මාලිංග 20විස්සේ ක්‍රීඩාවට සමුදෙයි | දිනමිණ

මාලිංග 20විස්සේ ක්‍රීඩාවට සමුදෙයි

නිරෝෂාන් ප්‍රියංකර

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

ඊට පෙර සිය අවසන් එක්දින තරගාවලිය ලෙස වසර 2019 එංගලන්තයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම මාලිංගගේ බලාපොරොත්තුව වී තිබේ. එහෙත් බංග්ලාදේශය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් නොවීම හේතුවෙන් ඔහුගේ එම බලාපොරොත්තුව ඉටුවීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

බංග්ලාදේශ සංචාරයට නම් කෙරෙන එක්දින සංචිතයට තමා ඇතුළත් නොවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමන් කුමන හේතුවක් මත විවේක ගැන්වුවද යන්න නොදන්නා බවයි.

‘මගේ වයස් එක්ක බැලුවම මාව විවේක ගන්වා වැඩක් නෑ. අවුරුදු 25-26ක ක්‍රීඩකයෙක් විවේක ගැන්වුවාට කමක් නෑ. මොකද ඔවුන්ට තව ඉස්සරහට ගොඩක් තරග තියෙනවා. ඒත් මට සෙල්ලම් කරන්න තියෙන්නේ තව වසර දෙක තුනක් විතරයි. නමුත් අපිව විවේක ගැන්වුවොත් අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නෑ.’

‘ආබාධයට ලක්වීමෙන් පසුව මම තරග 13ක් ක්‍රීඩා කරල දවා ගත්තේ කඩුලු 10ක් පමණයි. ඒ තමයි මම කඩුලු දවා නොගත් අවස්ථාව. ඒත් ඒ තරගවලදී මගේ පන්දුවලට පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු 12ක් අත්හැරියා. අවසානයේදී පිතිකරුවා උඩ පන්දු ලබාදෙන විදිහට පන්දු යැවූ ක්‍රීඩකයාව ඉවත් කරනවා.‘ ඔහු කියයි.

කෙසේ වෙතත් තමන් සහභාගිකර ගන්නා ඕනෑම අවස්ථාවක කණ්ඩායම වෙනුවෙන් උපරිම දස්කම් දැක්විමට සුදානමින් සිටින බවත් ඔහු කියයි.

මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 204කට ක්‍රීඩා කර ඇති 34 හැවිරිදි මාලිංග කඩුලු 301ක් දවාගෙන ඇති අතර විස්සයි20 තරග 68කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 90කි.

පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් 2010 වසරේ ටෙස්ට් පිටියට සමුදුන් මාලිංග ඒ වනවිට ටෙස්ට් තරග 30කදී බිඳ දැමූ කඩුලු 101කි. 

නව අදහස දක්වන්න