කුරුඳුවත්ත-පෙරිහිල්වත්ත පවුල් 168කට බොන්න වතුරවත් නැහැ | දිනමිණ

කුරුඳුවත්ත-පෙරිහිල්වත්ත පවුල් 168කට බොන්න වතුරවත් නැහැ

හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුඳුවත්ත ග්‍රාමසේවා වසමේ කුරුඳුවත්ත හා පෙරිහිල්වත්ත යන ගම්මානවල පවුල් එකසිය හැට අටක් සඳහා ජල පහසුකම් නොමැතිකම නිසා දැනට වසර විසිපහකට වැඩි කාලයක පටන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති. ගම්මානයේ ප්‍රජා සංවිධාන එකමුතුවේ ලේකම් අමිතා මුණවිර මහත්මිය මෙම තත්ත්වය ගැන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මධ්‍යම පළාත් සභාව මෙන්ම හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා මධ්‍යම පළාත් සභා අමාත්‍ය එදිරිවිර විරවර්ධන මහතා මෙන්ම හාරිස්පත්තුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා තැපැල් හා තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලිම් මහතා හමුවී දැනුවත් කර තිබේ.

ඒත් අද වන තුරුත් ජලය ලබා දීමට කිසිදු පියවරක් ගෙන නැති බව ද ඔවුහූ කියා සිටිති. මෙම තත්ත්වය යටතේ තම දෛනික කටයුතු ඉටුකර ගැනිමට නොහැකි බව ද පවසන එම පිරිස තම නිවසේ ඉවුම් පිහුම් කර ගැනිමටවත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද කියා සිටිති. නෑදැයෙක් නිවසට ගෙන්වා ගැනීමට මෙන්ම ආගමික කටයුත්තක් කර ගැනීමට පවා ජලය නොමැතිකම බරපතළ බාධාවක් වී තිබෙන බව පවසන එම පිරිස හාරිස්පත්තුව හරහා වයඹ පළාත දක්වා නළජල ව්‍යපෘතිය යටතේ ජලය ලබාදීමට පියවර ගෙන තිබියදීත් තමන්ට ජලය ලබා නොදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසා සිටිති.

කේ චන්ද්‍රරත්න - මහනුවර දිසා සමුහ


නව අදහස දක්වන්න