භික්ෂුණිය නැතිවුණොත් බුදුසසුන අනතුරේ | දිනමිණ

භික්ෂුණිය නැතිවුණොත් බුදුසසුන අනතුරේ

මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ

මෙරට භික්ෂුණී ශාසනයක් නැති බව ද, එය යළි ස්ථාපිත කළ හැක්කේ බුදුකෙනෙකුන් පහළ වූ විට බවද සමහරු පවසති. මේ පිළිබඳ, බුලත්සිංහල මෝල්කාව නිසල අරණ භාවනා මධ්‍යස්ථානාධිපතිනි සහ ඕස්ට්‍රේලියාවේ නිසල අරණ භාවනා මධ්‍යස්ථානාධිපතිනි මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ සමඟ කළ කතාබහකි මේ

* භික්ෂුණී උපසම්පදාව පළමුව සිදුවුණේ අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන්ය. ඒ පිළිබඳ කතා කළොත්?

භික්ෂුණිය, නැත්නම් මෙහෙණින් වහන්සේලා කියන්නේ පැවිදි උපසම්පදා ලද කාන්තාවන්ටයි. බුදුසසුනේ පළමු භික්ෂුණිය විදිහට සැලකෙන්නේ මහා ප්‍රජාපතී ගෝතමියයි. ඇය භික්ෂුණියක් බවට පත්වුණේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙනුයි. ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ අමතලා, “ස්වාමීනි, කාන්තාවකට ගිහිගෙයින් නික්මිලා, තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ධර්ම විනයෙහි පැවිදි වීමට ඉඩදෙනවා නම් මැනැවි” යි කළ ඉල්ලීමට අනුව ප්‍රජාපතී ගෝතමිය ගරු ධර්ම පිළිපදින්නේ නම් ඇයට එම උපසම්පදාව හිමිවන බව අංගුත්තර නිකාය - 5 ගෝතමී සූත්‍රයේ සඳහන් වෙනවා.

* පසු කාලයේදී භික්ෂුණියක් උපසම්පදා කළේ භික්ෂුන් වහන්සේ නමක් විසිනුයි. එහෙත් පැනනැගුණු විවිධ ගැටලු හේතුවෙන් භික්ෂුණියක් උපසම්පදා කිරීමේදී පළමුව භික්ෂුණියක් විසින් උපසම්පදාව ලබාදීමෙන් පසු භික්ෂූන් වහන්සේ නමක් විසින් උපසම්පදා කර්මය කළ යුතු බවට නියම කෙරුණා නේද?

භික්ෂුවක්, භික්ෂුණියක් උපසම්පදා කිරීමට යාමේදී පැනනැගුණු විවිධ කාන්තා ගැටලු නිසයි ඒ වගේ තත්ත්වයක් උදාවුණේ. සාමනේරවරියක් පළමුව භික්ෂුණියක් ළඟ උපසම්පදා වෙලා. පසුව භික්ෂුන් වහන්සේ වෙත යවන ලෙස බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා. ඒ අනුව භික්ෂුණියකට උපසම්පදාව උභතෝ සංඝයා ඉදිරියේදීම ලබාගැනීමට සිදුවුණා. මෙයින් පැහැදිලිවම පෙනෙන්නේ, භික්ෂුණියක් උපසම්පදා කරන්නේ, භික්ෂුණියක් නෙමෙයි, භික්ෂු සංඝයා විසින් බවයි. භික්ඛු සංඝයා උපසම්පදාව කරනතුරු, භික්ෂුණියගේ උපසම්පදාව සම්පූර්ණ නොවන බව මෙයින් ගම්‍ය වෙනවා. මෙහිදී අපට පැහැදිලිව පෙනෙන්නේ, භික්ෂුණීන් උපසම්පදා කරන්න භික්ෂු සංඝයාගේ සහයෝගයට භික්ෂුණීන් අවශ්‍ය වුණා විනා, භික්ෂුණියකගේ උපසම්පදාව භික්ෂුණී සංඝයාගේ අතින් කිසිසේත්ම නොවුණ බවයි. විනය පිටකයේ චුල්ලවග්ගපාලියේ සඳහන් මේ බුදුවදන අනුව, භික්ෂුණීන් නැති වුණත්, සුපේශල ශික්ෂාකාමී භික්ෂූන්ට කාන්තාවක් උපසම්පදා කළ හැකි බව මෙරට සිටි ශ්‍රේෂ්ඨ වියත් පඬිරුවනක් වන මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා 1934 වසරේදී පවසා තිබෙනවා.

ඒ වගේම, යම් පෙදෙසක භික්ෂුණීන් නැත්නම්, කාන්තාවකට උපසපන්වීමට අවශ්‍ය නම්, භික්ෂුණීන් නැතිව, භික්ෂූන් වහන්සේලාට පමණක් උපසම්පදාව ලබාදීමේ හැකියාව පවතිනවා. ඒ බව චුල්ලවග්ග පාලියේ සඳහන් වෙනවා. අෂ්ට ගරු ධර්මවලට අනුව, වර්ෂ දෙකක් දහමෙහි හික්මුණු සාමනේරී විසින්, උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදා විය යුතුයි කියන බුදුවදන භික්ෂුණී ශාසනයට ඇතුළුවීමට අපේක්ෂිත කාන්තාවක් උපසම්පදා කිරීමේ අයිතිය භික්ෂුවකට හිමි බව පෙන්වන තැනක්. මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේගෙන් පසුව, එනම් ශාක්‍ය කාන්තාවන් 500 ක් දෙනා උපසම්පදා කිරීමේදී මේ නීතිය අෂ්ට ගරු ධර්මයේ පැවතුණාද යන්න ප්‍රශ්න කළ යුත්තක්. එය එසේ වූවා නම්, එම උපසම්පදාවට අනිවාර්යෙන්ම මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේගේ සහභාගිත්වය අවශ්‍යව තිබුණා. ඒත් එවැන්නක් සිදුවෙලා නෑ.

* ලෝකයේ කිසිම රටක මෙහෙණින් වහන්සේලා නැති බව පැවසෙනවා. නැවත භික්ෂුණී ශාසනය පිහිටුවීමට නම්, බුදුකෙනෙකුන් පහළ විය යුතු බවත් පවසනවා. ඒ පිළිබඳ ඔබ‍ වහන්සේගේ අදහස මොකක්ද?

ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනය ඇරැඹුණේ අනුලා දේවිය ඇතුළු පිරිස සංඝමිත්තා තෙරණිය විසින් උපසම්පදා කිරීමෙන් පසුවයි. එහෙත්, පසුකාලයකදී බැමිණිටියාසාය නිසාත්, ක්‍රි.ව. 1015 දී ඇති වූ සොළී ආක්‍රමණ හේතුවෙනුත් ඇතිවූ පීඩාකාරී තත්ත්වය නිසා භික්ෂු ශාසනය වගේම භික්ෂුණී ශාසනයත් අභාවයට ගියා. එහෙත්, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් සියම් දේශයට වැඩම කරලා, එම දේශයෙන් මෙරටට භික්ෂු උපසම්පදාව රැගෙන වැඩම කළා. චීනයට භික්ෂුණී ශාසනය ගෙන ගියේ ලාංකේය භික්ෂුණීන් වහන්සේලායි. ක්‍රි.ව. 5 වැනි සියවසේදී මේ විදිහට ශ්‍රී ලංකාවෙන් භික්ෂුණීන් වහන්සේලා දස නමක් දේවනාථා භික්ෂුණීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එහි වැඩම කරලා, ථෙරවාදී සම්ප්‍රදායට අනුගතව එරට කාන්තාවන් උපසම්පදාවෙහි පිහිටුවූවා. එසේ ගොඩනැගූ ථෙරවාදී විනය කර්මවලට අනුව උපසපන් භික්ෂු ශාසනය අදටත් ඒ රටේ මහායාන නාමයෙන් පවතිනවා. මෙහිදී පෙනී යන්නේ මහායාන නමින් සිටින භික්ෂුණීලාගේ සම්භවය ථෙරවාදී විනය කර්මවලට අනුව සිදුවූවක් බවයි. ඒ නිසා, ඔවුන් ථෙරවාදී භික්ෂුණීලා වුණත්, මහායාන බෝධිසත්ව සංකල්පය පිළිගන්නා නිසා මහායාන නම ගෙන සිටිය බවයි.

කෙසේ වූවත්, මීට වසර 30 කට පෙර අමෙරිකාවේ වාසය කළ මෙරට භික්ෂුන් වහන්සේ නමක්, එරට විසූ උපසම්පදාව පැතූ කාන්තාවන් භික්ෂුණීලා බවට පත්කර තිබෙනවා. ඒ ආකාරයට උපසම්පදාව ලැබූ ආයා තථාලෝකා නමැති භික්ෂුණීන් වහන්සේ අදටත් ශාසනයට මහඟු මෙහෙවරක් කරමින් ජීවතුන් අතර සිටිනවා. උන්වහන්සේලාගේ උපසම්පදාව අදටත් පිළිගන්නවා. ආචාර්ය කුසුමා භික්ෂුණිය විසින් අප මහ තෙරවරු කිහිපනමකගේ මූලිකත්වය ඇතිව මීට දශක දෙකකට පමණ පෙර බුද්ධගයාවේදී උපසම්පදා විනය කර්මය සිදුකළා. එතැනින් නැවත ඇරැඹි ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය තුළ මේ වනවිට 1000 කට වඩා පිරිසක් භික්ෂුණියන් බවට පත්ව තිබෙනවා. වාර්ෂිකව භික්ෂුණී උපසම්පදා කර්මය ප්‍රධාන වශයෙන් දඹුල්ලේදී සිදුකරනවා. ඊට අමතරව කිරම විමලජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් දෙකඳුවලදීද බෝදාගම චන්දිම නාහිමියන්ගේ මූලිකත්වයෙන් කැලණිය මානෙල්වත්ත හා තවත් ගුණ ගරුක විනයධර නායක ස්වාමීන් වහන්සේල‍ාගේ මූලිකත්වයෙන් මෙරට භික්ෂුණී උපසම්පදා සිදුකරනවා. සමහර ථෙරවාදී රටවල කාන්තාවන් ද මෙහි පැමිණ භික්ෂු භික්ෂුණී වහන්සේලාගෙන් උපසම්පදාව ලබාගන්නවා.

* මෙරට භික්ෂුණී ශාසනය සම්බන්ධයෙන් විවිධ මතවාද, තර්ක විතර්ක ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස මොකක්ද?

මේ රටේ භික්ෂුණී ශාසනය නැත්නම් කරන්න ඕනෙ එය නෑ නෑ කියා සිටීම නෙමෙයි. කොහේ හරි වටිනා ගහක් තිබෙනවා නම්, එය අපේ රටේ වඳවෙලානෙ, එය වෙන රටකින් හරි ගෙනත් පැළ කරන එකනෙ කරන්න ඕනෙ. යම් දෙයක් වටින්නේ එය ප්‍රයෝජනවත් නිසානේ. භික්ෂුණී ශාසනයත් වටිනවනේ. එසේනම් කරන්න ඕනෙ. ලෝකයේ කොහේ හෝ පවතින තැනකින් බට් කර හෝ රැගෙනවිත් එය පැළ කර ගැනීමයි.

කවුරුන් හරි පන්සිල් රැකලා, එම කෙනාට අටසිල් හෝ දසසිල් රැකීමට අවශ්‍ය බව පවසනවා නම්, උපසපන් විය යුතු බව පවසනවා නම්, කළ යුත්තේ එම පුද්ගලයාට සසරෙන් එතෙර වෙන්න මඟපෙන්වීමයි. එහෙම නැතිව සසර බැඳ තබමින් බාධා කිරීම නෙමෙයි. වැඩිපුර සිල් රකිනවා කියන්නේ වැඩිපුර හොඳ වීමට වෙර දරනවා කියන එකයි. සාමාන්‍ය සීලයක් රකිනවාට වඩා, ප්‍රාතිමෝක්ෂ සීලය වැනි අධිශීලයක පිහිටීම සියලු කෙලෙසුන් නැසීමට කරන වීර්යයක්.

බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ පිරිමින්ට පමණක් කෙලෙස් දුරුකරගෙන නිවනට පත්වීමට නෙමෙයි. කාන්තාවන් ඇතුළු සියලු සත්වයාටම පිහිටවීමටයි. බුදුරජාණන් වහන්සේ සෑම කෙනෙකුටම සසරෙන් ගැලවීමට උදව් කළා මිසක්, කිසි කෙනෙකුට බාධා කළේ නෑ. ඒ වෙනුවෙන් කිසිම විනය නීතියක් පනවා නෑ. සියලු විනය නීති පනවලා තියෙන්නේ, කාන්තා පිරිමි යන දෙපක්ෂයටම ඉදිරියට යෑමට මිසක්, ඒ අය අතරමං කිරීමට නෙමෙයි.

* බුදුසසුන පැවතීමට සිව්වනක් පිරිසම අවශ්‍යයි. සිව්වනක් පිරිසෙන් එක කොටසක් අහිමි වුණහම සිදුවෙන්නේ කුමක්ද?

බුද්ධ ශාසනය පෙර සේ නියම විදිහට ස්ථාපිත කරන්න නම්, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පිහිටුවූයේ තුන්වනක් පිරිසක් නෙමෙයි. සිව්වනක් පිරිසකුයි. එයින් එක් පාර්ශ්වයක් හෝ අඩුව ඇතිවිට අපගේ උත්සාහය වෙන්න ඕනෙ, එය නැවත ස්ථාපිත කර, නැවත සිව්වනක් පිරිස බවට පත්කර ගැනීමටයි. එය බුද්ධ කෘත්‍යයට ගරු කිරීමක්. සිව්වනක් පිරිසේම චිරස්ථිතිය, ශාසනයේ චිරස්ථිතිය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ, ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ සිව්වනක් පිරිස මත බවයි. මේසයක් සෘජුව තැබීමට නම්, එහි කකුල් හතරම පැවතිය යුතුයි. එක කකුලක් හෝ කැඩුණොත් එහි සමබරතාව නැති වෙනවා. සිව්වනක් පිරිසකත් ඒ වගේ තමයි. ඉන් එක් පාර්ශ්වයක් හෝ අහිමි වුණොත්, සසුනේ සමබරතාවට හානි පැමිණෙන බව, උගත්, වියත් ලොව පිළිගත් කිරින්දේ ධම්මානන්ද හිමියන් වරෙක දේශනා කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු, භික්ෂුණී දෙපාර්ශ්වයටම අග තනතුරු දුන්නා. ථෙර ථේරී ගාථා මඟින් පැහැදිලි වෙන්නේ, භික්ෂුන් වහන්සේලා හා සමානවම භික්ෂුණීන් වහන්සේලා තම ජීවිත සාර්ථක කරගත් බවයි.

* 1996 වසරේ ඉන්දියාවේ පැවැති උපසම්පදාව විනය විරෝධී බව සමහරු පවසනවා නේද?

ශ්‍රී ලංකාවේ තුන් නිකායෙන් සියලු අනු නිකාය ඇතුළත්ව, අමරපුර සහ රාමඤ්ඤ නිකාය මේ උපසම්පදාව විනය විරෝධී බව පවසනවා. එහෙත් තුන් නිකායේ ප්‍රධාන පාර්ශ්වයක් වන සියම් නිකායට අයත් රංගිරි දඹුලු සංඝ සභාව මෙයට එකඟ වෙන්නේ නෑ.

ඒ වගේම තමයි, චීනයෙන් උපසම්පදාව ලැබිය නොහැකියි කියන කතාව. චීනයේ ථෙරවාදී භික්ෂුණී ශාසනයක් නොපවතින නිසා, එරට භික්ෂුණීන් වහන්සේලාගෙන් උපසපන්වීම විනයට එකඟ නොවන බවත් සමහරු පවසනවා. ඒත්, බුරුමය, තායිලන්තය, වියට්නාමය වගේ ථෙරවාදී රටවල වගේම, චීනය, කොරියාව, තායිවානය සහ එම රටවලට සමීප රටවල ථෙරවාදී සම්ප්‍රදායට අනුව උපසපන් වූ හා ථෙරවාදී විනය නීති පිළිපදින බොහෝ භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටිනවා. ඔවුන් පුහුණු කරන පුහුණු මධ්‍යස්ථාන එම රටවල රජයන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනවා.

 

සටහන-ඉරෝෂිණී දීපිකා


අදහස් 1ක් ඇත

භික්ෂුණීන්ට පැවිද්ද ලබා දීමට අදාළ විනයානුකූල ධර්ම කරුණු කියවා බලන්න. භික්ෂුණී ශාසනේ ආරම්භය යනු බුද්ධ ශාසනය පවතින කාලයෙන් දෙකෙන් එකක් විම යි.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...