සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල | දිනමිණ

සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල

සම්මානයෙන් පිදුම් ලබා වසර 28කට පසුව කුමාර ධර්මසේනගෙන් තවත් වර්තාවක්

‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානයෙන් පිදුම් ලබා ක්‍රිකට් කරළිය දිග්විජය කළ කුමාර් ධර්මසේන පසුව දීප්තිමත් ජාත්‍යන්තර තරග විනිසුරුවරයකු බවට පත්විය. හෙතෙම පසුගියදා සිය තරග විනිසුරු දිවියේ ස්වර්ණමය සංධිස්ථානයක් සටහන් කිරීමට සමත්විය.

46 හැවිරිදි හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ මෙල්බර්න් නුවර පැවැති සිවුවැනි තරගය විනිශ්චය කරමින් විනිසුරුවරයකු ලෙස ඔහුගේ 50 වැනි ටෙස්ට් තරගය සම්පූර්ණ කළේය.

‘අපි එන්න එන්නම වයසට යන නිසා මට වැඩිපුර අනාගත සැලසුම් එහෙම නෑ. මං ඒවා සැලසුම් කරන්නේ අවුරුද්දෙන් අවුරුද්දටයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගේ වැඩ ගැන පැහැදීමකින් ඉන්නවා. මම ඒ ගැන සතුටු වෙනවා.’ ඔහු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සමග අවසන් වරට කළ සම්මුඛ සාකච්ඡාවේදී එසේ ප්‍රකාශ කළේය.

වසර 2006දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ධර්මසේන 2009 වසරේ ජාත්‍යන්තර තරග බිමේ විනිසුරුවරයකු ලෙස සිය දෙවැනි ආරම්භ කළේය. එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දඹුල්ලේ දී පැවැති එක්දින තරගයකිනි. ඕනෑම ආකාරයක ජාත්‍යන්තර තරගයක විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස එදා ඔහු වාර්තාපොතට එක්විය.

වසර 2011දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ධර්මසේන ඒ වසරේදීම අයි.සී.සී.යේ සුපිරි විනිසුරුවරුන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු බවට පත්විය. නමුත් ජාත්‍යන්තර තරග විනිසුරුවරයකු ලෙස ඔහුගේ දිවියේ විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ 2012දී අයි.සී.සී.යේ වසරේ තරග විනිසුරුවරයා ලෙස ඩේවිඩ් ශෙපර්ඩ් කුසලානය අත්පත් කරගැනීමය.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවත් උදා කරගත් ඔහු එම තරගාවලියේ අවසන් මහා තරගයට ද එක්විය. ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වූ 1996 තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ධර්මසේන ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩකයකු ලෙසත්, විනිසුරුවරයකු ලෙසත් කටයුතු කළ පළමු පුද්ගලයා වීමේ ගෞරවය දිනාගත්තේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවීමට වසර 1989දී ඔහු විසින් දිනාගනු ලැබූ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය විශාල දිරිගැන්වීමක් වූ බව ඔහු පැවැසීය.

‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීම මගේ ක්‍රීඩා දිවියේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවක්. ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මට විශාල ප්‍රබෝධයක් ගෙනදුන් සිදුවීමක්. ජාතික කණ්ඩාමට එක්වීමට එය මහත් දිරිගැන්වීමක් වුණා.’ ඔහු කීවේය.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුට විශාල ප්‍රතිරූපයක් වගේම මහත්වූ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙන්නාක් බව ඔහුගේ විශ්වාසය වී තිබේ.

‘මේ සම්මානය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඉහළටම නැගීමට යොවුන් ක්‍රීඩකයන්ට උනන්දුවක් ඇතිකරවන්නක්.’ ධර්මසේන කියා සිටියේය.

සිය පාසල් ක්‍රිකට් ජීවිතය සමග සංසන්දනය කිරීමේදී වර්තමානයේ විශේෂිත හැකියාවෙන් පිරිපුන් ක්‍රීඩකයන් පාසල් තරග බිමේ දැකීම අසීරු කරුණක් වී ඇතැයි ඔහුගේ අදහසය. ඒ කාලයට වඩා අද පාසල් තරග බිමෙන් එකවරම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් එක්වීමේ මං ඇහිරීමට එය එක් හේතුවක් බව ඔහු කීවේය.

‘වාසනාවකට වගේ මම නාලන්දා විදුහලෙන් ඉවත්වීමත් සමග මට හැටන් නැෂනල් බැංකුවේ රැකියාවක් ලැබුණා. ඒ වගේම ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන ක්‍රීඩකයකු විදිහටත්, ජාත්‍යන්තර ක්‍රීඩකයකු විදිහටත් මගේ ක්‍රිකට් ජීවිතයට විශාල සහයෝගයක් ලබාදුන්නා.’ ඔහු පැවැසීය.

වසර 1971 අප්‍රේල් මස 24 වැනිදා කොළඹදී උපත ලැබූ ධර්මසේන නාලන්දා විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. 1989 වසරේදී මේ කීර්තිමත් සම්මානය දිනාගත් ධර්මසේන තවත් අවස්ථා 3කදී එහි දෙවැනි ස්ථානය දිනාගැනීමටත් සමත්විය. මුලින්ම 1988 සම්මාන උළෙලේදී ආනන්ද විදුහලේ සංජීව රණතුංග ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගනිද්දී දෙවැනි තැනට පත්වූ හෙතෙම 1990 වසරේදී ආනන්දයේම මාවන් අතපත්තු සහ 1991 වසරේදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ මුත්තයියා මුරලිදරන් එම සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවලදී ද දෙවැනි තැනට පත්විය. ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට තරග 31කදී ලකුණු 868ක් ද, කඩුලු 69ක් ද ලබාගැනීමට සමත්වූ ධර්මසේන එක්දින තරග බිමේ ලකුණු 1222ක් රැස් කරනු ලැබුවේත්, කඩුලු 138ක් බිඳ දමනු ලැබුවේත් තරග 141කදීය.

කඩිසර ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා පිටියේදී කැපී පෙනුණු ධර්මසේන කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කරමින් සිය සගයන් දිරිගන්වන අයුරු ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ සදාකාලික සිහිවටනයක් බවට පත්විය. ඔහුගේ මේ හැසිරීම නිසාම කණ්ඩායමේ සෙසු සගයන් ඔහු ක්‍රිකට් පිටියේ ‘උනන්දුවා’ ලෙස නම් කර තිබිණි.

2018 නව වසරේ පාසල් ක්‍රිකට් තරගවාරය දැන් ඇරැඹී තිබේ. මෙවර තරගාවලියේ ආරම්භයත් සමග ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල’ සඳහා ක්‍රීඩකයන් තුළ ඇති උණුසුමත් ඉහළ නගිමින් පවතී. ලේක්හවුස් ආයතනයේ ජාතික පුවත්පත් වන සන්ඩේ ඔබ්සර්වර්, ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් දිනපතා මේ සම්මාන උළෙලේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ කූපනය පළ කරමින් ක්‍රීඩාලෝලින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා කර දී තිබේ. 

 


නව අදහස දක්වන්න