උහන වීරගොඩට ආ වන අලි කුඹුරු සමතලා කර වාහන කුඩු කරති | දිනමිණ

උහන වීරගොඩට ආ වන අලි කුඹුරු සමතලා කර වාහන කුඩු කරති

අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වීරගොඩ ගම්මානයට පසුගිය දා රාත්‍රීයේ වන අලි කඩා වැදී නිවෙස්වල මිදුලේ නවතා තිබූ වාහනවලට පහර දී ඇති අතර වගා කළ කුඹුරුවලට ද අලාභ හානි කර ඇත.

වීරගොඩ ඒ. ඒ. චන්දිමා රත්නායක මහත්මිය - එචා අලූයම 02.30 ට විතර මමයි, මගේ දුවයි ගේ ඇතුළේ හිටියා. මගේ පුතා චතුරංග මහේෂ් දුරකථනයෙන් කතා කරලා අලියා ඇවිත් ඉන්නවා. ගෙදරින් එළියට බහින්න එපා කියලා කිව්වා. පුතාගේ බේකරිය ඉදිරිපිට මිදුලේ නවතා තිබු බට්ටා ලොරියත්, ත්‍රීවීල් රථයත් නවත්තලා තිබුණා. ගමේ අසල්වැසියන් අලි වෙඩි පත්තු කළා. ඊට පසුව ඒ අය අපේ වත්තට ආවා . අපි ගේ ඇතුළෙ සිට එළියට බහින විට අපේ වත්තෙන් අලියා යන්න ගියා. ත්‍රී වීල් රථයටයි ඩිමෝ බට්ටා ලොරියටයි අලියා ගහලා විනාශ කරලා තිබුණා.

වීරගොඩ දඩයම්තලාව එස්. පී. සරණේලිස් - අලි තුන් දෙනෙක් අපේ වත්තට ආවා . ඒ වෙලාවේ අලි වෙඩි දාලා උන් ටික එළෙව්වා. ඊට පස්සේ ටික වේලාවකින් නැවතත් අලි 4 දෙනෙක් වත්තට ආවා. අපේ වත්තේ කෙසෙල් ගස් කඩන විට මම ටෝච් එක ඇල්ලූවා. එතකොට අලියා මා පස්සේ පැන්නුවා. මම ගෙදර පැත්තට දුවලා මහ පාරට ආවා. පාරේ ඉන්න විට ත්‍රී වීල් රථයක් ඇවිත් රේස් කළා. ඊට පස්සේ අලි ටික ඇලෙන් බැහැලා පන්සල් කැලේට ගියා. උදේ බලන විට මගේ කුඹුරේ පැළ ගොයම් ඔක්කොම පාගලා දාලා. රේණුකා මල්කාන්ති මහත්මිය - මීට වසරකට පෙරත් අලි ඇවිත් මගේ කඩේ කඩලා දාලා බරපතළ හානි සිදු කළා. ගමේ පන්සලේ කැලේ සිට තමයි රාත්‍රි කාලයට අපේ පැත්තට අලි බහින්නේ. අදත් අලි තුන් දෙනෙක් ආවා. අපි කෑ ගහන විට අපේ වත්තෙන් අලි ටික ගිහිල්ලා දෙවන පාරට අලි 4 දෙනෙක් ආයෙත් ඇවිත් වත්තේ තිබුණ වගාවන් පාගලා විනාශ කරලා ගියා .

අම්පාර සමූහ
රවීන්ද්‍ර මැදගෙදර

නව අදහස දක්වන්න