ලෝක සත් සාමාජික රගර් පිටිය ජයගැනීමට සැලසුම් සහගත පියවර රැසක් | දිනමිණ

ලෝක සත් සාමාජික රගර් පිටිය ජයගැනීමට සැලසුම් සහගත පියවර රැසක්

ෆවුස් මොහොමඩ්

උදාවු නව වසරේදී ජාත්‍යන්තර සත් සාමාජික රගර් තරග බිම ජයගැනීමේ අරමුණ ඇතිව වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩකයන් සංචිත ගත කරමින් නව සැලසුම් සහගත පියවර රැසක් ගැනීමට ශ්‍රී ලංකා රගර් ආයතනයේ වැඩි අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකාව ලෝක රගර් පිටියේ 15 සාමාජික තරග බිමේ කැපී පෙනෙන දස්කම් පෑමට අසමත්වීම හේතුවෙන් සත් සාමාජික රගර් ක්‍රීඩා මුහුණුවර සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව ලෝක රගර් පිටියේ ඉහළට ඔසවා තැබීම රගර් ආයතනයේ සැලසුම වී ඇත. මේ වසරේදී ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායමට ජාත්‍යන්තර තරග රැසකට සහභාගිවීමේ අවස්ථාව ලැබී ඇති බැවින් ආරම්භයේ සිටම ක්‍රීඩකයන් සංචිත ගත කරමින් කල් ඇතිව ඊට සුදානම් වීමට රගර් ආයතනය අපේක්ෂා කරයි.

මේ සඳහා ක්‍රීඩකයන් සංචිත ගත කිරීමටත්, ඔවුන් සඳහා වැටුපක් ලබාදීමටත් පසුගිය නොවැම්බරයේ සිට රගර් ආයතනය කටයුතු කළ අතර මේ වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර සත් සාමාජික රගර් තරගාවලි සඳහා පූර්ණ කාලීන පුහුණු වැඩමුළු ආරම්භ කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

ජාතික කණ්ඩායමේ සත් සාමාජික රගර් පුහුණුවීම් සඳහා ක්‍රීඩකයන් මුදා හැරීමේදී මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ලීග් තරගාවලිය බාධාවක් වූවත් ඉදිරියේදී ක්‍රීඩා සමාජ සමග සාකච්ඡා කර ඊට සාර්ථක විසඳුමක් ලබාගැනීමටද රගර් ආයතනය බලාපොරොත්තු වෙයි.

ජාත්‍යන්තර සත් සාමාජික රගර් පිටිය ජයගැනීමට නම් ක්‍රිඩකයන් පූර්ණ කාලීනව ඒ සඳහා පුහුණුව ලැබිය යුතු බව රගර් ආයතනයේ අදහස වි ඇත. ක්‍රීඩකයන් ද මේ සාධකය අවබෝධ කරගනිමින් පුහුණුවීම් සඳහා එක්වනු ඇතැයි අපේක්ෂා කරයි.

වාර්ෂිකව පැවැත්වෙන අදියර 3කින් සමන්විත ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවට අමතරව මේ වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරග ඉසව්වට එක්වීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාවට ලැබී ඇති හෙයින් මේ වසර ජාතික සත් සාමාජික රගර් කණ්ඩායමට අවිවේකී වසරක් බවට පත්වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නුවර පැවැත්වෙන අතර ආසියානු ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිතය. ආසියානු සත් සාමාජික රගර් තරගාමාලාව ලබන සැප්තැම්බර් මස ආරම්භ කෙරේ. එම තරගාවලියේ පළමු අදියර හොංකොං නුවර පැවත්වීමට නියමිත අතර දෙවැනි අදියර දකුණු කොරියාවේ සහ තුන්වැනි හා අවසන් අදියර කොළඹදී පැවැත්වෙයි.

මීට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු ලෝක මට්ටමේ දෙවැනි පෙළ සත් සාමාජික රගර් ක්‍රීඩාවේ නිරත රටවලට වැඩි අවස්ථාවක් ලබාගැනීම සම්බන්ධව දෙවැනි කොටසේ ලෝක ශූරතා සත් සාමාජික රගර් තරගාවලියක් අදියර 3කින් යුතුව පැවැත්වීමට ආසියානු රගර් සංගමය මගින් ජාත්‍යන්තර රගර් සම්මේලනයෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම ඉටුවුවහොත් ශ්‍රී ලංකාව ඇතුළු දෙවැනි පෙළ සත් සාමාජික රගර් ක්‍රීඩාවේ නිරත රටවල්වලට ජාත්‍යන්තර තරග බිමේ වැඩි දස්කම් දැක්වීමට අවස්ථාව උදාවනු ඇත.

මේ අරමුණු සියල්ල සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා රගර් ආයතනය විසින් පසුගිය නොවැම්බරයේදී සත් සාමාජික ක්‍රීඩකයන් සංචිත ගත කර ඔවුන්ට නිසි වැටුප් දීමනාවක් ලබාදීමට පියවර ගත්තේය.

ඒ අනුව ක්‍රීඩකයන් 20ක් සහ ක්‍රීඩිකාවන් 16ක් සංචිතගත කර වැටුප් දීමනා ලබාදීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව පළමු වරට සත් සාමාජික රගර් ක්‍රීඩාවෙන් පදක්කමක් ලබාගැනීමට බලාපොරොත්තු වන මේ වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල දක්වා වසරක ගිවිසුම් කාලයක් සඳහා මේ සංචිතය නම් කර තිබේ.

ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල, ශ්‍රිනාත් සූරියබණ්ඩාර, ජේසන් දිසානායක, දනූෂ දයාන් (මහනුවර ක්‍රී.ස.), සුදම් සූරියආරච්චි, සුදර්ශන මුතුතන්ත්‍රී, කෙවින් ඩික්සන්. හිරන්ත පෙරේරා, දිනුක් අමරසිංහ (හැව්ලොක්ස්), ඕමල්ක ගුණරත්න, තරින්ද රත්වත්ත, රීසා මුබාරක්. කවිඳු පෙරේරා, චානක චන්දිමාල්, රෙහාන් ද සිල්වා (සී.ආර්.), බුද්ධිම පියරත්න, සුපුන් ඩිල්ෂාන්, අදීෂ වීරතුංග (නාවික), නවීන් හේනකංකානම්ගේ ශ්‍රී ලංකා රගර් ආයතනය සමග මෙසේ වසරක ගිවිසුම් කාලයකට එක්වූ සංචිත ගත ක්‍රීඩකයෝ වෙති. 


නව අදහස දක්වන්න