ඉපලොගමට අලි කරදර ජනතාව මහත් භීතියට හා කනස්සල්ලට | දිනමිණ

ඉපලොගමට අලි කරදර ජනතාව මහත් භීතියට හා කනස්සල්ලට

ඉපලොගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කඩියංගල්ල, පුලියන්කුලම, මොරගොගොඩ, සංගට්ටෑව, උදේනිපුර, කුඹුක්ඇන්ද, මහඉලුප්පල්ලම,අක්කර සියය සහ ගෝණපතිරාව යන ප්‍රදේශවල ජනතාව වන අලි කරදර නිසි මහත් භීතියට හා කනස්සල්ලට පත්ව සිටිති.

මේ ගම්මානවල ගෙවතුවල වගා කර ඇති කෙසෙල්, පොල්, මඤ්ඤොක්කා ඇතුළු භෝග වගාවන් හා මහා පරිමාණයෙන් වගා කරන පේර වගා වන අලි විනාශ කිරීම ගොවීන්ට විශාල පාඩුවක් සිදුවී ඇති බව ගොවීහු පෙන්වා දෙති.

ඉපලෝගම සංගට්ටෑවේ නාලක බණ්ඩාර මහතා -

සිරික්කුළම සංගට්ටෑව ගෝණපතිරාව ප්‍රදේශවල අපිට ඉස්සර මෙහෙම කරදරයක් තිබුණේ නෑ. පසුගිය කාලේ තිබුණු වතුර හා ආහාර හිඟය නිසා අලි මෙහෙට ආවා කෑම හොයාගෙන ඒත් දැන් එහෙම ආපු අලි මේ පැත්ත දාලා යන්න කැමති නෑ. උන් මෙහෙට හොදට පුරුදු වුණා ප්‍රශ්නේ තියෙන්නේ අලිවැටක් තිබිලත් මෙහෙට අලි එන ඒක ඒකට හේතු දෙකක් තියෙනවා එකක් තමයි අලිවැට තාර පාරවල් යරහා යන තැන්වල කඩුලු තියලා තියනවා ඒ කඩුල්ල හරහා ස්ප්‍රීන් එකක්වගේ කම්බියක් තමයි හරහට දාලා තියෙන්නේ. රෑට වාහනවල යන අය කඩුල්ල හරහට දාලා තියෙන කම්බිය අයින් කරගෙන යනවා. අයේ කඩුල්ල වහන්නේ නෑ. ඒ නිසා කැලේ ඉන්න අලි ගම්මාන වලට එනවා.

අලිවැටේ කඩුලුවල ආරක්ෂාවට සිවිල් ආරෂකයිනුත් රැඳී සිටිනවා. ඒත් මෙහෙට අලි එන එක ලොකු ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ. මේ පැතිවලට අලි කරදර පටන්ගන්න අනෙක් හේතුව තමයි රෑට රෑට ඇවිදලා කෙසෙල් කොටු පේර කොටු විනාශ කරන අලි උදේ වෙනකොට උදේනිපුර පැත්තේ තියෙනවා. මහ ඉලුප්පල්ලම ෆාම් එකට අයිති අතහැරලා දාපු අක්කර 300ක විතර කොටසක් ඒකට රිංගනවා. දවල් දවසම ඒකට ලැගලා ඉන්න අලි අයෙත් රෑට ඇවිත් අපේ වගා විනාශ කරනවා.

ගෝණපතිරාවේ ඉන්දික අබේතුංග මහතා -

අපිට වෙලා තියෙන්නේ කවදාවත් තිබුණේ නැති කරදරයකට මුහුණ දෙන්න රෑ 7න් පස්සේ අපිට එළි බහින්න බයයි රෑට ලෙඩක් දුකක් හැදුනම බේත් ටිකක් ගන්න යන්න පාරට බහින්නත් බයයි. මේ ළඟදි දවසක පාර හරස් කරලා කාරෙකකටත් ගහන්න ගිහින් තියෙනවා.

අලි පහක හයක රංචුවක් තමයි රෑට එන්නේ සමහරු දැකලා තියෙනවා දළ දෙකම තියෙන ඇතෙකුත් මේ රංචුවේ ඉන්නවා. මේ දවස්වල රෑට හරියට අවුරුදු කාලේ වගේ එළි වෙනකම් ඇහෙන්නේ අලි වෙඩි සද්දේ. මේ පැත්තේ පෙර වගා කරලා ලොකු ආදායමක් ගන්නවා ඒත් අලි පේර කොටුවලටත් පැනලා ගස් කඩලා හානි කරනවා. මෙහෙම ගියොත් මිනිසුන්ට වෙන්නේ අමාරුවෙන් කරගත්ත වගාව බේරගන්න රෑ තිස්සෙට අලි එක්ක සටන් කරන්න.

අපි ඉල්ලන්නේ ගෝණපතිරාව ඉදන් යන අලිවැට අතර මඟදි නතර වෙලා තියෙනවා ඒ අලි වැටට ගල්ලෑවේ ඉදන් එන අලි වැට සම්බන්ධ කරලා දෙන්න කියලයි. රෑට අලි වැටවල පාරවල් හරහට දාලා තියෙන කඩුලු ආරක්ෂාවට මුරකරුවෙක් යොදවන්න කියලයි. එහේම කරොත් අපේ වගාවත් ආරක්ෂා කරගෙන මිනිසුන්ට බයක් සැකක් නැතුව ඉස්සර හිටියා වගේ ජීවත් වෙන්න පුළුවන්. සටහන හා ඡායාරූප -

කලාවැව විශේෂ තාරක වන්නිආරච්චි

නව අදහස දක්වන්න