බසවක්කුලම වැව් ඉවුරට සෙවණ දුන් දැවැන්ත මාර ගස් මියැදිලා | දිනමිණ

බසවක්කුලම වැව් ඉවුරට සෙවණ දුන් දැවැන්ත මාර ගස් මියැදිලා

රුවන්මැලි සෑ පෙදෙසට දර්ශනීය පසුබිමක් එක්කළ ඓතිහාසික බසවක්කුලම වැවේ බැම්ම දිගේ පැවැති දැවැන්ත වෘක්ෂයන් අභිරහස් ලෙස මියයෑමට පටන්ගෙන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

දශක ගණනාවක් තිස්සේ වැඩී අනුරාධපුර පුදබිමට සෙවණ සහ සිසිලස එක්කළ මේ සුවිසල් මාරා ගස් ප්‍රදේශයට අලංකාරයත් සැදැහැවතුන්ට සෙවණත් සැලසී ය. මීට කලකට පෙර එම ගස් පෙළෙන් යම් ප්‍රමාණයක් මිය ගොස් ඉතිරිව තිබූ තුරුපෙළ අතරින් දර්ශනය වන වැවත් දාගැබත් කලාකරුවන්ගේ මන බැඳගත් ස්ථානයක් විය. මේ වන විට ගස් අටක් පමණ මියගොස් ඇති අතර දැව සංස්ථාව මගින් ඉන් කොටසක් කපා බිම හෙළා කුට්ටිකර රැගෙන ගොස් ඇත. සෙසු ගස් ද මිය යමින් පවතින සෙයක් දිස්වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ හොඳ පාරිසරික තත්ත්වයක් තිබිය දී මේ ගස් මිය යෑමට හේතුවක් නොමැති බවත් කිසියම් පිරිසක් විසින් විසක් යෙදීමෙන් ගස් මරාදමන්නේ දැයි තමන්ට සැකයක් පවතින බවත් ය.

අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ලසිඳු කොටවල ආරච්චි මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පැවැසුවේෙ ගස් මිය යෑමට හේතුවක් හඳුනාගන්නට නොහැකි බවකි. එමෙන්ම මිය යන ගස් වෙනුවෙන් අලුතින් වැව් බැමි වල ගස් සිටුවීමක් ද නොකරන බව ඒ මහතා කීවේ ය. එයට හේතුව වෑකන්දේ විශාල ගස් සිටුවූ විට ඒවාගේ මුල් මගින් බැම්මේ ශක්තිය දුර්වල කිරීම යි.

මේ වන විට මිය ගිය ගස් කපාදෑමූ ලී කොටවලින් අපිළිවෙළට හා මිය යන ගස් වලින් අඳුරුවී කර්කශ ස්වරූපයක් අභය වැව පෙදෙසේ දිස්වේ. පෙර මෙන් නරඹන්නන් විවේක ගැනීමට එම ස්ථාන වලට නොයෑමෙන් පාළු ස්වභාවයක් ද නිරතුරු දක්නා ලැබේ.


නව අදහස දක්වන්න