බලාගෙනයි කඩුව...! | දිනමිණ

බලාගෙනයි කඩුව...!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවක් කෙරෙහි මුළු රටේ ම අවධානය යොමු වී තිබේ. එම කතාව සඳහා උපුටාගත් භගවත් ගීතාවේ සඳහන් වන්නේ නිර්භීත පාලකයකුගේ කඩුවට තමන්ගේ ඥාතීන් හා හිතමිතුරන් පවා කැපී‍ යා හැකි බව ය. ඉන් කියැවෙන්නේ පක්ෂග්‍රාහී බවකින් තොරව යුක්තිය ඉටු කිරීමට පාලකයා බැඳී සිටින බව ය. ජනාධිපතිවරයා එබඳු කතාවක් කරන්නේ නිකමට නොවේ. ජනාධිපතිවරයා පෙන්වා‍ දෙන ලෙස පවත්නා දේශපාලනය ශුද්ධ කළ යුතු ය. දේශපාලකයන් ද නිවැරැදි කළ යුතු ය. දූෂණය පිටුදැකිය යුතු ය. මේ සියල්ල සිදුවන්නේ නම්; හැබෑවටම ශ්‍රී ලංකාව යහපත් රාජ්‍යයක් වනු ඇත.

ලෝක දේශපාලනය තුළ අධිරාජයන්ට උපදේශන සැපයූ ඉහළම බුද්ධිමතා හැටියට සැලකෙන්නේ නිකොලායි මැකියාවෙලී ය. ඉතාලියේ ෆ්ලෝරන්ස්හි ජීවිතය ගෙවා දැමූ ඔහු රචනා කළ කෘති දෙකක් කෙරෙහි අදත් ලෝක අවධානය පවතී. එක කෘතියක් වන්නේ “කුමාරයා” යන්න ය. අනෙක් කෘතිය වන්නේ “ඩිස්කෝසර්ස්” හෙවත් කතිකා යන්න ය. කුමාරයා කෘතියේ පැහැදිලි කරන්නේ රාජ්‍ය නායකයකු සිය බලය ස්ථාපිත කර ගැනීම සඳහා භාවිතා කළ යුතු උපාය මාර්ගයන් ගැන ය. ඩිස්කෝසර්ස් හෙවත් කතිකා කෘතියෙන් සාකච්ඡා කෙරෙන්නේ ජනරජ ආණ්ඩු ක්‍රමයේ ස්වාභාවය හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැනය.

ලෝකයේ රාජ්‍ය පාලනයට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට ද ග්‍රීක - රෝම - ඉන්දීය - එංගලන්ත, පෘතුගීසි, ලන්දේසි බලපෑම් තිබේ. එකල එනම්; 15 වන සියවස තුළ දී යුරෝපීය ජාතිකයන් අතර ලෝක වෙළෙඳාමක් පැවැතිණි. එදා වටිනාකම් නියමවූයේ රාජ්‍යයකට අයත් රන් ප්‍රමාණය මත ය. එබැවින් වටිනාකමෙහි සංකේතයක් ලෙස රත්තරන් ඒකරාශී කිරීමේ ව්‍යාපාර පැවැතිණි. කුමක් වුව අද පවත්නා ගැටලු රන්වලින් විසැඳිය නොහැකි ය. තත්ත්වය එක අතෙකින් සංකීර්ණය. තව අතෙකින් හාස්‍යජනක ය. මේවා තේරුම්-බේරුම් කරගෙන පසුව දේශපාලනයෙහි යෙදීම ඉතා වැදගත් ය.

2013 ජූලි 01දා ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් සපයන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මහජනයාට ඡන්ද කාලයේදී වැදගත් අදහස් ගණනාවක් සටහන් කරයි. එක අදහසකින් කියැවෙන්නේ ඡන්දය භාවිතා කරන ජනතාවට ආචාරධර්ම පද්ධතියක් මෙන්ම නිදහසක් ද තිබිය යුතු බව ය. අපේ රටේ නැත්තේ ද එයම ය. මහාචාර්යවරයාගේ අදහස වන්නේ වහාම මේ තත්ත්වය ඇති කළ යුතු බවය. මැකියාවෙලී 1513දී රචනා කළ කතිකා හෙවත් ඩිස්කෝසර්ස් කෘතියේදී ද මේ බව සනාථ කර තිබේ. අද එබඳු දේශපාලන සංවාදයක් තිබේද යනු ගැටලුවකි.

ජනාධිපතිවරයා මේ වනවිටත් සනාථ කර ඇත්තේ කිසිවකුට ‍හොරකම් කිරීමට ඉඩ නොදෙන බවය. දේශපාලකයන් පිරිසුදු විය යුතු බවත් නීතිගරුක විය යුතු බවත් ඔහු අවධාරණය කරයි. මෙය දේශපාලන දැක්ම හා අනාගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගත්ත ද සාමාන්‍ය ඉල්ලීමකි.

ජනාධිපතිවරයාගේ මූලික අදහස වන්නේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉතා හොඳ ආදර්ශවත් ඡන්දයක් විය යුතු සේ ම දූෂණය හා වංචාව පිටුදැකිය යුතු එකක් විය යුතු බව ය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වන්නේ ද දූෂණයෙන් තොර යහපත් රටක් බිහිකරනවා යන ඉලක්කය ඇතිව ය. එම ඉලක්කය මුළුමනින් ම ඉටුවී නැතත් යම් පමණකින් එය සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති රාජ්‍ය පාලන තත්ත්ව හා යුග විමසනවිට පැහැදිලි වන්නේ බලය ලබාගත් රාජ්‍ය නායකයන්ම එය වැරැදි ලෙස භාවිත කර ඇති බවය. එය හොඳ දෙයක් නොවේ.

ජනාධිපතිවරයා කියා සිටින්නේ තමන්ගේ කඩුව භාවිත කරනවිට දූෂිතයන්ට ද ප්‍රහාර එල්ලවන බවය. හිතවතුන්ට, ඥාති-මිත්‍රාදීන්ට ද නීතිය ක්‍රියාත්මක වන බවය. ඒ හැරත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සටහන් පොත්වලට ද එකතුවන සේ මැතිවරණ ක්‍රියා - මැතිවරණ ප්‍රවර්ධන වාර්තා කළ යුතු බවය. ගිය ආණ්ඩුව ‍සමයේ එබඳු තත්ත්වයක් පැවැතියේ නැත. නිදසුනක් ග‍තහොත් එදා ටිපර් රථ පස් උසුලාගෙන ගමන් කරන අතරම තව කෙනකුට කප්පමක් ද ගෙවිය යුතුය. අධිවේගී මාර්ග ඉදිකිරීමේදී එය ඉතා හොඳින් සිදුවිය. එදා රාජ්‍ය නායකයා දූෂිතයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය. ස්ත්‍රී දූෂණ සියයක් සිදුකළ ප්‍රාදේශීය සභා නායකයකුට ඒ සම්බන්ධයෙන් ප්‍රීතිසාදයක් පැවැත්වීමට ද එදා නායකයා ඉඩ දුන්නේය.

මැතිවරණ සමයකදී රටේ නායකයා ස්වාධීන ලෙස තීන්දු ගැනීමත් පක්ෂග්‍රාහී නොවීමත් ඉතා වැදගත් ය. ජනාධිපතිවරයා තමන් සිය කඩුව අතට ගන්නවා යැයි කියුවේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් සමඟ පවත්වාගෙන ගිය රැස්වීමකදී ය. නායකයකු එලෙස නිර්භීත විය යුතු ය. මැකියාවෙලී මේ තත්ත්වය විග්‍රහ කර ඇත්තේ සිංහයකු සේ එඩිතර වන්න හිවලකු සේ ඉව කරන්න යන ආදර්ශ පාඨයෙන් ය. හැබෑවටම නිර්භීත වීමත්, විමර්ශන ඇස යොමු කිරීමත් මේ කාලයේ හැටියට වැදගත්ම පියවර දෙකකි. මේ පියවර දෙක ඉදිරියටත් පැවැතිය යුතුය.

නායකයා හොඳ නම්; රටත් හොඳ වෙයි. රටේ සමාජය නරක වුව; ශක්තිමත් නායකයකුට එය නිවැරැදි කළ හැකිය. ජනාධිපතිවරයා ද ඒ මඟ ගෙන ඇති බව පෙනේ.

නව අදහස දක්වන්න