණා අපේ හිත්වල ඉපදෙන්නෙ දරුවො උස්මහත් කළාට පස්සෙ මව්පියන්ට දරුවො සලකනවා මිසක දරුවන්ට මව්පියො සැලකිය යුතු නැහැයි කියන්න. ඒත් ඊට වෙනස් විදිහට හිතන්න මාව පොළඹවපු කතන්දර කීපයක් මුණ ගැහුණෙ මෑත අතීතයෙ දවස් කීපයකදීයි.

කතන්දර ඔක්කෝම ලියන්න පත්තර පිටුව ඉඩ මදි. කතානායකයො හුඟ දෙනකුගෙ කතන්දර එකතුකරලා හිතට දැනිච්ච දේ විතරක් ලියන්නෙ ඒ හින්දයි.

මව්පියන්ට පුළුවනි කරදඩු උස්මහත් වෙච්ච දරුවන්ට සලකන්න.

තමන්ගෙ දරුවා තමන් වගේ නොවෙන වෙන කෙනෙක් විත්තිය පිළිගෙන මව්පියන්ට පුළුවනි තමන්ගෙ වගකීම ඉටු කරන්න. කොයිතරම් හොදින් හැදුවත් තමන්ට දරුවෙක්ව තමන්ගෙ කාබන් කොපියක් කරන්න බෑ. හැසිරීම, කතාබහ, ඉගෙනීම ඒ කිසිම දෙයකින් හුඟ වෙලාවට දරුවො මව්පියන්ට සමාන වෙන්නෙ නෑ. ඒ බව පිළිගන්න හුඟක් මව්පියො කැමති නෑ. "අපි කොහොමද හැදුවෙ මෙයා කොහොමද හැදුනෙ." වගේ වචන උස්මහත් වුණත් දරුවොන්ගෙ හිත්වලට ගේන්නෙ වේදනාවක්.

සමකාලීන අනිත් දරුවොත් එක්ක සසඳන්නෙ නැතුව ඉඳලා මව්පියන්ට පුළුවනි තමන්ගෙ දරුවන්ට සලකන්න. මිනිස්සු දෙන්නකුගෙ ජීවිත කතන්දර කවදාවත් එක සමාන වෙන්නෙ නෑ. එක්කෙනෙක් හිමින් යන ගමන් අනිත් කෙනා වේගෙන් යන්න පුළුවන්. ජීවිත කතන්දර දෙකක වරදින තැන්, හරියන තැන් වෙනස්. ඒ නිසා තමන්ගෙ දරුවව වෙන දරුවෙක් එක්ක සසඳන එකෙන් ඉතුරු වෙන්නෙ හිත් වේදනාවක් විතරයි.

දරුවන්ගෙ ඉපදිච්ච දවසෙ ඉඳලම විස්තර දන්නෙ මව්පියො විතරයි. සමහර මව්පියො දරුවන්ගෙ ජීවිත කතාවෙ අතීත සිද්ධි කාලාන්තරේකින් පස්සෙ මතක් කරනවා. සමහර වෙලාවට ජීවිතේ වැරදුණු තැන් මතක් කරලා දෙන්න. එහෙම නැත්නම් "අපි නැත්නම් ඔයා අද මෙතන නෑ" කියලා කියන්නත් වෙන්න පුළුවන්. ඒකෙන් මව්පියො දරුවො තමන් ගැන තියපු විශ්වාසය බිඳලා දානවා. දරුවො වැඩිහිටියො වෙන්න ඉස්සර ජීවිතේ සිදුවීම් මව්පියො එක්ක බෙදාගන්නෙ ඒ කාලෙ එයාලට ඉන්න හොඳම යාළුවො මව්පියො කියලා එයාලා හිතාගෙන ඉන්න හින්දයි. මව්පියො ඒ විශ්වාසෙ බින්දම ඇති වෙන්නෙ ආයෙමත් කවුරුවත් විශ්වාස කරන්න බෑ කියන සිතිවිල්ල විතරයි.

ලෝක ගෝලෙ උඩ හිටගෙන ඉන්න, කරදඬු උස්මහත් වෙච්ච හුඟක් දරුවො මව්පියන්ගෙන් ඉඩකඩම්, දේපල බලාපොරොත්තු වෙනවා ඇති. ඒත් තමන්ගෙ එදාවේල තමන්ටම හොයාගන්න පුළුවන්, ඉගෙන කියාගත්තු සමහර දරුවො මවුපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ තමන්ව විශ්වාස කරන එකයි, අසීමිත ආදරෙයි විතරයි. පුංචි දරුවෙක් මව්පියන්ගෙන් බලාපොරොත්තුවෙන ඒ සරල කාරණා දෙක ආත්ම විශ්වාසයෙන් පිරිච්ච ආදරණීය වැඩිහිටියෙක්ව ගොඩනඟනවා. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් දරුවො මියයන තෙක්ම මව්පියන්ගෙ ආදරය, විශ්වාසය තමන් කෙරෙහි තියේවි කියලා බලාපොරොත්තු වෙනවා. අවිශ්වාසයෙන් අනාදරයෙන් වෙනස් කරන්න බැරි හුඟක් දේවල් විශ්වාසයයි ආදරයයි විසින් වෙනස් කරනවා. 

දසුනි හෙට්ටි­ආ­රච්චි


නව අදහස දක්වන්න

Or log in with...