පළවෙනිදා ගාල්ලේ 5ක් මරුට 20ක් කරාපිටිය රෝහලේ | දිනමිණ

පළවෙනිදා ගාල්ලේ 5ක් මරුට 20ක් කරාපිටිය රෝහලේ

නව වසර උදාවූ 2018 ජනවාරී 1 වනදා දිනය තුළදී ගාල්ල දිසාවේ විවිධ අනතුරුවලින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර වෙනත් අනතුරුවලින් තුවාල ලැබූ විසි දෙනෙක් කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

අලුත් අවුරුද්ද උදාවී පැය දෙකකට පසු ගාල්ල අකුරුස්ස මහා මාර්ගයේ පිලාන ප්‍රදේශයේදි තරුණයින් තිදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන කණුවක හැපිම නිසා යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ අනිත් තරුණයා කරාපිටිය රෝහලට ඇතුළු කර තිබේ. මේ අතර අලුත් අවුරුදුදා ගාල්ල මකුලුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට අයත් පොකුණක නාමින් සිටි දහසය සහ දහහත් හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකු මිය ගොස් ඇත. වැලිගම ප්‍රදේශයේ සිට ඥාතින් සමග මොවුන් දෙදෙනා මුස්ලිම් දේවස්ථානයට පැමිණි අවස්ථාවේ අනතුරට පත්ව මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවි ඇත.

මේ අතර දොඩන්දූව පටුවත ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු සාදයකදී පිහියා ඇණුම් කෑ විසි හැවිරිදි තරුණයෙක්ද මිය ගොස් තිබේ. එම සාදයේදී ඇතිවූ ආරවුලක් දුර දිග ගොස් යකඩ පොලුවලින් පහරදිමෙන් සහ පිහියෙන් ඇන මෙම ඝාතනය කර ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.

අලුත් අවුරුදු දිනයේ සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ විසි දෙනෙකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කර ඇත. මෙම විසිදෙනාගෙන් දහතුන් දෙනෙකු මාර්ග අනතුරුවලින් තුවාල ලබා ඇති අතර හත් දෙනෙකු පහරදිම්වලින් තුවාල ලැබ රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

දකුණු පළාත් සංචාරක
එස් දීයගහගේ


නව අදහස දක්වන්න