සයිබර් පාඨකයා ඇන්දවීම | දිනමිණ

සයිබර් පාඨකයා ඇන්දවීම

 සාමාන්‍යයෙන් මා 'දිනමිණ' පුවත්පතේ 'බද්දරමල්ල' විශේෂාංගයේ ලියන 'ගැහැනු පිරිමි මල් පලතුරු' කොලම අන්තර්ජාලයේ (සමාජ ජාලයක පවත්වාගෙන යන ) පිටුවක පළ කළ විට එක ලියැවිල්ලක් කියවන ගණන (වෙනත් වචනවලින් කීවොත් ලැබෙන වැඩිම වීව්ස් ගණන) තුන්දාහකට වඩා පැන නැහැ. එසේම ඒවා අඩුම ගානේ සිය දෙනකුවත් කියවයි. වෙන අය විසින් ඔවුන්ගේ පිටුවල බෙදා ගැනීම නිසා බොහෝ අය කියැවූ ලිපි තිබුණත් මගේ පිටුවට අනුව, මම ලියන ඒවා (අන්තර්ජාලයෙන්) කියවන මිනිස්සුන් වැඩිපුර කියවන සහ අඩුවෙන් කියවන ලිපි, මාතෘකා ගැන මට සාමාන්‍ය වැටහීමක් ඇත. අන්තර්ජාලය පළ කරන ලිපිය වැඩිපුරම කියැවෙන්නේ ඒවායේ ප්‍රසිද්ධ කෙනකු ගැන ලියා ඇති විටයි. දෙසැම්බර් පහ අඟහරුවාදා කොලමේ ‘ඉකාරියා වැසින්ගේ රහස‘ නමින් පළ කළ ලිපිය එතරම් කියැවීමක් බලාපොරොත්තුවිය හැකි මාතෘකාවක් නොවීය. නමුත් ගොසිප් වෙබ් අඩවි තුනක් ඒ ලිපිය කිසිදු අවසරයක් නැතිව, පුවත්පතේ පළ වූ ලිපියක් බව සඳහන් නොකර පළ කර ඇත්තේ එම ලිපියේ වූ වැකියකින් 'කොටසක්' වෙන ‘වයස අනූවක් ගතවීත් ලිංගිකව සක්‍රීය පිරිමිත්‘ යන්න අල්ලා ගැනීමෙන්. ඉහත ඕපාදූප අඩවි තුනම ලිපියේ සිරස් තලය ලෙස යොදා තිබුණේත් එම කොටස අල්ලාගනිමින්. කොපිරයිට්/කර්තෘ හිමිකම පිළිබඳ නීති උල්ලංඝනය කිරීමට අමතරව ඔවුන් 'ලිංගික' යන වචනය උලුප්පා ගනිමින් පාඨකයා ඇදගැනීමට උත්සාහ කිරීම එම ගොසිප්වෙබ් අඩවි පවත්වා ගෙන යන්නන් සහ ඔවුන්ගේ පාඨකයා ඉන්නා තැන පැහැදිලි අදහසක් අපට ලබා දෙනවා. මම ඊළඟ සතියේ කොලමේ වචන සිය ගණනම ‘ලිංගික‘ කියා ලිව්වොත් ඕපාදූප පිටු කීයක් එම 'ලිපිය' තමන්ගේ වාගේ පළ කරයිද? යන ප්‍රශ්නය සමාජජාල පිටුවක විමසා බැලුවෙමි.

“දැන් කාලේ ආගමක් දහමක් හෙන දැහැමි දෙයක් වුණත් ප්‍රචාරය කරන්න ලේසීම දේ හෙඩින් එකට ‘ලිංගික‘ කියන දේ දාන එක“ හසිත් අතුකෝරාළ නමැති කෙනකු තමන්ගේ අදහස ලෙස ප්‍රකාශ කර තිබුණා. ඔහු කියන ආකාරයටම මිනිසුන්ගේ අවධානය ක්ෂණිකව ඇද ගැනීමට හැකියාවක් ඇති වචන කිහිපයක් ඇති බව සත්‍යයක්. වෙළඳ ප්‍රචාරණයේදි, දේශපාලන ප්‍රචාරක වැඩවලදී සහ ඡන්ද ව්‍යාපාරවලදී එම වචන යොදා ගැනීම සිදුවේ. ඉංග්‍රීසි භාෂාව එලෙස යොදා ගැනීමේදි නම් ' 'you,’ ‘free,’ ‘Results,’ ‘sex,’ 'love' ‘save,’ ‘safety,’ ‘help,’ ‘New’ ආදි වචන බලවත් ලෙස සැලකෙනවා. නොමිලේ, වැඩිපුර, ඕන තරම්, හොඳම, පහසු, ප්‍රතිඵල, සුරූපි, ඉතිරිකිරීම, අවශ්‍යම, සෑම, නවතම, විශ්වාසය යනාදී වචන සිංහල වෙළෙඳ ප්‍රචාරණයෙදී ඇසී පුරුදු ඒවා වේ. අප ඇද ගැනීමට මෙවැනි වචන පාවිච්චි කිරීම මනෝවිද්‍යත්මක ප්‍රයෝගයකි

මිනිසාගේ අවශ්‍යතවන් වන ශාරීරික, මානසික, ආර්ථික උවමනා සපුරා ගැනීමේ අවශ්‍යතාව ස්වභාවික නිසා එම තත්ත්වය සියුම් ලෙස හැසිරවීමක් කිරීමෙන් තමන් වෙත ආකර්ෂණය කරගැනීම, අවධානය ලබාගැනීම කළ හැකි බව ප්‍රචාරකයා දන්නේය. වෙනත් තැන්වල පළවී ඇති ලිපිවල 'ලිංගිකත්වය' වැනි සහ යම් යම් ආකර්ෂිත වචන උලුප්පා ඒවා ගොසිප්/ඕපාදූප වෙබ් පිටුවල පළ කිරීම සිදුවීම නිතර සිදු වේ. ඔවුන් මැරයන් සේ ඔවුන්ගේ පිටු පවත්වාගෙන යන බවත් සනාථ කිරීමට තවත් එවැනි වෙබ් පිටු කිහිපයක් මා වෙත ලැබෙන්නට විය.

ලිංගික යන වචන අන්තර්ජාලය තුළ සහ වෙනත් මාධ්‍යවල මෙවැනි භාවිතවීමක් කරන්නේ ශ්‍රී ලාංකික සමාජයේ ඇතැම් පිරිසකගේ ලිංගික මනදොළ ඉටු නොවීම නිසා වන අසහනය නිසා මෙවැනි වචනයක් හරහාවත් කිසියම් ලිංගික ආස්වාදයක් විඳින්නට ඇතැම් පිරිසකට ඇති හාමතක් ඇති නිසා බව කෞෂල්‍යා හේරත් සඳහන් කර තිබිණි. විශේෂයෙන්ම ගැහැනියක විසින් ලිංගික සහ එයට අදාළ වචනයක් සඳහන් වීම අසහනකරුවන්ට වැඩි හර්ෂයක් ඇති කරවන බව ඈ තවදුරටත් සඳහන් කර තිබිණි. එදිනෙදා සමාජයේදී සමහරුන්ගේ ලිංගික අසහනය නිසා වැඩිපුරම අපහසුවට අපරාධයට ගොදුරුවෙන්නේ කුඩා ළමයින් සහ ගැහැනුන් වීම නිරීක්ෂණය කරන ඇයගේ ප්‍රකාශය ප්‍රබලයි. අප මේ කතා කරන බොහෝ මාතෘකා ලෝකයේ ඇතැම් තැන්වල දැනටම සවිස්තරව හැදෑරිමක් කළ හෝ කෙරෙන ඒවා වීම නිසා අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක මානවවිද්‍යාව හදාරන මගේ මිත්‍රයකු වෙන ක්‍රිෂාන්ත ෆෙඩ්‍රික්ස් ගෙන් මේ ගැන, ඔහුගේ හැදෑරීමට අනුව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලා අදහසක් ඉදිරිපත් කරන්නැයි මම ඉල්ලා සිටියෙමි.

“ගොසිප්/ඕපාදුප කියන්නේ බොහෝ සංස්කෘතිවල තියෙන පොදුජන සන්නිවේදන ක්‍රමයක්. පණිවිඩය බොහෝවිට ලිංගිකත්වය, අසම්මත ක්‍රියා, ඇදහිය නොහැකි සිදුවීම්වලට සම්බන්ධවීමත්, පණිවිඩයේ මූලාශ්‍රය සන්නිවේදන ක්‍රියාවට එතරම් වැදගත් නොවීත් එහි සාමාන්‍ය ස්වභාවයයි.

ශ්‍රී ලංකාව වගේ සමාජවල ඕපාදුප සන්නිවේදන ක්‍රමයක් ලෙස පරිණාමය වී ඇති ආකාරය විමසා බැලීම සිත් ගන්නා සුළු පර්යේෂණයක් විය හැකියි. මිනිස්සු අතර මුඛපරම්පරාගත සන්නිවේදන ක්‍රමයක්ව පැවති ඒ සන්නිවේදන ක්‍රම මිනිස්සු ලේඛන හැකියාව වර්ධනය කර ගත්තට පස්සේ කැලෑ පත්තර වගේ ක්‍රම වර්ධනය කර ගත්තා. තැපෑලවගේ දියුණු ක්‍රම වර්ධනය වෙද්දී පොස්ට්කාර්ඩ්වලින් ඒ ඕපාදුප සන්නිවේදනය කරන්න ගත්තා. දුරකථනය අන්තර්ජාලය සහ ජාලගත සාමාජ මාධ්‍ය වර්ධනයවනවිට ඕපාදුප සන්නිවේදනය වන හැටි තමයි ඔය. පොදු වැසිකිළිවල බිත්ති එහෙමත් අපේ අය ලිංගික ඕපාදුප සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක් හැටියට භාවිතයට අරගෙන තියෙන හැටි බලන්න පුළුවන් ඒවාට ගියොත්. ඔය කොයි ක්‍රමයේත් පොදු ලක්ෂණ හැටියට මූලාශ්‍රය මකාදැමීමත් ලිංගිකත්වයට මුල් තැනදීමත් එහෙමම තියෙනවා.

මානව වාග් විද්‍යාඥයන් කියන විදියට සන්නිවේදන මාධ්‍යයේ තාක්ෂණය වර්ධනය වන සෑම අවස්ථාවකම එය මිනිස්සුන්ගේ ලිංගිකත්වයට තර්ජනයක් හැටියට තමයි සැලකිලා තියෙන්නේ. ලියුම් කවර භාවිත කරලා ලියුම් තැපැල් කිරීම, දුරකථනය හඳුන්වාදීම, කෙටි පණිවිඩ, ජාලගත සමාජ මාධ්‍ය ආදී ක්‍රම වර්ධනය වන සෑම අවස්තාවකම එය සදාචාරය සහ මිනිසුන්ගේ පෞද්ගලික ලිංගිකතත්වයට තර්ජනක් හැටියට සැලකිලා තියෙන්නේ ඒ නිසා. වැඩිය ඕනේ නෑ. නවකතාව, සිනමාව වගේ මාධ්‍ය පවා මිනිස්සුන්ගේ පෞද්ගලික ලිංගිකත්වයට තර්ජනයක් හැටියට තමයි මුල්කාලයේ අර්ථකථනය කෙරුණේ. අපි කුඩා අවධියේ පවා නවකතා, චිත්‍රකතා කියවීම, බයිස්කෝප් බැලීම සදාචාරමය අධෛර්යවත් කෙරුණේ ඒ නිසා වෙන්න ඕනේ. මේකට අවිඥානික හේතුවක් තියෙනවා. අවිඥානිකව මිනිස්සු තමන්ගේ ලිංගිකත්වය අනෙකාට සන්නිවේදනය (ප්‍රදර්ශනකාමය) සහ අනෙකාගේ ලිංගිකත්වය රසවිඳීම (දර්ශන කාමය) දැඩි රුචියක් දක්වනවා. සන්නිවේදන ක්‍රම වර්ධනයවන හැම අවස්ථාවකම මිනිස්සු පළමුව සන්නිවේදනය කරන්නට උත්සහ කරන්නේ ඔය අවිඥානික ආසාවලින් එකක්.”

ඕපාදූප සන්නිවේදන ක්‍රමයක් ලෙස පරිණාමය වීම ශ්‍රී ලංකාව වැනි රටක සිදුවී ඇති ආකාරය සොයා බැලීම කදිම පර්යේෂණයක් විය හැකි බවට සැක නැත. එසේම විද්‍යත්මකව හදාරා තේරුම් ගෙන විසඳිය යුතු ගැටලු සමාජය තුළ එමටය. රටේ නීති තිබියදීත් කර්තෘ හිමිකම නොසලකා අනුන්ගේ බුද්ධිමය දේපළ හොරකම් කිරීම සිදු වීමත්, ඒ ශ්‍රී ලංකාවේ හැටි යැයි කියා අහක බලගන්නා පිරිසක් සිටීමට හේතුවත් එලෙස විමසා බැලිය යුතු කරුණකි.

හිමාලි එන්. ලියනගේ
[email protected] 

නව අදහස දක්වන්න