ගණිත අවුල! | දිනමිණ

ගණිත අවුල!

රටක ජාතික අධ්‍යාපනය සකස් විය යුත්තේ ප්‍රධාන ධාරා දෙකකට සමගාමී වන ලෙස ය. පළමු ධාරාව වන්නේ රටේ සමාජ - ආර්ථික පරිසරය යි. දෙවන ධාරාව වන්නේ ලෝකයේ අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සැලැකිල්ල යි. රටක සමාජ - ආර්ථික පරිසරය නොසලකා හැර අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලැසුම් සකස් වුවහොත් එය රටේ අනාගත සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇත. ලෝකයේ අධ්‍යාපනික ප්‍රවණතා කෙරෙහි සැලැකිල්ලක් නොදැක්වූ විට අන්තර්ජාතික සබඳතා හා ගනුදෙනු සම්බන්ධයෙන් පසුබෑමක් ඇතිවීමට පුළුවන. රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් සිය අධ්‍යාපනය හසුරුවන්නේ ඉහත කී ආකාර දෙක සැලැකිල්ලට ගනිමින් ය.

අපේ රටේ අධ්‍යාපනය වරින් - වර විවිධ හේතු නිසා වෙනස් වී ඇත. වරෙක විදේශීය බලපෑම නිසා අධ්‍යාපනය වෙනස් විය. තව වරෙක දේශපාලනය නිසා අධ්‍යාපනය වෙනස් විය. තවත් වරෙක ජාතියේ අවශ්‍යතා අනුව අධ්‍යාපනය වෙනස් විය. අද වන විට දකුණු ආසියාවේ සාර්ථක අධ්‍යාපන රටාවක් ඇති රටක් හැටියට ශ්‍රී ලංකාව කීර්තියක් අත්කරගෙන තිබේ. තව අතෙකින් නිදහස් අධ්‍යාපන රටාවක් ඇති රටක් හැටියට ද ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් තිබේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ අප ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් වඩාත් කැපවීම් කළ යුතු බව ය. එහෙත් ඇතැම්විට අපේ විභාග තුළ අවුල් ඇතිවන අවස්ථා ද තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය තුළ යම් අවුලක් ඇතැ’යි චෝදනා ගොනු වී තිබිණි. ඇතමකුගේ මතය වූයේ සාමාන්‍ය පෙළ සිසුවාට ඔරොත්තු නො දෙන තරම් ගැඹුරු ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් වී ඇති බව ය. තව ඇතමකුගේ මතය වූයේ සිසුන් අතරමං කිරීම සඳහා එබඳු ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවය. තවත් ඇතමකුගේ මතය වූයේ යථෝක්ත ප්‍රශ්න පත්‍රය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු බව ය. රටේ පවත්වන බොහෝ විභාග සම්න්ධයෙන් විවේචන පවතී. ඒ සියල්ලක් ම පිළිගත යුතු නැත. එහෙත් මෙවර සා/පෙ. ගණිත ප්‍රශ්න පත්‍රය ගැන කාගේත් අවධානය යොමු විය.

විභාග දෙපාර්තමේන්තුව කියා සිටින්නේ සිසුනට කිසිදු අයුක්තියක් නොවන අයුරින් මේ ගැටලුව විසැඳීමට පියවර ගන්නා බව ය. විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙන ලෙස ප්‍රශ්න පත්‍රයේ බරපතළ ගැටලුවක් නැත. සාමාන්‍ය පෙළ සිසුනට එම විෂයය සමත්වීමට විශේෂ බාධාවක් ද නැත. ගැටලුව නිරාකරණය සඳහා විසි දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත. ප්‍රශ්න පත්‍ර සකස් කළ මණ්ඩලය, විභාග දෙපාර්තමේන්තුව, පරීක්ෂකවරුන්, ගණිත ගුරුවරුන් මේ කමිටුවට අයත් ය. කමිටුවේ අදහසට අනුව ඇතැම් ප්‍රශ්නවල කොටස් කිහිපයක් පමණක් සංකීර්ණ වී ඇත. දක්ෂ දරුවන්ට නම්; එය ප්‍රශ්නයක් නො වන වග කමිටුවේ අදහස වී තිබේ. එහෙත් කිසිවකුටත් අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කොට ලකුණු ලබා දෙන බව ද කමිටුව කියයි.

මෙහිලා ප්‍රශ්න දෙකක් මතු වෙයි. එක; ලකුණු ලබා දෙන ක්‍රමවේදය කුමක් ද යන්න ය. දෙක; ප්‍රශ්න පත්‍රවල ඇතැම් කොටස් පමණක් සංකීර්ණ කරන්නේ ඇයි ද යන්න ය. විභාගයක ලකුණු ලබා දෙන පිළිවෙළ ප්‍රසිද්ධ කිරීම සාමාන්‍ය සිරිත ය. ලකුණු ලබාදෙන ආකාරය දැන ගැනීමේ නෛතික ප්‍රතිපාදන ද අපේක්ෂකයන්ට තිබේ. ඉහත ප්‍රශ්න පත්‍රය සඳහා පාලක උත්තර පත්‍ර ලකුණු කිරීමේ වැඩසටහන යටතේ යුක්තිය ඉටුකරන බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පාලක උත්තර පත්‍ර ලකුණු කිරීමේ වැඩසටහනේ දී අනාවරණය වී ඇත්තේ මේ ප්‍රශ්න පත්‍රයෙන් අපේක්ෂකයන්ට සමත් ලකුණු ලබා ගැනීමට දුෂ්කරතාවක් නැති බව ය. එය සත්‍යයක් විය හැකි ය. එහෙත් මේ ක්‍රමවේදය සිසුනට දුරාවබෝධ විය හැකි ය.

පොදු විභාගයක දී දක්ෂ සිසුන් ගැන පමණක් නො ව; අදක්ෂ සිසුන් ගැන ද, සාමාන්‍ය සිසුන් ගැන ද කල්පනා කිරීම අධ්‍යාපනයේ සම්ප්‍රදායක් ලෙස පවතී. ගණිතය වැනි විෂයයක දී සිසුන්ගේ බුද්ධිය මැන බලයි. ඒසඳහා තර්ක හා සූත්‍ර යොදාගනු ලැබේ. එහෙත් මේවා එක අතෙකින් විෂය නිර්දේශයට අනුකූල විය යුතු ය. අනෙක් අතට සිසුන්ගේ වයසට ගැළපිය යුතු ය. එකිනෙක විෂයයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර සකස් විය යුත්තේ ද ඉහත සාධකවලට අනුකූලවය. එහෙත් මේ ප්‍රශ්න පත්‍රයේ යම් අවුලක් තිබිය හැකි බව ප්‍රශ්න කිහිපයක කොටස් කිහිපයක් සංකීර්ණ වීමෙන් පෙනී යයි. එවැන්නක් සිදුවී ඇත්නම් ප්‍රශ්න පත්‍ර සකස් කළ මණ්ඩලය සේම විභාග දෙපාර්තමේන්තුවත් ඊට වගකිව යුතු ය. අදාළ කමිටු හා ආයතන ම ඒවා නිවැරැදි කළ යුතු ය.

අපේ රටේ පවත්නා අධ්‍යාපන රටාවට හා වටිනාකම්වලට අනුව ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය දරුවන්ගේ අනාගතය තීන්දු කරන කඩඉම් ලෙස පවතී. පහ වසර ශිෂ්‍යත්වය ඇත්තේ උසස් හා පිළිගත් පාසලක් ලබා ගැනීමට ය. එය දුප්පත් දරුවාට ලබා දුන් අවස්ථාවක් ලෙස ද සැලැකිය හැකි ය. සාමාන්‍ය පෙළ විභාගය ඇත්තේ දරුවාගේ අනාගත දිශානතිය තීන්දු කිරීමට ය. උසස් පෙළ විභාගය ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා වෙනත් උසස් පාඨමාලා සඳහා තීරණගත හැකි හා සුදුසුකම් සපුරන කඩඉමක් හැටියට ය. මේ සියලු විභාග සම්බන්ධයෙන් අධික තරගයක් රට තුළ පවතී. විභාග මෙහෙයවන ආයතන හා නිලධාරීන් ඒවා ගැන සිය අවධානය යොමු කළ යුතු ය.

සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය විශේෂයෙන් අවධානයට ලක්වන්නකි. ගණිතය අසමත් නම්; සා/පෙ සමත් යැයි පිළිගැනීමක් නැත. රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ද ගණිතය සලකා බලයි. විද්‍යා විෂය ධාරාවලට මෙන් ම වාණිජ්‍යය විෂය ධාරාවල ද ගණිතය අනිවාර්ය වේ. උසස් පෙළ කලා විෂයයන් හැදෑරීම සඳහා ගණිතය අනිවාර්ය නො වන බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. එහෙත් එය රටේ සියලු දෙනාගේ සැලැකිල්ලට ලක් වී නැත. ගණිතය අසමත් තැනැත්තා නුසුදුසු පුද්ගලයකු සේ සැලැකීමට අධ්‍යාපනඥයන් පුරුදු වී ඇත. සමාජයත් පුරුදු වී ඇත. එහි අර්ථය වන්නේ කෙනකුට අවම ලෙස සාමාන්‍ය පෙළ ගණිතයවත් තිබිය යුතු බව ය. අපට වුව මේ මතය පිළිගැනීමට සිදුවේ.

විභාග ක්‍රමය මෙන් ම ඊට අදාළ ප්‍රශ්න පත්‍ර ද හැම දා එකම ආකාරයට පැවැතිය යුතු යැයි කිව නොහැකි ය. ලෝකයේ අලුත් ප්‍රවණතාවලට ගැළපෙන සේ විභාග හා විභාග ප්‍රශ්න පත්‍රද වෙනස් විය යුතු ය. දැනුම දියුණු විය යුතු බැවින් ප්‍රශ්න පත්‍ර ලිහිල් නොකළ යුතු යැයි මතයක් ගෙන එන්නට ද පුළුවන. ඒ අනුසාරයෙන් බලන විට ප්‍රශ්න පත්‍ර සංකීර්ණ වීම යහපතකි. එහෙත් ඒ ඔස්සේ ළමයින් විශාල ප්‍රමාණයක් විභාග අසමත් වන්නේ නම්; එය හොඳ දෙයක් නොවේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...