තිළිණිට නත්ත­ලට ලොකුම තෑග්ග හම්බවෙලා | දිනමිණ

තිළිණිට නත්ත­ලට ලොකුම තෑග්ග හම්බවෙලා

සීතල දෙසැම්බර් මාසයේ නත්තලට බොහෝ දෙනා සුදානම් වෙනවා. රසඳුන පුවත්පතේ තුන්වැනි පිටුව හැඩකරන තරු අතර සමහර දෙනකුටත් නත්තල සුවිශේෂයි. ඒ නිසාම මේ දිනවල මුතුකුඩ මැණිකේ ලෙසින් ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් දිනා ගෙන ඉන්න තිළිණි පෙරේරා රංගන ශිල්පිනිය නත්තල සමරන්නට සූදානම් වන අතරේ අද අපේ තුන්වැනි පිටුව හැඩ කරන්න එකතු කර ගත්තා.

නත්තලට සුදානම් ද?

ඔව්. කාර්ය බහුලයි ගොඩක්. වෙනදා වගේම මේ පාරත් නත්තලට සුදානම් වෙනවා.

මෙවර නත්තල තිළිණිට සුවිශේෂී ද?

අනිවාර්යෙන්ම. ඒ නවක රංගන ශිල්පිනියක් විදියට මගේ තිබුණු හීන සැබෑ කර ගෙන තියෙන නිසා. ඉතින් සතුටුයි ඒ ගැන. කලින් හැම නත්තලකටම වඩා මේ නත්තල විශේෂයි. ඒ නිසාම මම ගොඩක් සතුටින් ඉන්නේ.

මේ පාර නත්තලට මොනවගේ තෑග්ගක්ද බලාපොරොත්තු වෙන්නේ?

නත්තලට මේ පාර....හ්ම්ම්.... මම හිතන්නේ මම බලාපොරොත්තු වුණු ලොකුම තෑග්ග මට හම්බවුණා. ඒ කියන්නේ මේ නත්තලට ලැබිලා තියෙන්නේ ඒ නත්තල් තෑග්ග. නමුත් ඒක මට ප්‍රසිද්ධියේ කියන්න බැහැ. මගේ ජීවිතේ මම බලාපොරොත්තු වුණු ලොකුම තෑග්ග මේ නත්තලට ලැබුණා.

නත්තලට කලින්ම ලැබුණු තෑග්ග මොනවගේ දෙයක්ද?

ඒක කියන්න බැහැ. ඒක දැන්ම කියන්න බැරි විශේෂ තෑග්ගක්. ලොකු කාලයක ඉඳන් බලාපොරොත්තු වුණු දෙයක්. මගේ ආගමේ හැටියට දෙවියන් වහන්සේගේ ආශීර්වාදයත් එක්ක මට ඒ දේ ලැබුණා කියලා මම විශ්වාස කරනවා.

එදා නත්තල සමරපු විදියයි අද නත්තල සමරන විදියයි අතර වෙනසක් දකිනවද?

ඔව්. ඇත්තටම අද හුඟක් දෙනා නත්තල කියන දේ පාටීස් , ඇඳුම් පැළඳුම් , විලාසිතා වලින් තමයි සමරන්නේ. තවත් සමහරු මත්වතුර, මත්ද්‍රව්‍ය කියන දේවල් වලින් නත්තල කියලා සමරන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් ඒ විදියට නෙමෙයි වෙන්න ඕන. නත්තල කියන්නේ වෙනම දෙයක්. නත්තල විදියට සමරන්නේ ජේසුස් වහන්සේගේ උපතයි . ඉතින් මම හිතනවා නත්තල අධ්‍යාත්මිකව සමරන්න ඕන දෙයක්. ගොඩක් අය ඒක ලෞකික විදියට සමරනවා.

ඔබ දකින විදියට සැබෑ නත්තල කියන්නේ ?

අපි හැමෝමත් එක්කම සමගියෙන් ඉන්න ඕන. තරහ වෙලා ඉන්න අයත් එක්ක බොරුවට නත්තලට කතා කරලා නත්තල සමහරු සමරනවා.ඒක නෙමෙයි ඇත්තටම නත්තල සමරනවා කියන්නේ. කහටක් නැතිව හිත හොඳින් හැමෝමත් එක්කම නත්තල බෙදා ගන්න ඒක. විශේෂයෙන් නැති බැරි අය, දුප්පත් අය සමඟ නත්තල බෙදා ගන්නවා නම් ගොඩක් හොඳයි . ඇති අය වියදම් කරමින් සතුටු වෙනවට වඩා නැති අය සමඟ බෙදාගෙන ඒ අය එක්ක සාමයෙන් සමගියෙන් ජේසුස් වහන්සේගේ උපත සමරනවා නම් තමයි සැබෑ නත්තල විදියට මම දකින්නේ. නත්තල, නත්තල දවසට විතරක් සිමා විය යුතු නැහැ. මනුස්සකම කියන දේ අපේ හිත්වල තියාගන්න ඕන. නැති බැරි අයට උදවු කරන්න ඕන. ඒ වගේ මානුෂිය හැඟීම් තියෙන්න ඕන. මම හිතනවා අපි හැමදාමත් අපේ හිතවල එවැනි හැගීම් එක්ක ජිවත් වෙනවා, නම් අන්න ඒකටයි සැබෑ නත්තල කියන්නේ.

රංගන කටයුතු පැත්තෙන් මුතුකුඩ සහ පාලි යන ටෙලි නාට්‍ය හරහා දකින්න ලැබෙනවා.

ඔව්. මුතුකුඩ මැණිකේට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ දේ දක්ෂතාව, රූපය, හැකියාව, කැපවීම කියන හැමදෙයකම එකතුවක් විදියට ලැබුණු දෙයක්. ඒ වගේම අලුතින් විකාශය වෙන්න පටන් ගත්ත 'පාලි' ටෙලි නාට්‍යටත් එහෙමයි. ලැබෙන නිර්මාණයන්ට උපරිම සාධාරණයක් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.

2018 අවුරුද්දේ දී ඉටු කරගන්න ඉන්න හීන මොනවද?

හීන ගොඩක් තියෙනවා. මම හිතනවා ගොඩක් කාර්ය බහුල අවුරුද්දක් වෙයි 2018 අලුත් අවුරුද්ද. කොළඹ පදිංචියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ලොකුම බලාපොරොත්තුව තමා මනුස්සකම් දන්න හොඳ කෙනෙක් විදියට හොඳින් ජීවත් වෙන එක. ඒක මගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙන්න ඕන.

(නිලු­පුලි සඳ­කැ­ලුම් | ඡායා­රූප - රොෂාන්ත කිරි­ව­ත්තු­ඩුව)

නව අදහස දක්වන්න