කොළඹ අහසින් සිරිය මැවූ නත්තලේ අසිරි නත්තලට පෙර ගමන් ගිය රේඩියෝ දිනමිණ | දිනමිණ

කොළඹ අහසින් සිරිය මැවූ නත්තලේ අසිරි නත්තලට පෙර ගමන් ගිය රේඩියෝ දිනමිණ

 

උදාවුණ නත්තල සමරන්නට මේ වන විට මුළු මහත් ‍ලෝකයම එකට එකතු වී එහි අසිරිය විඳින්නට ප්‍රිය කරන බව සැබෑය. නත්තල සමරන්නේ ජේසු බිළිඳාගේ උපන්දිනය සමරන උතුම් දිනය සිහි කරන්නටය. ලොව පුරා කිතුනු බැතිමතුන් දහස් ගණනක් ඒ කිතු උපත සමරන මේ මොහොතේ පුවත්පත් මහගෙදර ‘රේඩියෝ දිනමිණ’ මෙවර ඒ අසිරිමත් දිනය සමරා කිතුනු සතියක් නම් කෙරුණේ ලේක්හවුස් ආයතනයේ ප්‍රධානව සිදු කරන නත්තල් මංගල්‍යයට සූදානම් වන අතරතුරදීය. නත්තලේ සැබෑ අරුත ලොවට කියාපාන්නට පසුගිය 18දා සිට 21 දා දක්වා පුරා දින 4ක් රේඩියෝ දිනමිණ ඔස්සේ නත්තල් සුබ පණිවිඩ එක් කළේ මෙසේය. 

ඇක්වයිනාස් ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන පීඨයේ අධ්‍යක්ෂ
ඇල්දෙණිය මීසමේ මීසම් පාලක බෙනඩික් ජෝශප් පියතුමා

නත්තල යනු ජේසු සමිඳුන්ගේ උපතයි. එය ඉතාමත් ප්‍රීතිබර කාල සීමාවක්. මෙය තවත් එක් උපතක් නොව ඉන් එහා ගිය යථාර්ථවාදී සත්‍යතාවයක්. ශුද්ධ බයිබලයේ ඇති සෑම කරුණක්ම අපේ ජීවිතය හා බද්ධව පවතී.

දෙවියන් වහන්සේ වනාහී දුරින් අප දෙස නෙත් යොමා සිටින අපේම වරදට දඬුවම් දෙන්නෙකු නොව ඒ වෙනුවට ආදරය, දයාව, කරුණාව මුසුකොට අපව ඇත්ත ඇති සැටියෙන්ම හඳුනාගත් උන්කෘෂ්ඨ චරිතයයි. අපි අදහස් ආගම ගැඹුරින් අපේ ජීවිතයට කිඳා බැස තිබෙනවා දැයි නැවතත් සිතිය යුතුයි. නත්තලේ අර්ථය යථාර්ථයක් වීම සඳහා මේ සියලු කරුණු අප විසින්ම සිතීම මේ නත්තලෙන් සිදු කරගත යුතුයි.


වාද්දුව ශුද්ධාත්ම දේවස්ථානයේ මීසම් පාලනාධිපති
ගයාන් ප්‍රසන්න පියතුමා

නත්තල ආදරයේ මංගල්‍යයි. දෙවියන් වහන්සේට වුවමනා වූයේ මනුෂ්‍යන්ට ආදරය කරන්නයි. ලෝකය ආරම්භයේ උන්වහන්සේ මනුෂ්‍යාට අවශ්‍ය සෑම දෙයක්ම දින 5ක් තිස්සේ මැව්වා. හයවන දිනයේ දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මේ ලෝකයට මැව්වා.උන්වහන්සේගේ බලාපොරොත්තුව වුණේ මනුෂ්‍යාව බොහෝ සැපවත්ව ජීවත් කරවන්නටයි. මනුෂ්‍යයන්ට හැකිනම් දෙවියන් වහන්සේ සමඟ නිකලැල්ව සම්බන්ධතාවක් පවත්වන්නට මනුෂ්‍ය ලෝකය තුළ දේව රාජ්‍යයක් ගොඩ නැගිය හැකියි. නත්තල තුළ අර්ථවත් වන්නේ බෙදා හදා ගැනීම, ආදරය හා බැඳීමයි. ජේසු ස්වාමි දරුවන්ගේ පැමිණීම තුළ අපේ හදවත් විවෘත කර නත්තලේ සැබෑ අරුත විඳගන්නට, ආදරය සහ සාමය තුළ ඒකාත්මික වන්නට අපට හැකියාව ලැබෙනවා.


ඥානාර්ථ ප්‍රදීපය ප්‍රධාන කතෘ කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ ආචාර්ය
කැම්ලස් ප්‍රනාන්දු පියතුමා

නත්තලේ විශේෂත්වය වන්නේ පාපයෙන් වරදින් මිනිසුන් මුදවා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ තම පුත්‍රයාණෝ ලෝකයට එවීමයි.

ගැලවුම් දායක දෙවියන්ගේ වචනය මේ ලෝකයට එන්නේ ක්‍රිස්තුස්වන්සේ තුලිනි. මෙතන උපදින්නේ දරුවෙක්! දරුවා තුළින් දකින්නේ දෙවියන්! එයින් පැවසෙන්නේ මනුෂ්‍ය ජීවිතයට ආදරය කිරීමයි. ආගම කියන්නේ ආදරයයි. හිතවත්කමයි. ඒ සියලු දේ තමයි නත්තලෙන් අපට උගන්වන ප්‍රධාන පාඩම. ආදරය නැති තැනට ආදරය දෙන්න ඕන. දරුවන්ට ආදරය කරන්න. ඔවුන් තමා අනාගත ලෝකය. ජීවිතවලට, මනුෂ්‍යත්වයට යහපත්කමට හොඳ දේට ආදරය කරන්න. මේ සියල්ලම එකතුවන පරිසරයට ද අප ඇළුම් කළ යුතුයි.


රදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ
එඩ්මන් තිලකරත්න පියතුමා

ලෝකයේ වෙසෙන සියලු කිතුනු ජනයා නත්තල සමරන මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් වූ ජේසු ස්වාමි දරුවන් මේ මිහිතලය මත සාමයේ පණිවිඩය හා එහි අසිරිය ලොවටම කියා පෑවා. දෙවියන් වහන්සේගේ වචනයට සවන්දීම තුළ උන්වහන්සේ දෙසූ දහම අනුගමනය කිරීම තුළ අපගේ සිත් සතන් හී උන්වහන්සේ ජීවමාන වන්නේ පුදුම සහගත ලෙසිනි. නත්තල් ගස්, නත්තලේ සැරසිලි, වාණිජ රැල්ලට හසුවූ නත්තල වෙනුවට දෙවියන් වහන්සේ දෙසූ දහම ජීවිතයට බද්ධ කරගැනීම හරහා නත්තලේ සැබෑ අරුත පසක් කරගැනීමට පුළුවන්.

 

නව අදහස දක්වන්න