'රන්ජන් අයියා සමඟ වැඩ කිරීම පහසුයි' | දිනමිණ

'රන්ජන් අයියා සමඟ වැඩ කිරීම පහසුයි'

මේ දවස්වල එල්.එෆ්.ඩී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන රන්ජන් රාමනායකගේ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයේ භාග්‍යා වෛද්‍යවරියගේ චරිතයට පණ පොවන්නේ නව පරපුරේ නිළියක වන රුවන්ගි රත්නායකයි. ටෙලි නාට්‍යය නිළියක ලෙස පුංචි තිරයේ ජනප්‍රිය වී සිටින රුවන්ගිගේ පළමු චිත්‍රපටය වන්නේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයයි. ‘ඩොක්ටර් නවරියන්’ රුවන්ගිගේ දෙවැනි චිත්‍රපටයයි. සිය නවතම චිත්‍රපටය පිළිබඳ හා සිය රංගන ගමන පිළිබඳ රුවන්ගි ‘සරසවිය’ සමඟ මෙසේ සඳහනක යෙදුණා ය.

* මේ ඔබ රන්ජන් රාමනායක සමඟ රඟපෑ දෙවැනි චිත්‍රපටය නේද?

ඔව්. ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයේ භාග්‍යාගේ චරිතයට මට කතා කරන්නේ රන්ජන් අයියා. මීට වසර කිහිපයකට පෙර ඔහු මට කතා කරලා පැවසුවේ ‘ඩොක්ටර් නවරියන්’ යනුවෙන් චිත්‍රපටයක් කරන බවත්, එහි ප්‍රධාන චරිතයකට මාව තෝරාගෙන ඇති බවත්. ඒ චරිතය වෛද්‍යවරියකගේ චරිතයක් බවත්, මගේ පෙනුම ඊට ගැළපෙන බව ඔහු සිතූ බවයි තව දුරටත් පැවසුවේ. ඊට පසුව ඔහු තිරරචනය මට එවලා තිබුණා.

* ඔබ රඟපෑ චරිත අතර වෛද්‍යවරියකගේ චරිතයක් මීට පෙර රඟපාලා තිබුණේ නැහැ?

මා මීට පෙර වෛද්‍යවරියකගේ චරිතයක් රඟපාලා තිබුණේ නැහැ. ඒත් ඊට වඩා වෙනස් ම විදියේ චරිත කිහිපයක්ම රඟපෑමට මට මීට පෙර අවස්ථාව ලැබුණා.

* ඒ වෛද්‍යවරියගේ චරිතය ඔබ තේරුම් ගත්තේ කුමන විදියටද?

වෛද්‍යවරියක් කියන්නේ තැන්පත් චරිතයක්. හැමෝම දෙස කරුණාවන්තව බලන කෙනෙක්. රෝගීන්ට කරුණාවන්තව සලකන කෙනෙක්. ඒක අපි හැමෝම දන්නවා. රන්ජන් අයියා ඒ චරිතය ගැන පැහැදිලි කරන විටත්, තිරරචනය පැහැදිලි කරන විටත් ඒ දෙවල් මට කිව්වා. මමත් ඒ දේවල් පොදුවේ දැනගෙන සිටියා. ඒ සියලු කාරණා එකතු කරගෙනයි මා වෛද්‍යවරියගේ චරිතය රඟපෑවේ.

* ‘ඩොක්ටර් නවරියන්’ විනෝදාත්මක චිත්‍රපටයක්. රඟපෑමේදී විනෝදාත්මක, විනෝදාත්මක නොවන චිත්‍රපටවල රඟපානවා යන තෝරා ගැනීමක් ඔබට තිබෙනවාද?

එවැනි තෝරා ගැනීමක් මට නැහැ. ඒ චිත්‍රපට දෙවර්ගයේ ම රඟපාන්න මා කැමැතියි. මට ලැබෙන චරිතය හොඳ චරිතයක් නම්, එහි අලුත් වෙනසක් දකින්නට පුළුවන් නම්, ඒ චරිතය රඟපාන තිරරචනය හොඳයි නම් ඒ වගේ නිර්මාණවල මා රඟපානවා.

* ඔබ ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන්නේ පුංචි තිරය හරහායි?

මේ වනවිට මා වැඩිපුරම රඟපා ඇත්තේ ටෙලි නාට්‍යවලයි. ඒ රඟපෑම මා ආරම්භ කරන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු ආනන්ද අබේනායකගේ ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යය හරහායි. එහි ප්‍රධාන චරිතයේ රඟපෑම වෙනුවෙන් මම 2012 වසරේදි හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය ලබාගැනීමට තරම් වාසනාවන්ත වුණා.

* ඒ සම්මානයත් සමඟ ඔබට පුංචිතිරයේ ටෙලි නාට්‍ය ගලාගෙන පැමිණියාද?

ඔව්. ඊට පස්සේ මෙගා ටෙලි නාට්‍ය රැසක් ඇතුළුව ටෙලිනාට්‍ය රැසකට ම මා රංගනයෙන් දායකත්වය දැක්වූවා. ඊළඟයි මා චිත්‍රපටවලට පිවිසුණේ.

* එදා පටන් මේ සඵල වෙන්නේ කුඩා කාලයේ ඔබගේ සිතේ තිබුණු සිහිනයක්ද?

මගේ ගම කුරුණාගලයි. මා පාසල් ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමටයි. පාසල් කාලයේ නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට නොකළත් මා නර්තනය හැදෑරුවා. පාසලෙන් සමුගන්නතුරුම මා නර්තනය හැදෑරුවා. ඒ වගේ ම නර්තන කටයුතුවල වගේ ම පාසල් වේදිකාවේදි රඟපෑමේ කටයුතුවලට සහභාගි වුණා.

* ඔබ කිසිම දවසක රංගන ශිල්පිනියක් වීමට සිතුව අයකු නොවෙයි?

මගේ සිතේ තිබුණේ කවදා හරි මම නිවේදිකාවක් වනවා කියන සිහිනයයි. ඒත් මා රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් පසුවයි රංගනයට පිවිසෙන්නේ. ඒ වගේ ම ඒ හරහා මගේ සිහිනයත් සැබෑකර ගන්නට මට වාසනාව ලැබෙනවා. ඒ ස්වර්ණවාහිනිය හරහායි මා නිවේදිකාවක් බවට පත්වන්නේ. වසර දෙකක් පමණ නිවේදිකාවක් විදියට කටයුතු කළත් ටිකෙන් ටික රංගන කටයුතුවල වැඩ වැඩිවුණා. ඒ නිසා අවසානයේ මා රඟපෑම පමණක් තෝරා ගත්තා.

* ටෙලි නාට්‍ය රංගනයෙත්, චිත්‍රපට රංගනයේත් ඔබ දකින වෙනස කුමක්ද?

කියන්න තරම් නම් වෙනසක් මා දුටුවේ නැහැ.

* සිනමාවේදී ප්‍රබල වන්නේ රූපයයි. එහිදි ඔබ අනවශ්‍ය විදියට ඇහිපිල්ලමක් ගැසුවත් බොහොම ආසන්නවයි සිනමා ප්‍රේක්ෂකයා දකින්නේ?

ඒක ඇත්තක්. ඒත් එහෙම කියන්න තරම් වෙනසක් මට දැනෙන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් වුණත්, චිත්‍රපටයක වුණත් මා මට හැකි උපරිමයෙන් ඒ ලැබුණු චරිතය රඟපෑවා.

* චිත්‍රපටයේදි ඔබගේ පියා විදියට රඟපාන්නේ ශ්‍රීමාල් වෙඩිසිංහයි?

මගේ චරිතය රඟපෑමේදී ඔහුගෙන් හොඳ සහයෝගයකි ලැබුණා. ඒ වගේ ම අනෙක් රංගන ශිල්පීන්ගෙන් හා ශිල්පිනියන්ගෙනුත් ඒ සහයෝගය ම මට ලැබුණා. අප සියලුදෙනා ම එකමුතුව වැඩ කළා.

* ඔබත් සමඟ ප්‍රධාන චරිතය රඟපාන රන්ජන් රාමනායකගෙන් ලැබුණු සහයෝගය මොනවගේද?

රන්ජන් අයියා සමඟ කටයුතු කිරීම බොහොම පහසුයි. ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මේ චරිත ගැන අපි කතාබහ කළා. ඒ කතාබහත් සමඟයි රූගත කිරීම් අවසන් වනතුරුම කටයුතු කළේ.

* ‘ඩොක්ටර් නවරියන්’ බිහිවන්නේ බොලිවුඩයේ මීට පෙර අතිශය ජනප්‍රිය හාස්‍ය උත්පාදක චිත්‍රපටයක් වන ‘මුන්නා භායි එම්බී.බී.එස්’ චිත්‍රපටය ඇසුරෙන්. ඒ චිත්‍රපටය ‘ඩොක්ටර් නවරියන්’ රඟපාන්නට පෙර ඔබ නරඹලා තිබුණාද?

අපේ චිත්‍රපටයේ රඟපෑමට පෙර මා ඒ චිත්‍රපටය නැරැඹුවා. ඒත් එහි චරිතයත්, මා රඟපෑ චරිතයේත් යම් යම් වෙනස්කම් තිබෙනවා.

* මේ චිත්‍රපටය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වුණත් වෛද්‍ය වෘත්තියේ තිබිය යුතු විවිධ මානව හැඟීම් පිළිබඳ කතාබහ කිරීමට පෙලඹී තිබෙනවා. ඒ ඔබ දකින්නේ කෙසේද?

වෛද්‍යවරියක් වීමේදී ඒ වෘත්තිය පිළිබඳ ඉහළ දැනුමක් තිබිය යුතුයි. ඒ වගේ ම ඔවුන්ට මානුෂීය විදියට සිතන්නත් පුළුවන් විය යුතුයි. රෝගීන් සිතන පතන විදිය, ඔවුන්ගේ අවශ්‍යතාවන් දැන හඳුනා ගැනීමේ හදවතක් ඔවුන්ට තිබිය යුතුයි.

* සත්‍ය ලෙසම අද වෛද්‍යවරුන් ළඟ ඔබ ඔය කියන සොඳුරු හදවතක් තිබෙනවාද කියන ප්‍රශ්නය අපට පැන නැඟෙනවා?

එහෙම කියන්නම බැහැ. එකිනෙකා විවිධයි.

* ඒත් චිත්‍රපටයේ එන ඩීන් වික්‍රමසිංහ කියන ප්‍රධාන වෛද්‍යවරයා වගේ වෛද්‍යවරුනුත් මේ සමාජයේ නැතිවාම නොවෙයි නේද?

ඕනෑම වෘත්තියක හොඳ අය හා නරක අය කියන දෙපිරිසක් ඉන්නවා. මේ වෘත්තියටත් ඒ කාරණය පොදුයි.

* රන්ජන් අයියාගේ අධ්‍යක්ෂරවයාගේ භූමිකාව ඔබ දුටුවේ කුමන අයුරින්ද?

ඔහු හැමෝම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සමඟම චිත්‍රපටයේ තිරරචනයේ තිබෙන චරිතය ගැන කතා කළා. ඒ තිරරචනයේ තිබෙන චරිතයට සාධාරණයක් කිරීම සම්බන්ධයෙන්. ඒ හරහා ඒ චරිත ගැන නළු නිළියන්ට හොඳ අවබෝධයක් ලැබුණා.

* එකපාරටම දිගින් දිගට පුංචි තිරයේ පෙනෙන්න සිටි ඔබ එකපාරටම පුංචි තිරයෙන් නොපෙනී යනවා. එහෙම වීමට විශේෂ හේතුවක් බලපෑවාද?

එහෙම නැහැ. හැමදාම පුංචි තිරයෙන් මගේ රඟපෑම පෙනෙන්න ගත්තට පස්සේ වෙනසක් නැතිව යනවා. පසුගිය කාලයේ දිගටම පෙනෙන්නට සිටියා. ඊට පස්සේ මීට කලින් රඟපෑවේ නැති වෙනස් විදියේ චරිතයක් කිරීමට ලැබෙනතුරු මා විවේකීව බලාගෙන සිටියා. දැන් මා යළිත් රංගන කටයුතුවලට දායකත්වය දක්වනවා.

* ඔබ සිතූ විදියේ වෙනස් චරිතයක් රඟපෑමට ඔබට මේ වනවිට ලැබිලද තිබෙන්නේ?

තවම එහෙමම මා සිතූ විදියේ චරිතයක් මට ලැබුණේ නැහැ.

* ඔබ බලාපොරොත්තු වන්නේ මොනවගේ චරිතයක් රඟපාන්නද?

ගම්බද පරිසරයක ජීවත්වන, විවිධ හැලහැප්පීම්වලට මුහුණදෙන චරිතයක් රඟපාන්නට මා කැමැතියි. ඒත් ඒ චරිතය එකම විදියට ගලාගෙන නොයා යුතුයි.

* ඔබ මේ වනවිට පදිංචිය කොළොම්පුරවරයේද?

මේ වනවිට මා පදිංචිය සඳහා තෝරාගෙන තිබෙන්නේ කොළඹයි.

* ඔබගේ පවුලේ සිටින අනෙක් අය කවුරුන්ද?

මට ඉන්නේ අක්කලා දෙන්නයි. අයියායි එයා බැන්ඳ අක්කයි බබාලා දෙන්නයි. අම්මායි.

* ඒ කියන්නේ ඔබ පවුලේ බඩපිස්සි?

ඔව්.

* ඔබ පමණද මේ වනවිට විවාහ වීමට සිටින්නේ?

ඔව්.

 

නව අදහස දක්වන්න