පොලිතීන් තහනම! | දිනමිණ

පොලිතීන් තහනම!

 රටට වැදගත් ඇතැම් තීන්දු හා තීරණ සමාජය අතර එතරම් ජනප්‍රිය නොවන්නට පුළුවන. සමහර විටෙක එබඳු තීරණවලට සමාජයේ කොටසක් විරුද්ධ වන්නටත් පුළුවන. ඇතැම් තීන්දු අකැමැත්තෙන් වුව ක්‍රියාත්මක කළ යුත්තේ අනාගත යහපත ගැන ඉලක්ක ඇති කරගෙන ය. සියල්ලන්ම තෘප්තියට පත්වන තීන්දු හා තීරණගැනීම අපහසු ය. සමහර පාලකයෝ දේශපාලන වාසිය තකා; යහපත් තීන්දු ක්‍රියාත්මක කිරීම පමා කරති. තවත් පාලකයෝ ඒවා අමතක කරති. එහෙත් රටේ අනාගත යහපත උදෙසා දේශපාලන වාසිය පසෙකට දැමූ බුද්ධිමත් පාලකයෝ අනන්තවත් සිටිති. අපේ ප්‍රධාන පුරවැසියා ද එබඳු තැනැත්තෙකි.

පොලිතීන් තහනම නම් මාතෘකාව දැන් කාගේත් කතාබහට ලක්වෙමින් පවතී. මේ සමඟ සමාජය ප්‍රශ්න කරන කරුණු කිහිපයක් ද තිබේ. පළමු කාරණය වන්නේ පොලිතීන් සඳහා යොදන විකල්පය කුමක් ද යන්න ය. බත් පැකට් කරන්නේ කෙසේ ද? බඩු - භාණ්ඩ රැගෙන යන්නේ කෙසේද? යනුවෙන් සමහරු ප්‍රශ්න කරති. දෙවන කාරණය වන්නේ පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න ය. තෙවන කාරණය වන්නේ පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදනවලින් ජීවත්වන පිරිසට ලබාදෙන විසැඳුම කුමක් ද යන්න ය. මේවා යම් තරමක ප්‍රශ්න බව පිළිගත හැකි ය.

බත් පැකට් කරන්නේ කෙසේද යන්නට විකල්ප ආදේශක ඕනෑතරම් තිබේ. අතීතයේ අපේ කිසිවකු පොලිතීන් භාවිත කළේ නැත. එදා භාවිතයට ගැනුණේ ස්වාභාවික දේවල් ය. කෙසෙල් කොළ, කොළපත්, නෙළුම් කොළ, කැන්ද කොළ ඒවාට නිදර්ශන වේ. අද මේවා සපයා ගැනීම දුෂ්කර යැයි කෙනකු කියන්නට පුළුවන. එ‍ෙහත් ඉල්ලුම ඉහළ යන විට මේවා වවන්නට ජනතාව පුරුදු වනු ඇත. ඒ හැරත් බාස්කට්වල, පිඟන්වල, පෙට්ටිවල කෑම ගෙන යන සිරිතක් අපට තිබිණි. වැඩි කාලයක් භාවිත කළ හැකි ලෙස කොළපත් හා කෙසෙල් කොළ ආශ්‍රිත නව නිෂ්පාදන ද වෙළෙඳ පොළට පැමිණ තිබේ.

පොලිතීන් බෑගය නැතහොත් සිලි - සිලි බෑගය කෙතරම් ජනප්‍රිය වී තිබුණේ ද යත්; කඩයකින් මිලට ගන්නා සෑම භාණ්ඩයක් සඳහා ම සිලි කවරයක් දීමට මුදලාලි පුරුදු වී සිටියේ ය. එසේ සෑම භාණ්ඩයකටම සිලි කවරයක් ලබා දී පසුව බඩු - භාණ්ඩ තවත් විශාල කවරයක බහා දීම මුදලාලිගේ තවත් සිරිතකි. එහෙත් මේ සියල්ල නවතා දැමිය හැකි ය. කළ යුත්තේ ජනතාව කඩයට හා පොළට යන විට පන් මල්ලක් රැගෙන යෑම ය. නැතහොත් රෙදි මල්ලක් රැගෙන යෑම ය. පාකිස්ථානය වැනි රටවල හණවලින් නිෂ්පාදිත මලු සෑම පවුලක් ම පාහේ භාවිත කරති. එය පරිසර හිතකාමී ය. අපට ද එවන් පුරුදුවලට යා හැකි ය. එය අලුත් මෝස්තරයක් වන්නට ද පුළුවන.

පොලිතීන් භාවිතයෙහි අහිතකර තත්ත්වය නොසලකා හරින අය වටහා නොගන්නා කරුණු කිහිපයක් තිබේ. පළමුවන්න මේවා දිරාපත් වීම සඳහා වසර දහසකට වැඩි කාලයක් ගතවන බව ය. වසර දහසක කාලයකින් ද සිදුවන්නේ දිරාපත් වීමේ ආරම්භය බවද හෙළිවී ඇත. ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයක් දිරාපත්වීමට ඊටත් වැඩි කාලයක් ගත වේ. දෙවන්න පොලිතීන් පසට මිශ්‍ර වීම නිසා පසෙහි ස්වාභාවික තත්ත්වය විකෘති වීම ය. එය වගාවන් කෙරෙහි තදින් ම බලපායි. තෙවන්න පොලිතීන් දහනය කිරීමෙන් පිටවන විෂ රසායන පිළිකා වැනි රෝග ගණනාවකට බලපාන බව සොයාගෙන තිබේ. මේ අනුව තමන්ගේ ම ඉඩමක වුව පොලිතීන් දහනය සම්පූර්ණයෙන්ම නීති - විරෝධී කටයුත්තක් වෙයි.

පරිසර අධිකාරිය හා කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ දිනකට ශ්‍රී ලංකාවේ භාවිත වන “ලන්ච් සීට්” ප්‍රමාණය මිලියන දහය ඉක්මවන බව ය. තවද දිනකට ශ්‍රී ලංකාව තුළ භාවිත වන සිලි බෑග් ප්‍රමාණය මිලියන විස්ස ඉක්මවන බව ය. රටේ වාර්ෂික ඒක පුද්ගල පොලිතීන් භාවිතය කි. ග්‍රෑ. 6.2ක් බව සටහන් වී ඇත. මේ සියල්ල මුදා හැරෙන්නේ පරිසරය වෙත ය. මෙය කෙතරම් භයානක ද යත්; සමහර වන අලි පොලිතීන් ආහාරයට ගෙන මිය යති. පොලිතීන් භාවිතය මිනිසාට පමණක් නොව; තිරිසනාට ද බලපාන බව මෙයින් පෙනී යයි. එය අපේ මූලික පාරිසරික ගැටලුවක් බවට පත් වී ඇත.

පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය සියයට - සියයක් සාර්ථකව සිදුකළ නොහැකි බව සනාථ වී තිබේ. මේ වැඩසටහන යම් පමණකින් සාර්ථක කරගෙන ඇත්තේ යුරෝපා සංගමය පමණි. යු‍රෝපා සංගමයට අයත් පොලිතීන්වලින් මෙ.ටො. මිලියන 46ක් එම සංගමයේ වැඩසටහන් විසින් ප්‍රතිචක්‍රීයකරණය කරනු ලැබේ. එහෙත් එම රටවල් භාවිත කරන මුළු පොලිතීන් ප්‍රමාණය ඊට බොහෝ වැඩි ය. ශ්‍රී ලංකාව 2016 දී භාවිත පොලිතීන්වලින් 3%ක් පමණ ප්‍රතිචක්‍රීයකරණය කළේය. 2017 දී 4%ක් පමණ ප්‍රතිචක්‍රීයකරණය කළේය. ඉතිරි සියල්ල පරිසරයට මුදා හැර ඇත. මේ අනුව අපේ පරිසරයේ කොතැනක හෝ පොලිතීන් කඳු තිබිය යුතු ය.

අපේ ප්‍රතිචක්‍රීය වැඩසටහන් පවතින්නේ දුප්පත් තැනක යැයි කියන්නට පුළුවන. එම වැඩසටහන් සාර්ථක කරගැනීම ද දුෂ්කර ය. ඒ හැරත් පොලිතීන් අත්හැරීමට ද කාලයක් එනු ඇත. අවම ලෙස දැන්වත් එය නතර කර ගතහොත්; විශාල විනාශයක් වළක්වා ගත හැකි ය. අප අමතක නොකළ යුතු තවත් කාරණයක් වන්නේ දියුණු රටවල් පොලිතීන් භාවිතය අඩු කරගන්නා විට විවිධ සමාගම් ඒවා දුප්පත් රටවලට හුරු - පුරුදු කරන බව ය. පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශාල අමුද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාව වාර්ෂිකව ආනයනය කරනු ලැබේ. මේ සියල්ල පරිසරයට අහිතකර ය. මෙය දුර්වල කිරීම සඳහා 15%ක සෙස් බද්දක් පනවා ඇතත්; අමුද්‍රව්‍ය ආනයනයේ සැලැකිය යුතු වෙනසක් සිදු වී නැත.

නූතන ලෝකයේ දැවෙන ප්‍රශ්නය බවට පත් වී ඇත්තේ විවිධාකාරයෙන් පරිසරය විනාශ වීම ය. සිදු වී ඇති විනාශයේ තරම ලෝකයට බලපාන ස්වභාවික විපත්වලින් පෙනී යනු ඇත. ඒ හැරෙන්නට චීනයේ හා ඉන්දියාවේ වායු දූෂණය උපරිම තත්ත්වයට පත්ව තිබේ. ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලියේ ජනතාව මුඛ හා නාස් ආවරණ පැළඳගෙන මහ මඟ ගමන් කරති. චීනයේ ඇතැම් නගරවල ජනතාවට පිරිසුදු වාතය මිලට ගන්නට සිදු වී තිබේ. රටක නායකයන් මේවා ගැන බුද්ධිමත් ලෙස කල්පනා කළ යුතු ය.


නව අදහස දක්වන්න

Or log in with...