ලසිත්-මලින්ද කරට කර සටනක | දිනමිණ

ලසිත්-මලින්ද කරට කර සටනක

නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට්

පිතිකරුවන් අතර දිමුත් ඉදිරියෙන්

එන්.සී.සී ක්‍රීඩා සමාජයේ ලසිත් ඇඹුල්දෙණිය හා හලාවත මේරියන් ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සතිය නිමාවනවිට පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමේ සටනක නිරතව සිටිති.

ලසිත් තරග 3කදී ලකුණු 332කට කඩුලු 27ක් ද පුෂ්පකුමාර තරග 3කදී ලකුණු 343කට කඩුලු 27ක් බිඳ හෙලා තිබේ.

පසුගිය වසරේ පළමු පෙළ තරග බිමට පිවිසි 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මේ වනවිට ක්‍රීඩා කර ඇත්තේ තරග 6කට පමණක් වීම විශේෂත්වයකි. මෙවර තරගවාරයේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් බී.ආර්.සී පිලට එරෙහිව ලකුණු 59කට කඩුලු 6ක් දවාගත් අතර එම තරගයේදී ලකුණු 129කට කඩුලු 10ක් බිඳ දැමීමය. ඔහු හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 123කට කඩුලු 10ක් බිඳ දැමීම තරගයක හොඳම පන්දු යැවීමයි.

යුද හමුදාවට එරෙහිව ලකුණු 56කට කඩුලු 6ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ ඉනිමකදී සිය හොඳම පන්දු යැවීම සටහන් කර ඇති මලින්ද පුෂ්පකුමාරගේ තරගයක හොඳම පන්දු යැවීම බී.ආර්.සී පිලට එරෙහිව ලකුණු 153කට කඩුලු 10ක් දවා ගැනීමයි.

වරාය අධිකාරියේ චානක කොමසුරු කඩුලු 20ක් දවා ගනිමින් එහි තෙවැනි තැන රැදී සිටී.

බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක වරාය අධිකාරියේ ක්‍රීඩකයන් 7ක් ලකුණු 79කට දවා ගනිමින් පසුගිය සතියේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කළ අතර වරාය අධිකාරියේ චානක කොමසුරු බදුරලිය පිලට එරෙහිව (34/6 සහ 39/6) තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළේය. සජීව වීරකෝන් (මුවර්ස්), ජනිත් සිල්වා (යුද හමුදාව), ප්‍රමෝද් මදුෂාන් (ද්‍රවිඩ සංගම්) හා සචිත් පතිරණ (සී.සී.සී) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මේ අතර සිවුවැනි සතිය නිමාවනවිට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන දිමුත් කරුණාරත්න සමත්ව සිටින්නේ ශතක 2ක් හා අර්ධ ශතකයක් සමගින් ලකුණු 371ක් රැස් කරමිනි.

ශතක දෙක බැගින් රැස්කර තිබෙන ද්‍රවිඩ සංගම් පිලේ මනෝජ් සරත්චන්ද්‍ර (359) හා මුවර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රිමෝෂ් පෙරේරා (311) පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පත්ව සිටිති.

ඕෂද ප්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය (හලාවත), සුරාජ් රන්දීව් (බී.ආර්.සී), චාමර සිල්වා (මුවර්ස්), තරංග පරණවිතාන හා ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගමය), මදුක ලියනපතිරණගේ (වරාය) සහ එස්.එස්.සී කණ්ඩායමේ දිමුත් කරුණාරත්න, චාමර කපුගෙදර හා මිනෝද් භානුකද ශතක රැස්කිරීමට සමත් වූහ.

මේ වනවිට එස්.එස්.සී තවමත් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සමත්ව ඇති අතර හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණේ පසුවෙයි.

එස්.එස්.සී පිල ප්‍රසාද ලකුණු 53.410ක් ලබාගෙන ඇති අතර ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැන පසුවන රාගම ක්‍රීඩා සමාජය ලකුණු 27.050 ලබාගෙන සිටී.

සිය දෙවැනි පූර්ණ ජය වාර්තා කළ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 46.740ක් සමගින් ‘බී’ කාණ්ඩයේ ඉදිරියෙන් පසුවන අතර බී.ආර්.සී පිල දෙවැනි තැන පසුවන්නේ ලකුණු 43.895ක් සමගිනි.

තරගාවලියේ පස්වැනි සතියට අදාළව හලාවත - බදුරලිය (කටුනායක) සහ කෝල්ට්ස් - එස්. එස්. සී. (කෝල්ට්ස්) තරග ඊයේ ආරම්භ විය. 

 


නව අදහස දක්වන්න