‍බෝතලේගම හිත හොඳ පුත්තු | දිනමිණ

‍බෝතලේගම හිත හොඳ පුත්තු

මිනිසුන් අතර දෙවිවරුන් සහ නොමැරෙන මිනිසුන් සිටින අපූරු ගමක් වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ තිබෙන බව හෙළිවේ. එහි පැවැත්වුණ මෘතදේහය රැගෙන යන්නවත් ඉඩ ඇති පාරක් නැති දුර්ලභ ගණයේ අවමඟුල් උත්සවයක් පිළිබඳව සඳහන් වන අතර ගම්වාසීන් එක්ව සියලු කටයුතු සිදුකර ඇති අතර මහා සංඝරත්නය ද පයින්ම වැඩම කර තිබේ.

මියගිය අයගේ මෘතදේහය රැගෙන යාමට පාරක් දීමට තරම් හැකියාවක් නොමැති දානපතියන් ජීවත්වන ගමක තවත් පිරිසක් එක්ව එම අවමංගල උත්සවයේ සියලුම වියහියදම් දරමින් මහා සංඝරත්නය පයින්ම එම නිවෙසට වැඩම කරවා අවසන් කටයුතු නිම කොට ඇත.

පුංචි ඉතාලිය යන නමක් පටබැඳුණු වෙන්නප්පුව ආසනයට අයත් බෝතලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ. ඒ. කරුණාවතී යන අයගේ අවමගුල් උත්සවය කාගේත් අවධානයට ලක්වු‍ණේ එහෙයිනි.

මියගිය අය ඇගේ වයෝවෘද්ධ සොයුරියත් සමඟ පදිංචිව සිටි පුංචි නිවෙස පවා ඉදිකර දී තිබුණේ බෝතලේගම ජනතාවය. බෝතලේගම ග්‍රාම නිලධාරිනී ඉමාලි ශාන්තිනි ප්‍රනාන්දු මහත්මියගේ ද නොමසුරු සහාය මත ගම්වාසින්ගේ ආධාර උපකාර මත ඔවුන් දිවිගෙවූවද ඔවුණට නිරාකරණය කරගත නොහැකි එක් ගැටලුවක්ව තිබුණේ නිවෙසේ සිට මහමඟට ඒමට ඉඩකඩ ඇති පාරක් නොමැතිකමයි. මාර්ගයේ පළල අඩි 04ක් හෙයින් අඩුතරමින් ත්‍රීරෝද රථයකටවත් එම මාර්ගයේ ගමන්කළ නොහැකිවිය. එම මාර්ගය දෙපස ඉඩම්හිමියන්ද නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වීම නිසාත් වගකිවයුතු රජයේ බලධාරීන් ඇස්කන් පියාගෙන සිටීම නිසාත් මියගිය අයගේ දේහය ගම්වාසින් විසින් ප්‍රධාන මාර්ගයට පයින් ඔසවාගෙන ආවේද එකාපිට එකා පේළි ගැසෙන අන්දමිනි.

එම දුෂ්කර මාර්ගයේ පයින්ම වැඩම කළ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු විශේෂ අනුශාසනාවක් කළ කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාමාධිපති මඩකුඹුරුමුල්ලේ විජිත හිමියන් පැවසූයේ මෙම අසරණ පවුල ජීවත් කරවීම සඳහා නිවෙස ඉදිකර දෙමින් ඔවුන් රැකබලාගනිමින් හා මෙම අවමංගල්‍ය උත්සවයේ කටයුතු සංවිධානය කරමින් බෝතලේගම ජනතාව කළ සේවාව මුළු රටටම උතුම් ආදර්ශයක් බවයි. මෙවැනි අසරණයන්ට සරණවීම තරම් උතුම් පුණ්‍ය ක්‍රියාවක් මිහිපිට තවත් නොමැති බවත්ය.

වෙන්නප්පුව විශේෂ සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

නව අදහස දක්වන්න