ජෙරුසලමට කඹ ඇදීම | දිනමිණ

ජෙරුසලමට කඹ ඇදීම

ධම්මික සෙනෙවිරත්න

ජෙරුසෙලම යනු මැදපෙරදිග ප්‍රශ්නයේ හදවත බඳුය. තවමත් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ලක්ව නැති පලස්තීනය සිය රාජ්‍යයේ නිල නොලත් අගනුවර ලෙස සලකන්නේ නැ‍ඟෙනහිර ජෙරුසෙලමය. 1967 අරාබි - ඊශ්‍රායල් යුද්ධයේ දී ඊට පෙර ජෝර්දානය විසින් අල්ලාගෙන සිටි නැ‍ඟෙනහිර ජෙරුසෙලම තම ග්‍රහණයට ගැනීමට ඊශ්‍රායලය ක්‍රියා කළේය. එවක් පටන් ඊශ්‍රායලයේ අප්‍රකාශිත අගනුවර ලෙස ඔවුන් සලකන්නේද ජෙරුසලමය.

ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් ජෙරුසලම පිළිගන්නා බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය දෙබරයට ගල් ගැසීමක් බඳුවිය. පලස්තීනය සහ අරාබි රටවල් ඊට එරෙහිව නැඟීසිටි අතර විරෝධතා ව්‍යාපාරද දියත්විණි. ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර වශයෙන් පිළිගන්නා බවට තුර්කිය ප්‍රකාශයක් කළේය. අමෙරිකාවේ තීරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට ඉදිරිපත්වූ යෝජනාවකට අනුව ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමක් ද පැවැත්විණි. එහි දී අමෙරිකාවේ මිතුරන් වන බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ජපානය සහ යුක්රේනය ද ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කළේ අමෙරිකාවේ තීරණයට එරෙහිවය. එම ඡන්ද විමසීමේ දී අමෙරිකාව තනිවීම වි‍ෙශ්ෂයකි. මෙහි දී අමෙරිකාව සිය නිශේධ බලය යෙදවීය.

ඡන්ද විමසීමට පෙර එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපතිනී නිකී හැලී අනතුරු ඇඟවීමක ස්වරූපයෙන් කියා තිබුණේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන රටවල් පිළිබඳ අමෙරිකාව සටහන් කරගන්නා බවය.

අමෙරිකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශකරන රටවල් ගැන විස්තර තමන්ට සැපයීමට සිදුවන බව ද කියා සිටි ඇය මේ ඡන්දය පිළිබඳ ජනාධිපතිවරයා පෞද්ගලිකවම උනන්දුවන බව ද සඳහන් කර තිබිණි. අමෙරිකාවේ තීරණයට රටවල් නතුකරගැනීමට ඔවුන් විශාල ප්‍රයත්නයක් දරන ලද බව පැහැදිලි විය.

අමෙරිකාවේ තැන

එක්සත් ජාතීන්ගේ පලස්තීන තානාපති රියාද් මන්සූර් කියා තිබුණේ, ජෙරුසලම පිළිබඳ ප්‍රශ්නය පලස්තීනය හා ඊශ්‍රායලය සාකච්ඡාවෙන්ම විසඳාගත යුතු බවය. නිශේධ බලය පාවිච්චි කරමින් යෝජනා සම්මතයක් වැළැක්වීමට අමෙරිකාව ක්‍රියාකරනු ඇතත්, ඇමෙරිකාවේ ඒකපාර්ශ්වික තීරණය ප්‍රතික්ෂේප කිරීමට ලෝක ප්‍රජාව කටයුතු කළයුතු බව ඔහු අවධාරණය කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සිය තීන්දුව ප්‍රතික්ෂේප වීමත් සමඟ මේ සතියට යෙදී තිබූ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මැදපෙරදිග සංචාරය කල්දැමීමට සිදුවන බව ධවල මන්දිරය ප්‍රකාශයට පත්කර ඇත.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළිගැනීමත් සමඟ ටෙල්අවිව්නුවර පිහිටා තිබූ සිය තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙනඑන බව ද අමෙරිකාව ප්‍රකාශ කර තිබේ. එය ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමකි. එසේවුවද එය මැදපෙරදිග සාම ක්‍රියාදාමයට දැඩි ලෙස බලපාන පියවරක් බව විශ්ලේෂකයන්ගේ අදහසය. පලස්තීනුවන්ගේ අභිලාෂයන් යටකර දැමීමට ඊශ්‍රායලයට ඉඩහැරීමෙන් මේ ප්‍රශ්නයට විසැඳුමක් සපයාගත නොහැකි බැවිනි.

මේ පිළිබඳ එ. ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට විශේෂ හදිසි සැසියට ඉදිරිපත්ව යෝජනාවේ දී අමෙරිකාව නම් කිරීමක් සිදුනොවීය. එසේ වුවද ජෙරුසෙලම සම්බන්ධයෙන් ගෙන ඇති කවර තීරණයක් වුවද අහෝසි කළ යුතු බව එම යෝජනාවේ දැක්විණි. ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 14 දෙනකුම ඡන්දය ප්‍රකාශකළේ එම යෝජනාවට පක්ෂවය. එරෙහිවූයේ අමෙරිකාව පමණි.

ජෙරුසෙලම යනු මැදපෙරදිග ප්‍රශ්නයේ හදවත බඳුය. තවමත් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ලක්ව නැති පලස්තීනය සිය රාජ්‍යයේ නිල නොලත් අගනුවර ලෙස සලකන්නේ නැ‍ඟෙනහිර ජෙරුසෙලමය. 1967 අරාබි - ඊශ්‍රායල් යුද්ධයේ දී ඊට පෙර ජෝර්දානය විසින් අල්ලාගෙන සිටි නැ‍ඟෙනහිර ජෙරුසෙලම තම ග්‍රහණයට ගැනීමට ඊශ්‍රායලය ක්‍රියා කළේය. එවක් පටන් ඊශ්‍රායලයේ අප්‍රකාශිත අගනුවර ලෙස ඔවුන් සලකන්නේද ජෙරුසලමය. ඊශ්‍රායලයේ මතය අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්වී නැත. ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් සිය තානාපති කාර්යාල ද ස්ථාපිත කර ඇත්තේ ද ටෙල්අවිව්නුවරය.

ඊශ්‍රායල් සහ බටහිර ඉවුර අතර දේශ සීමාවේ පිහිටි ජෙරුසලම යුදෙව්වන්ට මෙන්ම මුස්ලිම්වරුන්ට ද ආගමික වශයෙන් වැදගත්කමක් ඇති නගරයකි. මැදපෙරදිග සාම ක්‍රියාවලියේ මැදිහත්කරුවකු වශයෙන්ද පෙනීසිටින අමෙරිකාව ඊශ්‍රායල් හිතවාදීව දිගටම ක්‍රියාකළ ද ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළිගැනීමට තරම් දුරගියේ නැත. ජනාධිපති ට්‍රම්ප් එම දිගුකාලීන ස්ථාවරය බිඳදැමීමට ක්‍රියා කර තිබේ. මේ සමඟ අමෙරිකාවට තවදුරටත් මැදහත් සාමකාරකයකු ලෙස ක්‍රියා කිරීමට හැකියාවක් තිබේද යන ගැටලුව ද පැනනගී. අමෙරිකාවට එවැනි සුදුසුකමක් දැන් නොමැති බව පලස්තීනය ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශකර ඇත්තේ අමෙරිකාවට සිය තානාපති කාර්යාලය ස්ථාපිත කළයුත්තේ කෙසේදැයි අන් රටවල් උපදෙස් දියයුතු නැති බවය. එලෙස පැවසීමෙන් ඇය සාධාරනීකරණය කරන්නේ අමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන ඒමට ගෙන ඇති තීරණයයි. අමෙරිකාව සිය තීරණය වෙනුවෙන් නිශේධ බලය යෙදවූයේ ද එරට ස්වෛරීභාවය සහ මැදපෙරදිග සාම ක්‍රියාදාමයේ දී තම රටට ඇති භූමිකාව සැලකිල්ලට ගනිමින් බව ඇය පවසා තිබිණි. අමෙරිකාව නිශේධ බලය යෙදවීමත් සමඟ පලස්තීන ජනාධිපති අබ්බාස් කියා තිබුණේ එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා පෙරට යන බවයි. ඒ සඳහා මහා මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නම් පළමුව ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 9ක එකඟතාව අවශ්‍යවේ. එමෙන්ම නිශේධ බලය යෙදවීමෙන් ද අදාළ රටවල් වැළැකීසිටිය යුතුය. අවශ්‍ය කරන රටවල් සංඛ්‍යාව මීට පෙර ද සපුරාගැනීමට පලස්තීනයට හැකිවිය. එහෙත් ගැටලුවකට ඇත්තේ පලස්තීනයට පක්ෂපාතී යෝජනාවලට අමෙරිකාව නිශේධ බලය යෙදවීමය.

ලෝක නායක මතය

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව ලේඛකයන්, රංගශිල්පීන් සහ සංගීත‍ඥයන් එක්ව ලිපියක් ද ඉදිරිපත්කර ඇත. පැරීසියේ දී ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු හමුවූ අවස්ථාවේ දී ප්‍රංශ ජනාධිපති එමෑනුවල් මැක්‍රින් ද ට්‍රම්ප්ගේ තීරණය සාමයට තර්ජනයක් බව ප්‍රකාශ කර තිබිණි. කලාකරුවන් ඉදිරිපත්කර තිබූ ලිපියෙන් ඔවුන් පෙන්වාදී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සපුරාදෙනු ලබන්නේ වසර 50කට වැඩි කාලයක් තිස්සේ අවිබලය යොදවා වුවද ඊශ්‍රායලයට තවමත් සපුරාගත නොහැකිවී ඇති ඉල්ලීමක් බවය.

1947 දී එක්සත් ජාතීන්ගේ යෝජනා සම්මතය අනුව පලස්තීනය යුදෙව් සහ අරාබි වශයෙන් දෙකොටසකට බෙදා වෙන්කිරීමේ දී ද ජෙරුසලමට ප්‍රදානය කෙරුණේ ‍විශේෂ තත්ත්වයයි. එම ප්‍රදේශයේ ඇති ආගමික වැදගත්කම ඊට බලපෑ ප්‍රධාන සාධකය විය. 1948 යුද්ධයේ දී ජෙරුසලමේ බටහිර පෙදෙස සයොන්වාදී හමුදා භටපිරිස් විසින් ග්‍රහණයට ගන්නා ලද අතර තම භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 1967 යුද්ධයේ දී ජෙරුසලමේ නැ‍ඟෙනහිර පෙදෙස ඊශ්‍රායල් හමුදා විසින් අත්කරගන්නා ලදී. ඒ වනවිට ජෝර්දානය යටතේ ඇති එහි පාලනය ඊශ්‍රායල් නීතියට යටත් බව ප්‍රකාශ විය. 1980 දී ඊශ්‍රායලය “ජෙරුසලම නීතිය” පණවමින් කියාසිටියේ, එය ඊශ්‍රායලයේ අගනුවර බවය. එවක්පටන් දශක 4ක් පමණ ගෙවීගියද අමෙරිකාව පවා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළිගෙන තිබුණේ නැත.

1980 දී සම්මත කළ එක්සත් ජාතීන්ගේ අංක 478 දරන යෝජනාව මඟින් ඊශ්‍රායලය නැ‍ඟෙනහිර ජෙරුසලම නීතිවිරෝධීව අත්කරගෙන සිටීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව පිළිගත්තේය. නැ‍ඟෙනහිර ජෙරුසලම යටත්කොටගෙන සිටියද එහි ජීවත්වූ පලස්තීනුවන්ට ඊශ්‍රායල් පුරවැසිභාවය ප්‍රදානය නොකෙරිණි.

පලස්තීනුවන්ගේ තත්ත්වය

අද වනවිට නැ‍ඟෙනහිර ජෙරුසලමේ ජීවත්වන පලස්තීනුවන් 420, 000 කට නිත්‍ය පදිංචිකරුවන් සඳහා වන හැඳුනුම්පතක් නිකුත්කර තිබේ. ඔවුන්ට තාවකාලික ජෝර්දාන ගුවන්ගමන් බලපත්‍ර ද ලබා දී ඇත. ඒවායේ ජාතික හඳුනාගැනීමේ අංකය සටහන්ව නොමැත. ඉන් අදහස් කෙරෙන්නේ ජෝර්දාන පුරවැසියන් නොවන බවයි. ජෝර්දානයේ රැකියා කිරීමට නම් ඊට බලපත්‍රයක් තිබිය යුතු අතර, රජය මඟින් ලබාදෙන වරප්‍රසාද සහ සේවාවන්ට ඔවුන් හිමිකම් නොකියයි. ඔවුන් සැලකෙන්නේ රටක් නැති වැසියන් වශයෙනි.

නැ‍ඟෙනහිර ජෙරුසලමේ උපත ලැබූවන්ට පවා ඊශ්‍රායලය සලකන්නේ එලෙසය. එහි පදිංචිකරුවන් ලෙස සහතිකය ලබාගැනීමට නම් ඔවුන් අවශ්‍යතා කිහිපයක්ම සපුරාලිය යුතුය. එම සුදුසුකම් අහෝසිකරනු ඇතිදැයි බියෙන් නිරන්තරයෙන් ජීවත්වීමට ඔවුන්ට සිදුවී ඇත. එහිම උපත ලැබුව ද දිගටම එහි ජීවත්වන්නේ නම් ඔප්පු, වැටුප් විස්තර ආදී ලේඛන ගණනාවක් වරින්වර ඔවුන් ඉදිරිපත් කළයුතුය. වෙනත් රටක පුරවැසි බව ලබාගැනීමෙන් එහි පදිංචිවීමට ඇති අයිතියද ඔවුන්ට ඇහිරේ. එසේ වුවද ලොව ඕනෑම තැනක වෙසෙන යුදෙව්වකුට ඊශ්‍රායලයේ ජීවත්වීමට අයිතිය ‍තිබේ. ඔවුනට ඊශ්‍රායල පුරවැසිභාවය ලබාගැනීමට ද අවශ්‍යනම් හැකියාව තිබේ. 1967 සිට මේ දක්වා පලස්තීනුවන් 14000 කට පදිංචිය සඳහා ඇති අයිතිය අහිමිකර ඇති බව ද වාර්තාවල දැක්වේ.

අර්බුදයේ අනාගතය

නැ‍ඟෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල් ජනාවාස අන්තර්ජාතික නීතියට පටහැනි බවට නියෝග නිකුත්වී ඇත. එම ඉදිකිරීම් අත්හිටුවිය යුතු බවට පවා නියෝග නිකුත් කෙරිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා ගණනාවකදීම එම ජනාවාස 4 වැනි ජිනීවා සම්මුතියට පටහැනි බව ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් ඒවා පුළුල් වූවා මිස පාලනය වීමක් සිදුනොවීය.

ජෙරුසලම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය මැදපෙරදිග ප්‍රශ්නය තවදුරටත් සංකීර්ණ කිරීමට හේතුවනු ඇති බව පැහැදිලිය. විසැඳුම් මගකට යොමුවීම වෙනුවට අර්බුදයේ තව තවත් ගිලීමෙන් කිසිදු පාර්ශ්වයකට කල්පවත්නා සැනසීමක් උදාකරගත හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.

නව අදහස දක්වන්න