ඇතුගල්පුර පිළිකුල් වෙයි | දිනමිණ

ඇතුගල්පුර පිළිකුල් වෙයි

වයඹ පළාතේ අගනුවර ලෙස හඳුන්වන්නේ කුරුණෑගල නගරයයි. දිවයිනේ සතර දෙසට ගමන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන මාර්ග රැසක් වැටී ඇත්තේ කුරුණෑගල නගරය හරහාය. නුවරට, කොළඹට, පුත්තලමට, යාපනයට, මීගමුවට, අනුරාධපුරයට, පොළොන්නරුවට, නුවරඑළියට මේ ආදී ප්‍රධාන නගර රැසකට ගමන්කිරීමේ පහසුව ඇතිබැවින් දිනකට කුරුණෑගල නගරයට එක්රැස්වන ජනතාව ලක්ෂ ගණනකි. මෙතරම් විශාල ජනකායක් දෛනිකව එක් රැස්වන නගරයේ පවිත්‍රතාවය දිනෙන්දින පිරිහෙමින් පවතින බව නගරයේ සැරිසරනවිට දැකිය හැකිය. විශේෂයෙන්ම ප්‍රධාන බස්නැවතුම්පළ හා අවට ප්‍රදේශය මෙලෙස ඉතා අපිරිසුදු තත්ත්වයක පවතී. බෝධිරාජ මාවත, මලියදේව වීදිය, මහවීදිය, පොදු වෙළෙඳපළ, කොළඹ පාර, නුවරපාර, දඹුලුපාර ආදී ප්‍රදේශ දැඩිලෙස අපවිත්‍රවී ඇත. නගරය වටා ඇති කානු පද්ධතිය සම්පූර්ණයෙන්ම අබලන් වීම හේතුවෙන් අපවිත්‍ර ජලය බැසයාම බොහෝදුරට අවහිරවී ඇත. පොලිතින්, යෝගට් කෝප්ප, ලන්ච් බොක්ස් ආදිය කානු තුළ සිරවී ඒවාගේ ජලය රැස්වීමෙන් මදුරුවන් බෝවීමද ඉහළ ගොස් ඇත. ඩෙංගු උවදුරද පසුගිය කාලය පුරාම කුරුණෑගල නාගරික බල ප්‍රදේශ ආක්‍රමණය කර තිබිණි. වැසි සමයත් සමඟ යළි ඩෙංගු හිස එසවීමේ අවදානමක් කුරුණෑගල නගරය තුළ ඇති බව නගරවැසියෝ අනතුරු අඟවති. ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිට ජලය බැසයන කානුවද දැඩිලෙස අපවිත්‍රවී ඇත. මෙම කානුවේ අපද්‍රව්‍ය පල්වීමෙන් අවට ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමායයි. නගරයේ ඇති වැසිකිළිවල අපද්‍රව්‍යද මෙම කානුවට හරවා ඇති බවට ජනතාව අතර සැකයක් පවතී. බස්නැවතුමේ සිට පිටව යන බස්රථවල සිටින මඟීන්ට මෙම කානුවේ දුර්ගන්ධය ඉවසිය නොහැකිය. බුලත් කෙළ ගැසීම හේතුවෙන් මඟීන් නැවතී සිටින ස්ථාන සියල්ලම ඉතා අපිරිසුදු තත්ත්වයක පවතී. ඊට අමතරව බස්නැවතුම්පළ තුළ පවතින දැඩි බස්රථ තදබදයත් එම බස්රථවල අධික නළා හඬත් සංචාරක වෙළෙන්දන්ගේ හැසිරී‍මත් නිසා මඟී ජනතාවට සිදුවන හිරිහැර නිමක් නැත. මඟී ජනතාවට සිදුවන කරදර හිරිහැර පිළිබඳව සොයා බැලීමට ප්‍රධාන බස්නැවතුම්පළේ කිසිදු වගකිව යුත්තෙක් නොමැත.

ඒ වගේම කුරුණෑගල නගර මධ්‍යයේ ඇති උමං මාර්ගයද දැඩිලෙස ජරාජීර්ණවී ඇත. දඹුලුපාරට, නුවරපාරට, කොළඹ පාරට බස්නැවතුම්පළ දෙසට මෙම උමං මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇත. එහෙත් මෙම උමං මාර්ගයට පිවිසෙන පියගැට පෙළ සියල්ල අබලන් වී ඇත. පියගැට පෙළට සවිකර ඇති තහඩු පටි බොහොමයක් ගැලවී ගොස් ඇති අතර ඇතැම් කොටස් කැඩීයාම හේතුවෙන් ඒවා මගීන්ගේ පාදවල පැටලී අනතුරු සිදුවූ අවස්ථාද ඇත. යාචකයන්ගේ නවාතැනක් බවට මෙම උමං මාර්ගය පත්ව ඇති අතර ඔවුන් මෙම ප්‍රදේශය අපවිත්‍රකර ඇත. ඉවත දමන ආහාර ද්‍රව්‍ය ද වෙළෙඳසල්වලින් ඉවත දමන කැළි කසළද උමං මාර්ගය තැන තැන විසිරී ඇති අයුරු දැකිය හැකිය.

රාත්‍රී කාලයේදී මෙම උමං මාර්ගයට පිවිසෙන පියගැට පෙළවල්හි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ගේද අඩුවක් නැත. එම පුද්ගලයන් මත්පැන් පානයකර වීදුරු බෝතල් කුඩුකර පියගැට පෙළට විසිකර දමා ඇති අතර මේ හේතුවෙන් මේ තුළින් ගමන් ගන්නා පදිකයන්ට ඉතා අනතුරුදායක ගමනක් යාමට සිදුවී ඇත. ඒ වගේම විවිධ සමාජ විරෝධී ක්‍රියා මෙන්ම විවිධ අපචාරද මෙම ස්ථානයේ සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත.

පොලිසිය සහ උසාවි සංකීර්ණයද මෙම උමං මාර්ගය ආසන්නයේ පිහිටා තිබුණද සිදුවන නීති විරෝධී ක්‍රියාවල අඩුවක් නැත. කුරුණෑගල මහනගර සභාව නගරයේ පවිත්‍රතාවය පිළිබඳව වගකීම දැරුවද නගර සභාව විසුරුවා තිබීමද මෙම ගැටලුවලට ප්‍රධාන හේතුව වී ඇත. කෙසේ වෙතත් වයඹ පුරවරයේ අගනගරය මෙලෙස අවලක්ෂණවීම ඉතා කනගාටුදායකය. සති අන්ත උපකාරක පන්ති අසල බෙදා හරින අත්පත්‍රිකා ලක්ෂ ගණනක් ඉවත දැමීමද නගරයේ අපවිත්‍රතාවයට දැඩි බලපෑමක් එක්කරයි. ඒ වගේම නගරය පුරා ඇති තාප්ප බිත්තිවල උපකාරක පංතිවල ප්‍රචාරක පෝස්ටර් ඇලවීමද නගරයේ අලංකාරයට එල්ලවී ඇති බාධාවකි. රැයක් එළිවනවිට නගරය පුරා පෝස්ටර් දහස් ගණනක් ඇලවෙයි. මෙම නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට කිසිදු වගකිවයුතු ආයතනයක් ඉදිරිපත් නොවීම නගරයේ අද පත්ව ඇති කනගාටුදායක තත්ත්වයට ප්‍රධාන හේතුවයි. කුරුණෑගල මහ නගර සභාව මේ වනවිට අක්‍රීයව පැවතියද අඩුම තරමින් නාගරික කොමසාරිස්වරයා හෝ ඉදිරිපත්වී නගරයේ පවිත්‍රතාවය ආරක්ෂා කිරීමට යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ය. එසේ නොවුවහොත් ඇතුගල්පුරවරයද මීතොට මුල්ලක් වනවාට කිසිදු සැකයක් නැත.

වයඹ පළාත් සංචාරක
සේන ඉදිරිසිංහ 


නව අදහස දක්වන්න