සුන්දර සින­හ­ව­කින් පසු... | දිනමිණ

සුන්දර සින­හ­ව­කින් පසු...

මහානාම දුනුමාල

ශිෂ්‍යයා බිම බලාගෙන සිටියේ ය. ඔහු සිටියේ ඔහුගේ ගුරුවරයකු ඉදිරියේ ය. අන්තිමේ ගුරුවරයා මෙසේ කීය.

“මතක තියාගන්නවා. ඔය යන ක්‍රමය වැරදියි. මිනිහෙක්ගෙ මූණට හොඳට හිනාවෙලා ඌට නොදැනෙන්ට උගේ කැවුත්ත කන්ට හුරුවෙනවා. නැතිව මේ රටේ මිනිහෙක් වෙන්ට බෑ.”

සිය ගුරුවරයා දුන් අවවාදය ඒ ඇසූ ශිෂ්‍යයා මා හා කීවේ අසූව දශකයේ අග භාගයේ දී ය. මා හා ඒ කතාව කියන විට අවවාදය ඇසූ ශිෂ්‍යයා මැදි වියේ මිනිසෙක් ව සිටියේ ය. මා ඒ කතාව අසන විට ලාංකීය සමාජය සිය දෙවන කැරැල්ලට පිඹුරුපත් සකසමින් සිටියේ ය. මා හා කතාව කී ඔහු සිය තරුණ වියේ දී 1971 මුල් තරුණ කැරැල්ලට දායක වී සිරබත් කෑ අයෙකි. ගුරුවරයා අවවාදය දී ඇත්තේ ඔහු කැරලිකාර තරුණයන් හා සම්බන්ධතා පවත්වන බව ආරංචි වූ පසු ය. පාසල් ගුරුවරුන් වශයෙන් මාණ්ඩලික ක්‍රීඩා තරග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් භාරව ගොස් පිට්ටනිය කෙළවර ගසක් අසල ළමයින්ගේ වාරය එන තුරු බලා සිටින අතරවාරයේ ඔහු මේ කතාව මා හා කීවේ ය.

වඩා ආස්වාදජනක වූයේ ඔහු මේ කතාව මා හා කියන කාලයේ ඔහුට අවවාද දුන් ගුරුවරයා රටේ ආන්දෝලානාත්මක භූමිකාවක් නිරූපණය කළ චරිතයක් වීම ය. බොහෝ අයට වීරයකු වූ මේ තැනැත්තා අද මිය පරලොව ගොසිනි. ආන්දෝලනාත්මක භූමිකාවක් නිරූපණය කළ මේ තැනැත්තා වීරත්වයෙන් හුවා දක්වමින් ඇතැම් අය කතා කරන විට මට සිනා යයි. ඒ මේ කතාව සහ ඔහු පිළිබඳ මා දන්නා සහ අසා ඇති වෙනත් කතා මතක් වීමෙනි.

අප ජීවත්වන සමාජය පිළිබඳ අසන්නට දකින්නට ලැබෙන විවිධ සිද්ධීන් පිළිබඳ කල්පනා කරන විට නම් අප අනුමත නොකළත් මේ තැනැත්තා එදා කළා යයි කියන ප්‍රකාශයේ සත්‍යතාවයක් ඇතැයි සිතෙයි. බොරුව ජීවත්වීමේ මාර්ගය බවට පත්ව තිබේ. දසන් විදහා සිනාසෙන්නට දන්නා කපටියෝ කිසිදු බියක් හෝ විලියක් නොමැතිව ගෙයින් ගෙට හෝ ආයතනයෙන් ආයතනයට යමින් මිනිසුන් මුලාවේ හා වංචාවේ හෙළා සිය පසුම්බි තර කර ගනිති.

දින කීපයකට පෙර මා හඳුනන ගුරුවරියක් මට දුරකථනයෙන් කතා කළා ය. සිය රාජකාරී ජීවිතයේ අග භාගයේ පසුවන ඇගේ නිවෙසට මුලින් නමක් යොදා අගින් එන්ටර්ප්‍රයිසස් යයි නාමකරණය කරන ලද වාහනයකින් පිරිසක් පැමිණ තිබේ. දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරයක මාවතක් සහිත ලිපිනයක් ද වාහනයේ තිබිණි. සියල්ල විධිමත් ය. බිල්පත් ද තිබිණි. කතාබහ ද ඉතා වැදගත් ය. තමන් ගෙනෙන භාණ්ඩවලින් ගෘහිණියන්ට සිදුවන ඉමහත් වාසිය පිළිබඳ සිත් ඇදගන්නා කතාබහෙන් ද උපලක්ෂිත ය. මා හඳුනන ගුරුවරිය ද මල්ටි කුකර් එකක් පිලිබඳ සිය අවධානය යොමු කළා ය. එහි ඇති වාසි අකනිටා බඹ ලොව දක්වා ඉහළ නංවා වර්ණනා කිරීමෙන් පසු මිල ඉදිරිපත් කෙරිණි. ඒ රුපියල් දහනවදහස් ගණනකි. අවශ්‍ය නම් වාරික දෙක තුනකින් ගෙවිය හැක. අපේ ගුරුවරිය මුළු මුදල ම එක් වර ගෙවන්නට කැමති වූ නිසා ඇගේ පැරණි කුකරය ගෙන දෙදහසක් අඩු කෙරිණි.

ඇය රාජ්‍ය සේවිකාවක නිසා දෙන සහනයක් යයි කියමින් රුපියල් පන්දහසක් අඩු කෙරිණි. රුපියල් දොළොස්දහස් ගණනකට ගනුදෙනුව සිදු විය. පසුව ගුරුවරිය තුළ සැකයක් හටගත්තේ ය. ඒ කිසිදු ලේඛන පිරික්සීමකින් තොරව ඇය රාජ්‍ය සේවිකාවකැයි පිළිගෙන රුපියල් පන්දහසේ සහනයක් දුන් හෙයිනි. ඇය මට කතා කළේ ද සැකයේ ප්‍රතිඵලයක් සේ ය. මම මා හඳුනන වෙළඳ මිතුරෙකුට කතා කොට විමසූ පසු ඔහු කීවේ අදාළ භාණ්ඩය රුපියල් හයදහස් ගණනකට වෙළඳපොළෙන් මිලට ගත හැකි බව ය.

ගෙයක් පාසා යමින් පාරිභෝගික සේවයේ යෙදෙන බොහෝ කපටි පුද්ගලයෝ මෙයාකාර ය. අලුත් විද්‍යුත් භාණ්ඩ කෙරෙහි මිනිසුන් දක්වන ඇල්මත් භාණ්ඩවල මිල පිළිබඳ හරියාකාර දැනුමකින් තොර වීමත් උහු සිය වාසියට යොදා ගනිති. ගෙහිමියන්ට සිතන්නට ඉඩකඩ නොතබා භාණ්ඩය හා එහි අරුමැසි බව වර්ණනා කරති.

වාරික ක්‍රමයට ඇප රහිතව පාරිභෝගික සේවාවක් වශයෙන් දෙන්නට කැමති බව ප්‍රකාශ කරති. මුල් වාරිකය සඳහා අයකොට ඇති මුදල භාණ්ඩයේ වටිනාකමටත් වඩා ඉහළ මිලක් බව වැටහෙන්නේ වෙළඳ සලකට ගොස් මිල ගණන් විමසා බැලූ විට ය.

ඇත්ත! මෙවන් සමාජයක මිනිසෙක් විය හැක්කේ කපටින්ට ය. මුහුණ බලා හොඳින් සිනා සී නොදැනෙන්නට කැවුත්ත කෑ හැකි උන්ට ය. 


නව අදහස දක්වන්න

Or log in with...