අභාග්‍යයක් වූ විභාගය | දිනමිණ

අභාග්‍යයක් වූ විභාගය

 කෙනකුගේ මුළු අනාගතයම විභාග ප්‍රතිඵල මත තීරණය කිරීම නිවැරදි ද? විභාගය කෙනකුගේ දැනුම කුසලතා හා විභවය මැනිමේ හොඳ මිම්මක් ද?

මේ ප්‍රශ්න විමසන්නට පවා අපට වෙලාවක් නැත. ඒ අප එක් විභාගයකින් තව විභාගයකට ගමන් කරමින් සිටින නිසා ය. අපේ විභාග අවසන් වූ පසු දරුවන්ගේ විභාග ද එකක් හැර එකක් බැගින් අපව ද බැඳ තබමින් පෝලිමට එන නිසා ය.

එතෙකුදු වුව ද අපේ ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දමන්නේ මේ වෙනුවෙන් නිසා ද එය ඉදිරි ජීවිත කාලයටම තීරණාත්මක ලෙස බලපාන නිසා ද අපේ අවධානය යොමු විය යුතු කාරණයකි. ඒ සඳහා කැප කරන කාලය වටින්නේ එහෙයිනි. මේ උත්සාහය ඒ සඳහා ය.

කීපයක් අතරින් එකක් තෝරා ගන්නට සිදු වූ විට මනින්නට සිදු වේ. ගන්නා එම මිනුම්වලට අනුව වඩා ඉදිරියෙන් ඉන්නා එක තෝරා ගැනීමට ඒ මගින් හැකි වේ. විභාගයක දී සිදු කරන්නේ අන්න ඒ කටයුත්ත ය. ඒ උත්තරය සාධාරණ වුව ද ප්‍රශ්න ගණනාවක් ඉන් ඉතිරි වේ.

පළමුවැන්න,තෝරාගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක හැම දෙයක්ම මැනිය හැකි ද යන්න ය.උදාහරණයක් ගතහොත් සහකරුවෙක් තෝරා ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ ඔහු හෝ ඇය කොතරම් සෙනෙහෙවන්ත ද යන්න ය. මෙය සොයා ගැනීමට සමත් මිනුම් දණ්ඩක් තවම සාදා නැත.ඒ නිසා බොහෝ දෙනෙකු කරන්නේ මනින්නට පුළුවන් මිනුම් දඬු යොදා මැන ඒ මත තීරණයකට පැමිණීම ය.උදාහරණයක් ලෙස සහකරුවකුගේ උස මැනිය හැකි ය.වයස මැනිය හැකි ය.ඔහුට ඇයට ලැබෙන වේතනය, බූදලය හෝ දෑවැද්ද මැනිය හැකි ය. සමත් වූ විභාගය මැනිය හැකි ය. කළ හැක්කේ එසේ මැනිය හැකි දේ මත පදනම්ව මඟුල තීන්දු කිරීම ය.කෙනකුගේ සෙනෙහෙවන්තභාවය ගැන නිගමනයකට පැමිණිය නොහැකි යැයි එයින් අදහස් නොවේ. එහෙත් එය ප්‍රමාණාත්මකව ප්‍රකාශයට පත් කළ නොහැකි ය. එයට ලකුණු දිය නොහැකි ය. මිනුම් දණ්ඩක වැදගත්කම එය භාවිතා කර ලකුණු දීමේ හැකියාව ය. ලබා ගත් ලකුණු අනුව අනුපිළිවෙළක් සෑදීමේ හැකියාව ය. මේ හේතුව නිසා සිදු වන්නේ පහසුවෙන් මැනිය නොහැකි එහෙත් තීරණාත්මක ලක්ෂණ නොමැන ඉතිරි ඒවා මත තීරණය කිරීම ය. එහි විපාක පසුව විඳීමට ය.

වාසනාව අවාසනාව

දෙවැනුව, අප භාවිතා කරන මිණුම් දඩු හා කෝදු නිවැරදි ද යන්න ය. ශරීරයේ උෂ්ණත්වය සොයන්නට අප කරන්නේ උෂ්ණත්වමානයක් භාවිතා කිරීම ය. අප භාවිතා කරන උෂ්ණත්ව මානය නිවැරදි යැයි අපි විශ්වාස කරමු.එය එසේ නොවන්නට ඉඩක් නොතිබේ ද? උෂ්ණත්වය මානය සරල උපකරණයකි.එහෙත් විභාග ප්‍රශ්න පත්තරයක් එතරම් සරල නැත.එවැන්නක් තුළ වැරදි තිබීමේ ඉඩ බැහැර කළ නොහැකි ය. ඇතැම් ප්‍රශ්න ම වැරදි ය. සමහර ඒවාට තේරුම් කීපයක් තිබිය හැකි ය. සමහර ඒවාට 'නිවැරදි පිළිතුරු දිය හැක්කේ වැඩිමනත් නොහිතන සිසුන්ට පමණක් විය හැකි ය.

තෙවනුව, වාසනාව මෙහි දී ලොකු කාර්යභාරයක් කරයි. තමන් වැඩියෙන් පාඩම් කළ විෂයයට අදාළව ප්‍රශ්න එක් සිසුවෙකුටත් තමන්ට බලා කියා ගන්නට අතපසු වූ විෂයයට අදාළ ප්‍රශ්න තව කෙනෙකුටත් ලැබිය හැකි ය. කලින් උත්තර දී ඇති ප්‍රශ්නයක් ම ලැබුණු කෙනකු නම් ඔහු හෝ අැය අතිශයින් වාසනාවන්ත ය. වෙනත් විදිහකට කියනවා නම් ගැළපෙන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍රයක් ලැබුණොත් ඒ වාසනාව ය. අවාසනාව නම් අප විභාගයෙන් මනින්නට බලාපොරොත්තු වූයේ වාසනාව නොවීම ය.

සිව්වෙනුව, මේ විභාගය පවත්වන්නේ යම් කාල පරාසයක ය. ඒ කාලයේ දී සිදු වූ සිද්ධියක් නිසා භාජනය වුණු රෝගයක් නිසා කෙනකුට විභාගය සඳහා මැනවින් ලියා ගන්නට නොහැකි වන්නට ඉඩ තිබේ.

පස්වෙනුව, සමහර විෂයයන්ගේ ස්වභාවයම අනුව එක් ප්‍රශ්නයකට උත්තර ගණනාවක් තිබිය හැකි ය. ආදර්ශ උත්තර පත්තරයේ නැති උත්තරයකට ලකුණු ලැබෙන්නේ නැත. සමහර විෂයයන් අතිශයින් සංවාදශීලි ය. උත්තර පත්තර පරීක්ෂකයා දරණ මතය උත්තරය තුළ නැත්නම් එවැනි විටක විභාග අපේක්ෂකයා අමාරුවේ ය.

කොපි කිරීම

සය වෙනුව, ජීවිතයේ එකම ඉලක්කය විභාගය කරගත් සිසුන් සමග එය එසේ නොසලකන සිසුන් ද ඉදිරිපත් වන කල දෙවැනි කුලකයේ දක්ෂ සිසුන්ගේ ප්‍රතිඵල විභාගය තුළ ප්‍රකට නොවන නිසා ය.

සත් වෙනුව, ඇතැම් විභාග ශාලා තුළ සුපරීක්ෂණය අවම ය. කොපි කිරීමේ ඉඩ වැඩි ය. එහෙම තැනක දක්ෂ ළමයකුගෙන් කොපි කර ලිවීමේ වරම ලැබුණොත් විභාග අපේක්ෂකයා ගොඩ ය. එහෙත් ඒ වාසනාව තව කෙනකුගේ අවාසනාව ය.

අට වෙනුව, උත්තර පත්‍රයක කොළයක් පත්‍ර ඇසුරුම් කිරීමේ දී හෝ ඉවතට ගැනීමේ දී ඉවත්ව යා හැකි ය.

නව වෙනුව, ලකුණු දැමීමේ දී ලකුණු එකතු කිරීමේ දී අඩුපාඩු සිදු විය හැකි ය. කොළ සියල්ල තිබුණ ද ලකුණු ගිලි හී ඉවත් ව යා හැකි නිසා ය.

දස වෙනුව,විභාගයකින් මැනෙන්නේ සීමිත විෂයයන් ගණනක දැනුම ය. කෙනකුගේ හැකියාව හා විභවය එවැනි සීමිත පරීක්ෂණයකින් මැනීම ම කොතරම් සාධාරණ වන්නේ ද?

එකොළොස් වෙනුව, බොහෝ විභාගවලින් මැනෙන්නේ වන පොත් කිරීමේ හැකියාව ය. කට පාඩම් කළ දෙය මතක තබා ගෙන නැවත කීමේ හැකියාව ය.බොහෝ දෙනා මතක තබා ගැනීම බුද්ධිය ලෙස සලකන බවක් පෙනේ. වත්මන් යුගයේ හැම දැනුමක්ම මතකයේ තබා ගැනීම අවශ්‍ය නොවේ. එය ශිෂ්ටාචාරයේ මුල් අවදියේ වූ අවශ්‍යතාවයකි. මුද්‍රණ ශිල්පය සමග එම අවශ්‍යතාවය අඩු වී ගිය අතර මේ වනවිට ක්ෂණයකින් පිවිසිය හැකි අන්තර්ජාලය නිසා එය අවම වී තිබේ.

විභාග වෙනස්කම්

දොළොස් වෙනුව, එක විෂයයකට ඉහළ ලකුණු ගන්නා යමෙක් තව විෂයයක පහළ ලකුණු ගන්නේ ය. එයින් අදහස් වන්නේ කුමක් ද යන්න ගැන නිගමනයකට බැසීමට ලකුණු විමසීම ප්‍රමාණවත් නැත. ඒ විවිධ විභාගවල බර තැබෙන්නේ විවිධ කාරණාවලට බැවිනි. සමහර විභාගවල මතක තබා ගැනීමේ ශක්තියට ය. සමහර විභාගවල තර්කයේ බුහුටි බව මැනීමට ය. තවත් විභාගවල සංශ්ලේෂණ හැකියාව මැනීමට ය. තවත් විභාගවල විශ්ලේෂණ හැකියාව මැනිමට ය. එකම විභාගය තුළ පවා විවිධ විෂයයන් සම්බන්ධයෙන් මේ වෙනස්කම් ප්‍රබල ය. ඊටත් අමතරව එකම විභාගයක එකම විෂයය සඳහා වුව ද විවිධ වසරවල බර තැබෙන ආකාරය වෙනස් විය හැකි ය.

මේ සියලු කාරණාවලින් පෙනෙන්නේ විභාගය දෙපැත්ත කැපෙන මිනුමක් විය හැකි බව ය. දක්ෂ සිසුවන් පසු පසට ගොස් අදක්ෂ සිසුන් ඉදිරියට ඒමේ ශාක්‍යතාවයක් ද ඒ තුළ තිබිය හැකි බව ය. එක් අංශයක දක්ෂ සිසුවන් පසුපසට ගොස් තවත් පැත්තකින් දක්ෂ සිසුවන් ඒ තුළින් ඉදිරියට ඒමට ද පුළුවන. එය අතිශය නිවැරදි අගැයීමක් ලෙස ගෙන කෙනකුගේ සමස්ත ජීවිතයම ඒ මත තීරණය කිරීම ඒ නිසා ම නොකට යුතු බව ය.

එය වඩාත් ප්‍රකට වන්නේ ජීවිතය ජය ගන්නේ විභාගය ජය ගත් සිසුන්ම නොවන නිසා ය. ලොවට නව දේ දයාද කිරීම විභාග සමත් වීම සමග කෙලින්ම බැඳී නැති නිසා ය. ඒ නිසා ම විභාගය මුළුමනින්ම කෙනකුගේ හැකියාව හෝ නො හැකියාව ප්‍රකට නොකරන බව අප තේරුම් ගත යුතු ය.

එහෙත් අවාසනාවකට සමාජ මතය ඊට වෙනස් ය. බොහෝ දෙනකු විභාග ප්‍රතිඵල දකින්නේ කෙනකුගේ බුද්ධි මට්ටම තීරණය කරන අතිශය නිවැරදි මිම්මක් ලෙස ය. ඒ නිසා අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා ද රැකියා ඉඩ ප්‍රස්ථා ද ලැබෙන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ නැතිනම් අධ්‍යාපන ආයතනයකින් ලද උපාධියක් ඩිප්ලෝමාවක් පදනම් කරගෙන ය. ඇතැම් විට උපාධිය ද අභිබවා උසස් පෙළ ප්‍රතිඵල සැලකීම ඇතැම් තැනක සිදු වේ. ඒ පොදු විභාගයක් වඩා හොඳ මිම්මක් ලෙස සමාජගත ව ඇති නිසා ය.

වෙන මිම්මක් නැති කල කුමක් හෝ භාවිතා කළ යුතු ය. ඒ අර්ථයෙන් මීට වටිනාකමක් දීම ගැන කිසිවකුට දොස් කිව නොහැකි ය. එහෙත් මෙය එක ම මිම්ම ලෙස ගැනීමට බොහෝ විට හේතු වන්නේ වඩා ගැළපෙන මිම්මක් නිර්මාණය කර ගැනීමට අපේ ඇති නොහැකියාව ය. නැතිනම් කම්මැළිකම ය.

බොහෝ රටවල විශ්වවිද්‍යාලවලට තෝරාගැනීම කරනු ලබන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලය මගිනි. ඒ සඳහා නිර්ණායක ඔවුන්ගේ ය. පොදු විභාග ලකුණුවලට අමතරව තව බොහෝ නිර්ණායක ඒ සඳහා යොදා ගැනේ. විෂයය මත පදනම් වූ උසස් පෙළට අමතරව අභියෝගතා පරීක්ෂණය මත පදනම් වූ විභාග ද මේ සඳහා අමතරව යොදා ගැනේ. මේ හේතුව නිසා ම විෂයය මූලික පොදු තරග විභාගය එකම වැදගත්කම සේ සැලකීම ඒ රටවල්වල අහෝසි වී තිබේ.

අධ්‍යාපනයේ නිදහස

එක් පීඨයකින් තව පීඨයකට එක පාඨමාලාවකින් තව පාඨමාලාවකට මාරුවීමට ද ඒවා තුළ ඉඩ තිබෙන්නේ විෂයය මත පදනම් වූ විභාගයකින් සමත් වීම එකම සුදුසුකම හැටියට නොසලකන නිසා ය.

එපමණක් නොවේ.අපේ රටේ මෙන් නොව ඒ රටවල විවිධ වයස් කාණ්ඩවලට අයත් අය විශ්වවිද්‍යාලවල උගනිති (හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අවුරුදු 35 ඉක්මවූ සිසුන් සංඛ්‍යාව 15% කි. අවුරුදු 25ත් 35ත් අතර වයසේ සිසුන් 45% කි). ඉගෙනීමට අවශ්‍ය කාලයක ඒ සඳහා පහසුකම් සපයා දීම අධ්‍යාපනයේ නිදහස තහවුරු කළ යුතු එක් ක්‍රමයකි. අප රටේ අධ්‍යාපනය නිදහස් කළ යුතු යැයි සැලකෙන්නේ මුදල්වලින් පමණකි. අන් සියලු ආකාරයෙන් එය යදමින් බැඳ තිබුණාට කමක් නැත.

අපේ දරුවකුට සරසවි වරම් ලබා ගත හැක්කේ එක් වරකි. ඇය ඒ සඳහා ලියාපදිංචි වීමෙන් පසු පාඨමාලාව නුසුදුසු යැයි හැගී ඉවත් වන්නේ නම් නැවත විශ්වවිද්‍යාලයකට යෑමට ඇයට නොහැකි ය. ඒ අපේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට රජය වියදම් කරන නිසා ය. එය එක් අතකින් සාධාරණ ය. මහජන මුදලින් නඩත්තු වන නිසා ය. එසේ වුව ද මුදල් ගෙවා හෝ වෙන පාඨමාලාවකට ඇතුළු වීමට එවැන්නියකට ඉඩකඩ සලසා නොදෙන්නේ මන් ද යන්නට උත්තරයක් ඒ තුළ නැත.

දුර්වල මිනුම්

මේ සියල්ල ලියන්නට හිතුනේ අපේ රටේ මානව සම්පත, අපට ඇති වටිනාම සම්පත, මෙසේ දහසක් බැමි තුළ කොටු කර තිබීමේ හානිය පෙන්වන්නට ය. රට දියුණුව කරා යන්නට නම් මේ සම්පත මනා ලෙස කළමනාකරණය කළ යුතු ය. එයින් වැඩ ගත යුතු ය. ඒ සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා ඇති කළ යුතු ය. එය වළකන බැමි පුපුරුවා හල යුතු ය.

දැනට තිබෙන්නේ අතිශය දුර්වල මිනුමක් භාවිතා කොට තෝරාගත් ටික දෙනෙකුට මහජන මුදලින් සමාජයේ ඉහළ තලයට නැගීමට, සාධාරණත්වයේ නාමයෙන්, සීමිත අවස්ථා ටිකක් නිර්මාණය කර දීම ය. ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් කරන්නේ ඒ තුළින් තම පෞද්ගලික අභිවෘද්ධිය පමණක් සලසා ගැනීම ය. ඒ සඳහා බොහෝ විට රට ද අත්හැර යෑම ය.

මේ දුර්වල මිනුමෙන් නිශ්ප්‍රභා වන දක්ෂතා ඇති බොහෝ දෙනෙකු ඊට වඩා අඩු හැකියාවන් අවශ්‍ය මට්ටමේ කටයුතු කීපයක හිර කර තැබීම ය. නොසැලකිය යුතු තරමේ වැඩ කිරීම සඳහා රට තුළ ගාල් කර තැබීම ය. දෙවැන්න සාධාරණ යැයි කිව හැක්කේ කුමන පදනම මත ද?

මේ තත්වයේ යම් වෙනසක් ඇති වීමට දැනට මුදල් ගෙවා අධ්‍යාපයන ලැබිය හැකි ආයතන හේතු වී තිබේ. එහෙත් සමාජය තුළ මේ ආයතන පිළිබඳ වෛරයක් ගොඩ නගමින් පවතී. සයිටම් විරෝධය තුළ මේ වෛරය සයිටම් අභිබවා පැතිර ඇති බව දැක ගන්නට අපට ලැබුණේ ඒ අනුව ය.

මුදල් ගෙවා ලබන අධ්‍යාපනය නිසා දක්ෂ දරුවන්ට අවස්ථාව නොලැබීම යෑම අපට මග හැරිය නොහැකි සත්‍යයකි. ඒ සඳහා පිළියම් ඉල්ලනු වෙනුවට අධ්‍යාපනය නොමිලේම පමණක් දිය යුතු ය යන සටන් පාඨය එන්නේ ම සරසවිය මග හැරෙන දක්ෂ දරුවන්ට දොර අවුරමින් ය. මීට පෙර ද මේ කොළමේ දැක් වූ පරිදි කළ යුත්තේ උසස් අධ්‍යාපනය සඳහා අඩු පොලියට දිගු කාලීනව ගෙවා අවසන් කළ හැකි ණය පහසුකම් සැපයීමට ය. තරගකාරිත්වය ඇති කරමින් පාඨමාලාවල මිල අඩු කිරීමට කටයුතු කිරීම ය. මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි අවස්ථා රජයේ විශ්වවිද්‍යාල තුළ ඇති කරමින් ඒවා ද තරගයට අවතීරණය කිරීම ය. ඒ හරහා මිල නියාමනයක් කිරීමට පියවර ගැනීම ය.

නැවත ගෙවීමක්

මහජන මුදලින් අධ්‍යාපනය ලැබීමෙන් පසු රටට සේවයක් නොකර විදේශගත වන අයට ඒ මුදල නැවත ගෙවීමට සිදු වන තත්වයක් ඇති කරලීම මගින් මේ කටයුතු සඳහා අවශ්‍ය වන අරමුදල් වැඩි කර ගැනීමට ද හැකි ය. ඔය කියන සාධාරණත්වය වඩා යුක්ති සහගත ව ඇති කරලීමට ද ඒ නිසා හැකි වනු ඇත.

ඊට සමගාමීව රට තුළ ආයෝජන බිහි විය යුතු ය. බිහිකරන උගතුන් අවශෝෂණය කර ගත හැකි ආයතන බිහි විය යුතු ය. ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු ය. ව්‍යාපාරිකයන් බිය වද්දන සමාජ බලවේග නොව ඔවුන් දිරි ගන්වන බලවේග ශක්තිමත් විය යුතු ය.

මෙවැනි වැඩ පිළිවෙළක් තුළ පමණක් විභාගය දරුවන්ට අනවශ්‍ය ආතතියක් වීම වැළැක්විය හැකි ය. මෙවැනි වැඩ පිළිවෙළක් තුළ පමණක් හොඳින් හෝ නරකින් රට පැනීමට බලා සිටින 60% ක් වූ අවුරුදු 18-25 ත් අතර දරුවන් අපේ රට තුළ රඳවා ගත හැකි වනු ඇත. අඩු වශයෙන් නරකින් නැතිව සුදුසුකම් ඇති ව රට පැනීමට ඔවුන්ට අවස්ථාව උදාකර දිය හැකි වනු ඇත.

නිශාන්ත කමලදාස

නව අදහස දක්වන්න