සිගරට් ලොරියේ රියදුරුට මිරිස් කුඩු ගසා කෝටියක් උස්සලා | දිනමිණ

සිගරට් ලොරියේ රියදුරුට මිරිස් කුඩු ගසා කෝටියක් උස්සලා

සිගරට් ඒජන්සියකට අයත් රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂයක මුදලක් බැංකුවක තැන්පත් කිරීමට කුඩා ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී නුවරඑළිය උද්‍යාන පාරේදී මංකොල්ල කා ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ඊයේ (02) දින පෙ‍.ව. 8.30 ට පමණ මෙය සිදුව ඇත. ඉකුත් නිවාඩු දින තුනේ සිගරට් අලෙවියෙන් එකතු වූවා යැයි කියන එම මුදල ‘බ්ලැක්පූල්’ ප්‍රදේශයේ පිහිටි සිගරට් ඒජන්සියේ සිට රැගෙන එමින් සිටියදී උද්‍යාන පාරේ පාළු ස්ථානයකදී ත්‍රීවීල් රථයක් මග හරස්කොට නවතා තිබී ඇත.

එම ත්‍රීවීල් රථයේ සිටි අය ලොරි රථයේ වීදුරුවලට පහර දී කුඩුකර ඇතුළේ සිටි රියැදුරු සහ රිය සහායකගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා සහායක අසල තබාගෙන තිබූ මුදල් බෑගය පැහැරගත් බව පොලිසියට පවසා ඇත.

මේ මංකොල්ලය සිදුවන අවස්ථාවේ එම ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති රුවන්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චමින්ද පෙරේරා සහ රිය සහායක ‍ගෞම්‍ය ශීලන් යන දෙදෙනා හෙළි කරන තොරතුරුවලට අනුව මුදල් මංකොල්ල කෑ ත්‍රීවීල් රථය නුවරඑළිය නගරය දෙසට ගමන්කොට තිබේ. නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත නුවරඑළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රදීප් යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙති.

නව අදහස දක්වන්න