ගොවීන්ට පොහොර ගන්න කෝටි 250ක් | දිනමිණ

ගොවීන්ට පොහොර ගන්න කෝටි 250ක්

ජයසිරි මුණසිංහ

ජනපති උපදෙසින් වහාම මුදල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ගොවි ජනතාවට පොහොර ලබාගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 250ක මුදලක් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට නිදහස් කළ බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. මෙවර මහ කන්නයේ ගොවි ජනතාවට පොහොර ලබා ගැනීමට රුපියල් කෝටි 500ක මුදලක් වැයවන බවත්, මේ මුළු මුදලම මේ වනවිට තමන් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිදහස් කොට ඇති බවත් මහා භාණ්ඩාගාරය සඳහන් කරයි.

ගොවි ජනතාවට පොහොර ලබා ගැනීම සඳහා බැංකුවෙත මුදල් ලැබී නොමැති බවට තොරතුරු ජනාධිපතිතුමාට දැනගන්නට ලැබුණු බවත්, ඒ අනුව ජනාධිපතිතුමා ඒ සැණින් මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් තොරතුරු විමසූ බවත් පවසන, ජනාධිපති මාධ්‍ය අංශය, එදිනම එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම්වලට යොමු කිරීමට උපදෙස් දුන් බවත් පවසයි.

ඊට ප්‍රථම රුපියල් කෝටි 250ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කොට තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ පෙරේදා (30) පස්වරුවේ පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් එම ප්‍රදේශ සංවර්ධනය කරා ගෙන යාමේදී රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ ද අදහස් හා යෝජනා ඉතා වැදගත් බව මෙහිදී පැවසු ජනධිපතිතුමා සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ ගමේ සංවර්ධනයට කැපවන ජනතා නියෝජිතයන් පිරිසක් බව ද කියා සිටියේය.

එම ගැටලුව එළැඹෙන පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සමග අවසන්වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා අද රටපුරා ක්‍රියාත්මක වන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ අත් කරදීමේ වැඩපිළිවෙළ ඒ සමගම ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් කළේය.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන්කඩුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න