පර්ත් ස්කොචර්ස් අපරාජිතව ඉදිරියට | දිනමිණ

පර්ත් ස්කොචර්ස් අපරාජිතව ඉදිරියට

මයිකල් ක්ලිගර්ගේ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට පර්ත් ස්කොචර්ස් පිල සමත් වෙයි.

තරගාවලියේ 14වැනි තරගය ලෙස පර්ත් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි සික්සර්ස් පිල ලකුණු 167කට සීමාකළ ස්කොචර්ස් ක්‍රීඩකයෝ පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි. අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ස්කොචර්ස් කණ්ඩායම ලබාගත් සිවුවැනි ජය මෙයයි.

සිඩ්නි පිලට පිට පිට අත්වූ සිවුවැනි පරාජය මෙය වන අතර කණ්ඩායම් 8ක් සහභාගිවන තරගාවලිය් ඔවුන්ට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

ස්කොචර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගිය ආරම්භක පිතිකරු මයිකල් ක්ලිගර් ලකුණු 81ක් රැස්කළේ පන්දු 61ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් හා හයේ පහර 2කින් වර්ණවත් විය.

ඇෂ්ටන් ටනර් පන්දු 32කින් ලකුණු 45ක් ඉනිමට එක් කළේය.

පන්දු 33කදී නොදැවී ලකුණු 45ක් රැස්කළ ජෝර්ඩන් ස්කිල් පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි සික්සර්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පීටර් නෙවිල් හා සෑම් බිලිගන්ස් ලකුණු 33 බැගින් ඉනිමට එක් කළහ.

මේ අතර තරගාවලියේ 13වැනි තරගයෙන් සිඩ්නි තන්ඩර්ස් පිල පරදවා ලකුණු 9ක ජයක් අත්කර ගැනීමට හොබාර්ට් හෙරිකන්ස් පිලට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හෙරිකන්ස් පිල ලකුණු 189ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය සිඩ්නි තන්ඩර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 180ක් පමණි.

ජයග්‍රාහී හෙරිකන්ස් පිල වෙනුවෙන් ඩි'ආක් ෂෝට් පන්දු 63කින් ලකුණු 97ක් එක් කළේ හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් සමගිනි. ජෝස් බට්ලර් තන්ඩර්ස් පිල වෙනුවෙන් පන්දු 43කින් ලකුණු 81ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය.

 

නව අදහස දක්වන්න