දේවහූව-ගලේවෙල ගොවීහු යූරියා නැතිව අසරණ වෙලා | දිනමිණ

දේවහූව-ගලේවෙල ගොවීහු යූරියා නැතිව අසරණ වෙලා

ගලේවෙල හා දඹුල්ල යන නගරවල පවතින යූරියා පොහොර හිගය නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත්වී සිටින බව ගොවීහු පවසති. වී වගාවට යොදන ප්‍රමිතියෙන් යුත් අනිකුත් පොහොර වෙළෙඳපොළේ සොයා ගැනීමට නොහැකිවීමත්, තිබුණත් ඒවායේ මිල වැඩිවී තිබීමත් නිසා තමන් අන්ත අසරණ වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. පසුගියදා දේවාහුව ප්‍රදේශයේ සංචාරයක යෙදුණු අපට ගොවීහු සිය දුක්ගැනවිලි මෙසේ ඉදිරිපත් කළහ.

ඒ. ඒ. ඩබ්ලිව්. විල්ප්‍රඩ් බණ්ඩාර -

මම විවෘත වෙළෙඳපොළෙන් කිලෝ 40 ක යූරියා පොහොර මිටියක් රුපියල් 2600/- ට මිලට ගත්තා. ගෙදර ගෙනැවිත් කඩා බලනවිට එහි තිබුණේ මඩ පොහොරවලට මිශ්‍ර කළ විවිධ පොහොර මිශ්‍රණයක්. කුඹුරු වපුරා සති තුනකට වැඩියි. ප්‍රමිතියෙන් යුත් පොහොර නැතිව දේවාහුව ගොවි ජනතාව අසරණ වෙලා. වෙළෙන්දෝ කූට ලෙස පොහොරවලට අපද්‍රව්‍ය මිශ්‍ර කර ගොවියා රවටනවා. දඹුල්ල හා ගලේවෙල නගරවල තිබෙන යූරියා පොහොර හිඟය දේවාහුව ජනපදයේ කුඹුරු අක්කර 2600 කට බලපා තිබෙනවා. මේ නිසා කන්න කීපයක් වගා නොකර සිටින ගොවීන්ට මේ මාස් කන්නයේත් වී අස්වැන්න අඩුවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මීට වහා පිළියම් යොදන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලනවා.

ජී. ජී. ගුණපාල (දේවාහුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති) -

කිලෝ 50 ක යූරියා පෝර මිටිය වෙළඳපොළේ අලෙවි කළේ රුපියල් 2500/- දැන් ඒක කිලෝ 40 වෙලා. මිලත් 2800/- දක්වා වැඩිවෙලා. ඒ මුදලටත් යූරියා හොයාගන්න බෑ. ඇතැම් කුඹුරු වගාකර මාසයකටත් වැඩියි. යූරියා ‍නැතිව ගොයම කහවෙලා. වෙළෙඳපොළේ තිබෙන පොහොරත් ප්‍රමිතියකට නෑ. ගොවීන්ට පොහොර ලබාදීමට රජයට කිසිම වැඩපිළිවෙළක් නෑ. කලුකඩකාරයන් ගොවීන් සූරා කනවා. ඒ නිසා වහාම වී වගාව ආරක්ෂා කර ගැනීමට වෙනත් වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලනවා.

බී. ඒ. අබේරත්න (1 - ඇල දේවාහුව) - වෙළඳසැල්වල යූරියා වෙනුවට අලෙවි කරන්නේ බණ්ඩි පෝරය. ඒවාටත් විවිධ පෝර වර්ග කළවම් කරලා. යූරියා හිඟයත් වෙ‍ළඳපොළේ තිබෙනවා.

බලය තකා වැඩකරනවා මිසක් ගොවීන්ගේ ප්‍රශ්න ගැන කවුරුවත් හොයන්නේ නෑ. දිනපතා පොහොර සොයමින් කඩවල් ගානේ ගොවීන්ට ඇවිදින්න සිදුවෙලා.

දේවාහුව 3 ඇළ පදිංචි පී. ඒ. මුතුබණ්ඩා හා කොස්ගහහින්න පදිංචි කේ. එන්. එම්. ධර්මසේන යන ගොවීන් පැවසුවේ සල්ලි දීලා ප්‍රමිතියක් නැති පොහොර යොදා වැඩක් නැති නිසා තමන් ඇතුළු ගොවීන් විශාල පිරිසක් දෙගිඩියාවෙන් ඉන්නා බවයි.

පොහොර ගැටලුව වහා විසඳා නොදුනහොත් දේවාහුව ජනපදයේ වී අස්වැන්න අඩුවීමේ බරපතළ අවදානමක් තිබෙන බව ඔවුහු පැවසූහ. 

නව අදහස දක්වන්න