‘තේ, කතාව | දිනමිණ

‘තේ, කතාව

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායමෙන් 20%ක් ලැබෙන්නේ තේ අපනයනයෙන් ය. අපගේ ප්‍රධාන තේ ගැනුම්කරුවන් වන්නේ රුසියාව, ඉරානය වැනි රටවල් ය. රුසියාවේ රූබලය අව ප්‍රමාණය වෙමින් තිබේ. ඉරානයට යම් පමණකින් ආර්ථික සම්බාධක පවතී. මේ තත්ත්වය මත අපේ තේ කර්මාන්තයේ අනාගතය ඒ තරම් ම යහපත් යැයි කිව නො හැකි ය. මීට ලබා දිය හැකි හොඳ ම විසැඳුම වන්නේ අලුත් වෙළෙඳපොළක් සොයා ගැනීම ය. එබඳු පසුබිමක් තුළ රුසියාව පසුගිය පහළොස්වන දා අපේ තේවලට තහනමක් පැනවීය. මෙය බරපතළ ගැටලුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ගැටලුව දැන් විසැඳී ඇත. ගැටලුව සාකච්ඡා කිරීම සඳහා රුසියාවට ගිය තාක්ෂණික කමිටුව ද මේ තත්ත්වය තහවුරු කර ඇත. රුසියාව තහනමක් පනවා සති දෙකක් යෑමට මත්තෙන් එය ඉවත්කර ගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. ඒ අනුව තවත් දින තුනකින්; එනම් තිස්වන දා සිට ශ්‍රී ලංකා තේ බහලුම් යළිත් රුසියාවට යනු ඇත. අපේ අපනයන ආදායමෙන් සැලැකිය යුතු ප්‍රතිශතයක් රුසියාවට තේ අපනයනය කිරීමෙන් ලැබෙන බවද සිහිපත් කළ යුතු ය. තේ කර්මාන්තයේ දියුණුව සඳහා පවතින වෙළෙඳ පොළ ස්ථාවර කර ගත යුතු ය.ඒ අතර අලුත් වෙළෙඳපොළවල් සොයා යා යුතු ය.

රුසියාව විසින් පනවන ලද තේ තහනමට මූලික හේතුව බහාලුමක රැඳී සිටි කෘමියකු බව කියති. තේ යනු සෝදා පවිත්‍ර කොට පානයට ගන්නා දෙයක් නො වේ. ඒ අනුව පිරිසුදුභාවයත් සෞඛ්‍යාරක්ෂිතභාවයත් ඉතා හොඳින් පැවැතිය යුතු ය. බහාලුමෙහි රැඳී සිටි කෘමියා ලංකාවට ආවේණික කෘමියකු නොවන බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. එසේ නම්; කෘමියා බහාලුමට ඇතුළු වූ ස්ථානය සොයා ගත යුතු ය. මෙය වෙළෙඳ මාෆියාවක ක්‍රියාවක් වන්නටත් පුළුවන. මේ පිළිබඳ පරීක්ෂණ දිගට ම සිදුවන බව ප්‍රකාශ වී ඇත. කුමක් වුව ශ්‍රී ලංකාවේ තේවලට අප වගකිව යුතු ය. ඒ අනුව වෙළෙඳපොළ ආකර්ෂණය දිනා ගැනීමේ සම්පූර්ණ වගවීම ඇත්තේ අප අතේ ය.

රුසියාවේ නිෂ්පාදිත ඇස්බැස්ටෝ තහඩු ගෙන්වීම ශ්‍රී ලංකාව තහනම් කර ඇති බැවින් ඊට එකට - එක කිරීමක් ලෙස තේ තහනමක් පැනවූ බවට ප්‍රචාරයක් ද යයි. එහි ඇත්ත / නැත්ත අප දන්නේ නැත. එහෙත් ලෝක වෙළෙඳාම සිදුවන ආකාර කිහිපයක් තිබේ. ද්විපාර්ශ්වික ගිවිසුම්, කලාපීය ආර්ථික ගිවිසුම්, සාමූහික ගිවිසුම්, ජගත් ආයතනවල ගිවිසුම් ආදිය ඉන් ප්‍රධාන වෙයි. ඒ හැරෙන්නට රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික සබඳතා හා ජගත් ආයතනවල නිර්දේශ ආදිය ද ලෝක වෙළෙඳාම කෙරෙහි බලපායි. සරල අදහසකින් ගතහොත් රටවල් දෙකක් අතර සිදුවන ගනුදෙනුවල දී විශ්වාසය, අවංකභාවයහා සම්මුති තදින් බලපායි.

සෝවියට් සංගමය පවතින කාලයේ පටන් ව්‍යාප්ත වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙරටට තිබේ. පුටින් මහතාගේ පාලන සමය තුළ ද ඒවා බිඳ වැටුණේ නැත. විශේෂයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා රුසියන් නායකයා අතර අපූරු මිත්‍රත්වයක් ද පවතී. දසක හතරකට පමණ පසු ශ්‍රී ලංකාවේ නායකයකුට රුසියාවේ සංචාරයක් ලබාදෙන්නට පුටින් මහතා තීන්දු කරන්නේ ද මේ සබඳතා ව නිසා යැයි කියන්නට පුළුවන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ නිල සංචාරයක් සිදු කළ අතර එහි දී රුසියන් නායකයා ඓතිහාසික අසිපතක් මෛත්‍රීපාල සිරිසේන මහතාට පරිත්‍යාග කළේ ය. මෙයින් මූර්තිමත් වන්නේ ගැඹුරු මිතුදමකි. තේ ගැටලුව ක්ෂණිකව විසඳා ගැනීමට යථෝක්ත මිතුදම ද හේතුවක් වන්නට ඇත.

ගැටලුව විසැඳී ඇතත් තේ කර්මාන්තයේ අනාගතය සාර්ථක කරගැනීම සඳහා තවත් බොහෝ දේවල් කළ යුතුව තිබේ. මේ කර්මාන්තය පිළිබඳ විශේෂඥයෙක් වරක් කියා සිටියේ අපේ තේ කර්මාන්තයට සුබදායක අනාගතයක් ඇති කිරීම සඳහා පංච මහා බලවේගයක් ක්‍රියාත්මක විය යුතු බව ය. විශේෂඥයා පංච මහා බලවේගය ලෙස හඳුන්වන්නේ කුඩා තේවතු හිමියන්, අමු තේ දලු ව්‍යාපාරිකයන්, තේ කර්මාන්තශාලා, තැරැව්කාර සමාගම් හා අපනයන සමාගම් ය. ශ්‍රී ලංකා තේ ලෝක වෙළෙඳපොළට යන්නේ මේ සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයක් හැටියට ය. එහි අර්ථය වන්නේ ඉහත කී පාර්ශ්ව පහ ම සවිබල ගැන්විය යුතු බව ය.

ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳ ම ස්වාභාවික තේ ලෙස ප්‍රකට වී තිබුණ ද දැන් අපට ප්‍රබල තරගයකට මුහුණ දෙන්නට සිදුවී තිබේ. ඉන්දියාව, කෙන්යාව, වියට්නාමය පමණක් නොව; පාකිස්ථානය වැනි රටවල් පවා තරගයට ප්‍රවේශ වී තිබේ. කෙන්යාව ශ්‍රී ලංකාවට ප්‍රබල තරගයක් ලබා දෙයි. කෙන්යාවේ කම්කරුවකු දිනකට තේ දලු කි.ග්‍රෑ. 44ක් නෙළන අතර ශ්‍රී ලංකාවේ කම්කරුවකු දිනකට ‍නෙළන තේ දලු ප්‍රමාණය කි.ග්‍රෑ. 20ට අඩු ය. ඒ සඳහා යන ගෙවීම් ද වැඩි ය. කෙන්යාව, වියට්නාමය වැනි රටවල තේ වගාවේ සඵලතාව වැඩි ය. අපේ සඵලතාව ඉන් අඩක් පමණ ය. මෙහි අර්ථය වන්නේ ඵලදායීතාව වැඩි වගාවන් කෙරෙහි ද අලුත් ක්‍රමවේදයන් කෙරෙහි ද අප යොමුවිය යුතු බව ය. එහෙත් එවැනි යොමුවීමක් දකින්නට නැත.

ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දුන් ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් මහතා සිය පළමු තේ තොගය ලන්ඩනයේ අලෙවි කළේ ය. එදා ඔහුට ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබුණු බව සඳහන් ය. පසුව ටෙලර් මහතා ඕස්ට්‍රේලියාව වැනි රටවලට යමින් ශ්‍රී ලංකා තේ ජනප්‍රිය කරවීමට මහන්සි ගත් බව ඉතිහාසයේ සඳහන් ය.ජේම්ස් ටෙලර් මහතා ලන්ඩනයට තේ නිර්යාත කළේ 1875 දී ය. එදා - මෙදා තුර වසර එකසිය හතළිස් දෙකක් ගතවී ඇත. එහෙත් ගෙවී ගිය වසර එකසිය ගණන තුළ අලුත් වෙළෙඳපොළවල් සොයාගැනීම අතින් ශ්‍රී ලංකාව සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට නැත. තවම අපට රුසියාව, ඉරානය වැනි රටවල් කිහිපයක් මත රැඳෙන්නට සිදු වී ඇත. එය හොඳ තත්ත්වයක් ලෙස සැලැකිය නොහැකි ය. මේවාට විසැඳුම් සොයා ගැනීම බලධාරීන්ගේ යුතුකම වේ.

රුසියන් තේ තහනම පිළිබඳ අර්බුදය ඉතා කෙටි කාලයකින් විසඳාගත හැකිවේ යැයි කිසිවකු නොසිතන්නට ඇත. එහෙත් එය සිදුවී ඇත. රාජ්‍ය නායකයන්ගේ සුහදතාව, විශ්වාසය හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ද මීට හේතු සාධක වී තිබේ. තේ අර්බුදය විසැඳීමට ක්‍රියා කළ සැමට ජාතියේ කෘතඥතාව හිමිවනු ඇත.


නව අදහස දක්වන්න