පුංචි ආණ්ඩු! | දිනමිණ

පුංචි ආණ්ඩු!

යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ තරමින් උනන්දු වන යුගයක් මීට පෙර අපේ දේශපාලන ඉතිහාසයේ සටහන් වී නැත. මැතිවරණ කොමසාරිස්වරයා සිය බලය හා නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. දේශපාලන බලපෑම් දකින්නට නැති නිසා රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු පහසු වී ඇත. ඔවුන් ස්වාධීන වී ඇතැ’යි ද කියන්නට පුළුවන. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට දින කිහිපයකට ඉහත දී කියා සිටියේ දූෂිත අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් ලබාදීමට තමන් සූදානම් බව ය. මෙහි දූෂිත යන්නෙන් අදහස් වන්නේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලැබූ අපේක්ෂක‍යන් විය යුතුය.

සාධාරණ හා යුක්තිසහගත මැතිවරණයක් යන්නෙන් ජනතාව කරුණු දෙකක් අපේක්ෂා කරන්නේ යැයි සිතන්නට පුළුවන. එක; මැතිවරණය දූෂණයෙන් තොරව පවත්වා ගැනීම ය. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති බොහෝ මැතිවරණ කුමන හෝ ප්‍රතිශතයකින් දූෂිත ය. දෙක; පළාත් පාලනය සඳහා සුදුසු ම පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස පත්කර ගැනීම ය. එහි වගකීම දේශපාලන පක්ෂවලට, එම පක්ෂවල නායකයන්ට මැතිවරණ කොමිසමට මෙන් ම අවසන් ලෙස ජනතාවට ද පැවරෙයි. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ හා ඇතැම් නායකයන් මේ වගකීම පැහැරහැර ඇති බවක් පෙනෙයි. අපේක්ෂකයන් අතර දූෂිත පුද්ගලයන් තිස් ගණනක් ඇතැ’යි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ ඒ නිසා ය.

ජනාධිපතිවරයා ගිය සිකුරාදා ජනතාවගෙන් ඉල්ලා සිටියේ කිසිදු බේබද්දකුට ඡන්දය දෙන්න එපා යනුවෙන් ය. මොන පක්ෂයක වුවත් කුණුවෙන්න බොන අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න එපා යනු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ වචන වේ. බේබදු දේශපාලකයන් කෙරෙහි රටේ නායකයා දක්වන පිළිකුල එයින් පැහැදිලි වේ. හොඳටම බීමත් ව පොලිසියට ගොස් යකානටන ප්‍රාදේශීය සභා සභාපතිවරු සිටියෝ ය. ස්ත්‍රී දූෂණ සිය ගණන් සිදු කළා යැයි උජාරුවෙන් කියන දේශපාලකයෝ ද සිටියෝ ය. පොලිසියේ ස්ථානාධිපතිගේ පුටුවේ වාඩි වී තමන්ගේ ගෝල - බාල අපරාධකාරයන් කූඩුවෙන් නිදහස් කරගත් මහජන නියෝජිතයෝ ද සිටියෝ ය. අද ඒ කිසිවකට ඉඩක් නැත.

ජනාධිපතිවරයා මීට ටික දිනකට පෙර තවත් වැදගත් පණිවිඩයක් ජනතාවට ලබා දුන්නේ ය. ඒ සඳහා පාදක කරගත්තේ භගවත් ගීතාවේ කොටසකි. එම කතාවේ අදහස වන්නේ තමන් නීතියට අනුව සෘජුව ක්‍රියා කරන බව ය. ඥාති - සංග්‍රහ, මිත්‍ර සබඳතා, දේශපාලන පක්ෂග්‍රාහීකම් යන සියල්ල නොසලකා හරින බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මෙබඳු නායකයන් නැති ව සාධාරණ මැතිවරණ පැවැත්වීම උගහටය. මෙබඳු නායකයන් නැති ව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ද උගහට ය. යහපාලනය පවත්වා ගැනීම ද දුෂ්කර ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉහත ආදර්ශය ලබා දී තිබේ. කොළඹ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවට ප්‍රබල කුඩුකාරයකුගේ පුතකුගේ නම ද ඇතුළත් කර තිබිණි. එම දුෂ්ක්‍රියාව පසුපස එජාපයේ ප්‍රබල දේශපාලකයකු සිටි බව ද සඳහන් ය. අන්තිම මොහොතේ මේ බව දැනගත් වික්‍රමසිංහ මහතා එම නම ලැයිස්තුවෙන් කපා දැම්මේ ය. එය ඉතා වටිනා දේශපාලන ආදර්ශයකි. කුඩුකාරයන් දේශපාලනය සඳහා සල්ලි වීසිකරන බැවින් බොහෝ දෙනා ඔවුන් ප්‍රතික්ෂේප නොකරති. එසේ ප්‍රතික්ෂේප කිරීම දේශපාලන පාඩුවකි. එහෙත් එම නිර්භීත තීන්දුව ගන්නට වික්‍රමසිංහ මහතා සමත් විය. මෙබඳු නායකයන් රටේ ඉදිරි ගමනට ශක්තියකි.

දූෂිතයන්, බේබද්දන් හා වංචාකාරයන් ප්‍රාදේශීය පාලනයෙන් ඉවත් කර ගත හැකි නම්; රටේ සංවර්ධනය මීට වඩා වේගවත් වනු ඇත. පසුගිය කාලය තුළ ප්‍රාදේශීය සභා ගණනාවක සේ ම නගර සභා ගණනාවක ද බලවත් දූෂණ සිදු වූ බව මාධ්‍ය මඟින් හෙළිදරව් කැරිණි. පාලම්, බෝක්කු, පාසල් ගොඩනැගිලි, පාරවල් ආදී ව්‍යාපෘතිවලින් පමණක් නො ව; හඳුන්වා දුන් මධ්‍යම ප්‍රමාණයේ නව ව්‍යාපෘතිවලින් ද ප්‍රාදේශීය දේශපාලකයෝ ගසා කෑහ. මේවා හෙළිදරව් කළ ද එදා රට පාලනය කළ නායකයා ඔවුන් ආරක්ෂා කළේ ය. ඒ දේශපාලන වාසිය තකා විය හැකි ය. එහෙත් එයින් රටට සිදු වූ හානිය බලවත් ය. ජනතාව මේ ආයතන හැඳින්වූයේ හොර ගුහාවල් හැටියට ය.

එදා ඇතැම් ප්‍රාදේශීය සභාවල නායකත්වයට පත්වූයේ නූගත් මැරයන් යැයි කියන්නට පුළුවන. ඒ අනුව ඔවුන් තම පළාත් හා ප්‍රදේශ පාලනය කළේ ද මැර බලය යොදමින් ය. ප්‍රාදේශීය සංවර්ධනය කෙසේ වුව දේශපාලකයන්ගේ සාක්කු පිරී ගියේ ය. ජනතාවට ජීවත්වීමට සිදුවූයේ ද තර්ජන මධ්‍යයේ ය. ප්‍රාදේශීය දේශපාලකයන් විදේශීය සංචාරකයන්ට පවා තර්ජනය කළ අවස්ථා තිබිණි. පහර දුන් අවස්ථා තිබිණි. වෙඩි තැබූ අවස්ථා තිබිණි. මේ දේශපාලකයන් හැසිරුණේ වනචාරීන් ලෙස යැයි කීම නිවැරැදිය. ඉතින් රටක් ඉදිරියට යන්නේ කෙසේ ද? ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වන්නේ කෙසේ ද?

අප සාධාරණ මැතිවරණයක් ගැන සංවාද පවත්වන්නේ වුව දේශපාලකයන් සියලුදෙනා ඊට සූදානම් ද යනු ප්‍රශ්නයකි. පසුගිය 09 දා සිට ඊයේ වන විට මැතිවරණ පැමිණිලි 67 ක් පොලිසියට ලැබී තිබේ. එයින් 47 ක් සිදුවීම් ගැන ය. අනෙක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන ය. එක් අපේක්ෂකයකුට මරණීය තර්ජන එල්ල කර තිබිණි. තවත් අපේක්ෂකයකුට පහර දී තිබිණි. කාන්තා අපේක්ෂිකාවකගේ නිවසකට පහර දී තිබිණි. මේවායින් පෙනී යන්නේ ඇතැම් දේශපාලන පක්ෂ තම පරණ පුරුදු අත්හැරීමට තවම සූදානම් නැති බව ය. මෙබඳු අය බලයට පත්වුවහොත් සිදුවන්නේ කුමක් ද? ඊට අදාළ තීරණය ගත යුත්තේ ජනතාව මිස මැතිවරණ කොමිසම නොවේ.

පළාත් පාලන මැතිවරණය හඳුන්වන්නේ පුංචි ආණ්ඩු 341 ක් සඳහා වූ ඡන්දය ලෙස ය. මේ ඡන්දයට අපේක්ෂකයෝ 35,000 ක් තරග කරති. ඒ සියලු දෙනා යහපත් පුද්ගලයන් වුවහොත් අප කෙතරම් වාසනාවන්ත ද?


නව අදහස දක්වන්න

Or log in with...